2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

කුරුටු නොගෑ සරසවි ගී...

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 360

කවිය - 01

ඊයෙ මගේ ගත දැවටී සිටියාට
මා වැළඳන් නෙත කඳුළැල් පිසුවාට
අදයයි තවත් බැචියක් සිඹිමින් රෑට 
ඔයා ඇඳන් හිටි කමිසය රතු පාට...

පසු සටහන - මට තාම මතකයි පළවෙනි දවසෙ කැම්පස් ගියේ එක ඩෙනිමකුයි එක ටීෂර්ට් එකකුයි අරගෙන. කැම්පස් ඉන්නකල් කවදාවත් සල්ලිවලට ඩෙනිමක් ටීෂර්ට් එකක් ගත්තේ නැතුවාට මම ආයෙම ගෙදර යත්දිත් මට (වෙන) ඩෙනිමකුයි ටීෂර්ට් එකකුයි තිබුණා..... 

කවිය - 02

සින්නො කියපි කොකු ගහන්න බය නොවණු
ගෙදර යද්දි පහළ වැටේ තියා යනූ
ඒත් අනේ හිතුවට දරැණුයි ගෑනු
කොක්ක උයනවා මම කපනෙමි ලූණු.......

පසු සටහන - කැම්පස් ගිය මුල් කාලෙ සීනියර්ස්ලා තෙල් බැම්මේ ඉඳගෙන අපිට තෙල් බෙදද්දි කියපු තාමත් මතක තියෙන කතාවක් තියෙනවා. කැම්පස් ආදර සම්බන්ධයක් පටන් ගැනීමට කොක්කක් ගහනවා කියන්නෙ ඇයි...? ඒ වෙන මොනවත් නිසා නෙමෙයි කැම්පස් ඉන්නකල් අතේ එල්ලගෙන ඉඳලා යන දවසකට පහළ වැටේ එල්ලලා යන නිසාලු... ඒත් අපේ බැච් එකේ ගහපු කොකු සියල්ලම පාහේ දැන් අතේ නොව කරේම එල්ලාගෙන බැචාලා යනවා මම නිතර දකිමි.... 

කවිය - 03

දවසින් දවස සිව්වන වසරත් ගෙවුණා
දකින දකින හැම කෙල්ලම හිනා වුණා
අහන අහන පාරට ඇණ එකතු වුණා
ඇණපති මමයි මිටියක් මට හම්බවුණා......

පසු සටහන - මේක මගේ බැචාගේ කතාව. අවුරැදු 4ට කොහොමත් බැචියන්ගෙන් සහ ජූනියර් බැචියන්ගෙන් හැමදාම අහ අහ ඇණ වුණා. අන්තිමට කැම්පස් අවුට් වෙන්න ඔන්න මෙන්න තියලා කොක්කක් ගොඩ ගියා. පහුවෙනිදා ගොයින් ඩවුන් තිබුණ නිසා මූ පොර වගේ අර සුපර් ජූනියර් කොක්කත් එක්ක ඇවිත් වාඩි වුණා. සම්මාන ටික දීලා අන්තිමට ඇණපතිගේ නම කිව්වා..... විනාසයි..... ඒ අපේ බැචා. අන්න එහෙමයි ඌ කැම්පස් එකේදී ගොඩගිය එකම කොක්කත් ඇණ වෙලා සැබෑම ඇණපති වුණේ..... 

කැම්පස් එකේ බිත්ති පුරා අපි ලියපු කවි තාම ඇති. ඒවා කැම්පස් කුරැටු ගී විදිහට ප්‍රසිද්ධ වුණේ නැහැ. ඒත් ඒවා අපේ සුන්දර කැම්පස් ජීවිතය තාමත් අර සුදු පාට බිත්ති මත විදහා පෙන්නනවා ඇති. එදා නොලීවාට මේ කවිත් ඒ බිත්තිවලම ලියැවුණා නම් හොඳයි කියලා මට දැන් හිතෙනවා.....

තුෂාර විතාරණ (කුරුටු ගෑ ගී පවුර) 

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00