2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

ඇසේ සුදට කකුලේ මහපට ඇඟිල්ලෙන් ප්‍රතිකාර

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 886

ඇසට සම්බන්ධ වනු ලබන රෝග අක්ෂි රෝග ලෙසින් හැඳින්වේ. ආයුර්වේදයට අනුව අක්ෂි රෝග හැත්තෑපහක් ඇති බවට සඳහන් වේ. අතීතයේදී ආයුර්වේද පොතපතෙහි එවැනි අක්ෂි රෝග හැත්තෑහයක් ඇති බව සඳහන් කර තිබුණද අද වනවිටත් එම රෝග හැත්තෑහයම පවතින බව සොයාගෙන ඇත.

අක්ෂි රෝග හේතුවෙන් අන්ධභාවයට පත්වන රෝග අතරින් ඇසේ සුද මතුවීමට හිමිවන්නේ ප්‍රබල තැනකි. කාච නැමති රෝගය ලෙසින් ආයුර්වේදයේදී හඳුන්වන්නේ ද ඇසේ සුද මතුවීම නැමැති රෝගයයි. ඇසේ සුද රෝගය අන්ධභාවයට පත් කරනා ඇසේ මූලික රෝගයයි. ඊට අමතරව ආයුර්වේදයේදී අධිමන්ත නම් රෝගයක් ද දක්වා තිබේ. අධිමන්ත රෝගය ලෙසින් හඳුන්වන්නේ ඇසේ වේදනාවක් ඇතිවන, ඇසේ අභ්‍යන්තර කුහරයේ පීඩනය වැඩි කරනා රෝග අවස්ථාවයි. මේ රෝග අවස්ථාව නවීන වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වනු ලබන්නේ ග්ලූකෝමා රෝග වශයෙනි. ඇසේ අභ්‍යන්තර පීඩනය වැඩි කරන රෝග අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැක.

මීට අමතරව ඇස ඉදිරියේ අඳුර ඇති වීමේ රෝග තත්ත්වය තිමිර ලෙසින් හැඳින්විය හැක. එය පටලයක් තුළින් බලනා පෙනුමක් පෙන්නුම් කරයි. දුර දුෂ්ඨිකත්වය, අවිදුර දුෂ්ඨිකත්වය, විෂම දුෂ්ඨිකත්වය මෙන්ම වයසට යාමේදී ඇතිවන හතළිස් ඇඳිරිය යන රෝගයන් මේ රෝගයට ඇතුළත් වේ. 

ඇසේ සුද ඇතිවීමේදී පසුකාලීනව පෙනීම නැතිවී යයි. ඇස නිර්මාණය වීමේදී ඇස අභ්‍යන්තරයේ කාචයක් පිහිටා ඇත. ඇසේ අභ්‍යන්තරය පිහිටා තිබෙන මෙම කාචය පාරදෘෂ්‍යයි. ඒ හරහා ආලෝක කිරණ ගමන් කිරීමේ හැකියාව පවතී.

මෙම ආලෝක කිරණ කාචය හරහා අභ්‍යන්තරයට ගමන් කර මෙම දුෂ්ඨිවිතානයේ නම් පටලයට වැටී ප්‍රතිබිම්බයක් හඳුනාගනී. මෙය මොළයට සම්ප්‍රේෂණය වී රෑපයක් ලෙස හඳුනාගත හැක.

නමුත් අභ්‍යන්තරයෙහි පවතින තරලයෙහි ප්‍රෝටීන්, විටමින් කොටස අඩංගුව පවතී. මෙම තරලයේ පවතින ප්‍රෝටීන් වයසට යාමත් සමඟම යම් ඝනත්වයකට පත්වේ. මේ නිසා සුපුරුදු පරිදි ආලෝක කිරණවලට ගමන් කළ නොහැකි තත්ත්වයක් ඇතිවේ. මෙය උදාවීමෙන් කාච නම් රෝග තත්ත්වය උදාවේ. එය ද සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වනු ලබන්නේ ඇසේ සුද මතුවීමයි.

සමාජයේ බොහෝ දෙනකුගේ මතයක් වන්නේ හතළිස් ඇඳිරිය නම් රෝගය වයස අවුරුදු හතළිහ ගතවීමත් සමඟ ඇතිවන බවයි. වයස අවුරුදු හතළිහ ගතවෙද්දී තරැණ ජවය ක්‍රමයෙන් ශරීරයෙන් නැති වී යයි. එයට ප්‍රධාන හේතුව වන්නේ ශරීරයේ ඇති මාංශ පේෂීන් දුර්වල වීමයි. ඇසේ කාචය ස්වභාවධර්මයේ අපූරැ නිර්මාණයක් වේ. මේ කාචයේ නාභි දුර අඩු වැඩි වීමෙන් දුර, ළඟ බැලීම තීරණය වේ. මේ සඳහා එක්තරා මාංශ පේෂියක් සම්බන්ධ වී පවතී. ශරීරයේ මාංශ පේෂිවල ශක්තිය අඩුවීමත් සමඟම මෙම ඇසේ කාචයට සම්බන්ධ පේෂියේත් මෙම දුර්වලතාව හටගනී. මේ සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර අයුර්වේදයේ සඳහන් වේ.

ඇසේ සුද මතුවීමේ රෝගාබාධයේදී ආයුර්වේද වෛද්‍යවරයාට හඳුනාගත හැකි රෝග ලක්ෂණ කිහිපයක්ම පවතී. ඇස පරික්ෂා කිරීමේදී ඇසේ කර්ණිකා නම් කොටසක් පවතී ආයුර්වේදයේදී මෙය දෘෂ්ඨි මණ්ඩලය ලෙසින් හැඳින්වේ. මෙම දෘෂ්ඨි මණ්ඩලයේ යම්කිසි වර්ණවත් වීමක් දක්නට ලැබේ. විශේෂයෙන් කළු ඉංගිරියාව මැද පිහිටා ඇති මෙම දෘෂ්ඨි මණ්ඩලය වර්ණවත් වීමක් සිදුවේ. මේ වර්ණවත් වීම හේතුවෙන් එය කාච රෝග ලක්ෂණයක් ලෙස ආයුර්වේද වෛද්‍යවරයා හඳුනාගනී.

ආයුර්වේදයට අනුව කාච ප්‍රතිකාරයේදී කාච මේරීමෙන් පසුව කිසිදු රූපයක් පෙනෙන්නේ නැති අවස්ථාවකට පත්වේ. මේ අවස්ථාවට ආයුර්වේදයේ ශල්‍ය ප්‍රතිකාරයක් හඳුන්වා දී තිබේ. ආයුර්වේදයේදී මේ සඳහා ඉතා සාර්ථක ආයුර්වේද ශල්‍ය ක්‍රම පවතී. නමුත් දියවැඩියා රෝගීන් සහ හෘදයේ පවතින ඇතැම් රෝග අවස්ථාවක් නිසා ශල්‍යකර්මවලට යොමු කළ නොහැකි රෝගීහු සිටිති. ඔවුන් වෙනුවෙන් ආයුර්වේදයට අනුව කකුලේ බෙහෙත් බැඳීම සිදු කළ හැක. වම් ඇසේ යම් ආබාධයක් ඇතිවිය බෙහෙත් බැඳිය යුතු වන්නේ දකුණු කකුලේ මහපටැඟිල්ලේය. ආබාධය දකුණු ඇසෙහි පිහිටයි නම් වම් කකුලේ මහපටැඟිල්ලේ බෙහෙත් බැඳිය යුතු වේ. පාදයක මහපටැඟිල්ල ඇසත් සමඟ සම්බන්ධතාවයක් පවතින බව ආයුර්වේදයේදී සඳහන්ව පවතී. ශල්‍යකර්මයකින් සුවකර ගත නොහැකි නමුත් ඒ පුද්ගලයාට එදිනෙදා වැඩකටයුතු කරගෙන යා හැකි තත්ත්වයට මේ ක්‍රමය මඟින් පෙනුම ඇති කරගත හැකි වේ.

ආයුර්වේද විශේෂඥ වෛද්‍ය
ඩී. එච්. තෙන්නකෝන්

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00