අලි මිනිස් ගැටුම යනු හුදෙක්ම මිනිසා සේම අලියාද අසරණ තත්ත්වයට ඇද දමන ගැටලුවකි. දිවයිනේ ඇතැම් පළාත්වල මෙන්ම වයඹ පළාත තුළද දිනෙන් දින අලි මිනිස් ගැටුම උග්‍ර වෙමින් පවතී. තබ්බෝව අභය භූමිය නිර්මාණ වීමත් සමඟ පැවති සහ පවතින රජයන් යටතේ අමාත්‍යවරු දහයකට ආසන්නව මෙම අමාත්‍යශයේ නිරතව සිටියද මිනිසාට මෙන්ම අලියාට ද සිදුවූ යහපතක් නැත. වනජීවී අමාත්‍යංශයේ වගකිව යුත්තන් කොතෙක් සිටියද උග්‍ර වී පවතින අලි ගැටලුව නිරාකරණය කිරීමට සමත් නොවීම ගැටලුවකි.
කරුවලගස්වැව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ 640, ඊ කුඩාමැදවච්චිය ග්‍රාම නිලධාරී වසමේ කුඩා මැදවච්චිය මහවැව යටතේ කුඹුරු අක්කර 100 පමණ අස්වැද්දීම ආරම්භ කළේ වසර දෙකක පමණ කාලයක පැවති නියඟය හමාරකරමින් ඇදහැලුණු වර්ෂාවත් සමඟිනි. දහසක් බලාපොරොත්තු තබාගෙන කුඹුරැ අස්වැද්දීම ආරම්භ කර ඇත්තේ වතුපිටි කනකර උකසට තබාය.
අද වනවිට කුඩා මැදවච්චිය ගොවීන්ට සිදුවී ඇත්තේ දිවා රූ දෙකෙහිම පැල් රැකීමටයි. ඒ අතරේ ගොවින්ට පැල් රුකීමට උදව් කරන අපූරු බුද්ධ පුත්‍රයකු අප නෙත ගැටුණේ කුඩා මැදවච්චිය වෙල්යායේදීය. කුඩා මැදවච්චිය විහාරස්ථානයේ වැඩ වාසය කරන රාජාංගනයේ සිරිධම්ම හිමිය. වන අලි සිදුකළ කුඹුරැ යාය පිළිබඳව වාර්තා කිරීමට ගිය අපට නෙත ගැටුණු කුරුල්ලන් පලවා හැරීම සඳහා සවිකර ඇති ටකයේ ලණුව ස්වාමීන් වහන්සේ නමක් අදිමින් සිටින ආකාරය අපට ප්‍රශ්නාර්ථයක් විය.
කුඹුරැ යායේ තැනින් තැන වන අලින් සිදුකළ විනාශය ගොවීන් විසින් අපට පෙන්වූ අතර ගසක් උඩ සකසා ඇති පැල්වල රුඳී සිටින ගොවීහු වූහ. ස්වාමින්වහන්සේ නමක් කුඹුරට වී සිටින්නේ මන්දැයි වූ ප්‍රශ්නය මතුකළ අපට පිළිතුරැ ලැබුණේ පරම්පරා ගොවියකු වන මෛත්‍රිරත්න මහතාගෙන්ය.
අපි මේ අලින් එක්ක පුදුම දුකක් විඳින්නේ. වසර ගණනාවක් තිස්සේ මේ ගැන කතා කරනවා හැබැයි කොච්චර කීවත් කළත් එච්චරයි. විදුලි වැටක් තිබෙනවා. විදුලිය නැහැ. අපි හැමදාම රෑට ඉන්නෙ පැලේ. දවල්ට කුරැල්ලන්ගෙන් ආරක්ෂා කර ගන්නත් ඕනා. අපේ හාමුදුරුවෝ සමහර දවස්වලට රෑට පැලට එනවා. දවල්ටත් ඇවිත් අපිත් එක්ක කුරුල්ලෝ එළවනවා. අපේ හාමුදුරැවන්ට ඉන්න ආවාස ගෙයක් නැහැ. අපේ ගමේ ඉන්න දුප්පත් අයට ඒක හදලා දෙන්න විදිහකුත් නැහැ. අපි ඉල්ලන්නේ පන්සලට ආවාස ගෙයක් හදලා දෙන්න කියලා. අපේ හාමුදුරැවෝ දැනට වැඩඉන්නේ ධර්ම ශාලාවේ. මේ හාමුදුරැවෝ ගමට සම්පතක්.
කුඩා මැදවච්චිය විහාරස්ථානයේ විහාරාධිපති රාජාංගනයේ සිරිධම්ම හිමියන් අප ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදුන්හ.
හම්බවෙන දාන වේල වළඳලා පන්සලට වෙලා ඉන්න පුළුවන්කම තිබෙනකොට ඇයි හාමුදුරුවනේ පැල් රකින්න යන්නේ?
වළඳන දානේ ගිලන්පසටත් සාධාරණයක් ඉෂ්ඨ කරන්න ඕනේ. මගේ දායකයෝ වන අලි ගැටලුව නිසා ගොඩාක් දුක් විඳිනවා. රෑටත් පැල්වල දවල්ටත් පැල්වල. ගොවියන්ගේ ගොවිතැන සාර්ථක වුණොත් තමයි මටත් දානෙ ගිලන්පස ටික හරි ලැබෙන්නේ. කුඹුර ගොයම ගැන හොඳට මම දන්නවා. එව්වට හානිවුණොත් දැනෙන දුක වේදනාවත් මම හොඳට දන්නවා. ගොවියෝ ජීවිතය ගැටගසා ගන්න කුඹුරැ ආරක්ෂා කර ගන්න අලිත් එක්ක ඔට්ටු වෙනවා මම දකිනවා.
අලි වැටක් තිබෙනවා නේද හාමුදුරුවනේ කොහොමද අලි එන්නේ?
මාස ගණනාවක් අලි වැට නමට තිබුණත් විදුලිය තිබුණේ නැහැ. මහත්තයා ඇවිත් ෆොටෝ ගහගෙන ගියාට පස්සෙ එදාම හවස 2018.08.13 වනජීවී මහත්වරැන්ට මාස හයකට පස්සේ විදුලි කුටියේ බැටරිය දාන්න මතක් වුණා. දැන්නම් විදුලිය තිබෙනවා. අලි ටික ඉන්නේ ගමේ. වැටේ නියම සාර්ථකත්වය ගන්න නම් අලි ටික අභය භූමියට පන්නා දාන්නම ඕනා.
වනජීවී එකේ පොඩි මහත්තයාගේ ඉඳලා ලොකු එක්කෙනා වෙනකම් දැනගන්න ඕනේ තමන් ගන්න වැටුපට හරියන සේවයක් ලබාදෙන්න. මම වැඩ වාසය කරන පන්සල වටේටත් රූට අලි මම පන්සලේ හිටියත් එකයි පැලේ හිටියත් එකයි. රූට අලි පන්නන්නම ඕනා. මට සංඝාවාසයක් නැහැ. මම ඉන්නේ දාන ශාලාවේ. සතුන්ට කැලේ කන්න තියෙන්නේ කීරියා ගස් විතරයි. ඒ නිසා ගමට ඇවිත් පොල් කෙසෙල් කාලා කුඹුරට ගිහින් ගොයමත් කනවා. අලි ගැටලුවට ස්ථීර විසඳුමක් ලබාදෙන්න ඕනේ අමාත්‍යංශය වුණාට කිසිම තිරසාර විසඳුමක් වන අලි ගැටලුවට බලධාරින් අරගෙන නැහැ.
සිවිල් ආරක්ෂක නිලධාරීන් වැට නඩත්තු කරනවා උදේ හවා. මම ඒ නිලධාරියකුගෙන් වැට පිළිබඳ ප්‍රශ්න කරපුවහම එයාට දෙන්න උත්තර නැතුව ගියා. ගමේ ජනතාව දැඩි ඉල්ලීම අනුව එම ප්‍රදේශය භාරව ඉන්න සිවිල් ආරක්ෂක නිලධාරියාට ඇත්ත කියන්නත් පෙන්නන්නත් සිද්ධ වුණා. එහෙම නොකළා නම් සමහර විට ජනතාවගේ උදහසට ලක් වෙන්නත් ඉඩ තිබුණා. ඉහළ නිලධාරීන් හරියට වැඩ නොකරන එකෙන් පොඩි නිලධාරීන් පීඩාවට පත්වෙන විදිහ මම හොඳටම අත්දැක්කා. ජනතාව හරියට කුපිත වෙලා හිටියෙ. මම තමයි පාලනය කරගෙන ප්‍රශ්නයට මැදිහත් වුණේ. විදුලි කුටියේ බැටරිය මාස හයක් වැඩ කරන්නේ නැතුව තිබුණා. පත්තරෙන් ආවට පස්සෙ තමයි ඒ බලධාරීන් බැටරිය දාල අක්‍රිය වී තිබුණ වැට සක්‍රීය කළේ. මම උදේ හවා ප්‍රාර්ථනා කරන්නේ බලධාරින්ගේ ඇස් ඇරෙන්න කියලා.
කතාව සහ සේයාරූ
රෝවන් පෙරේරා - පුත්තලම