(මෙම ලිපියේ පළමු කොටස පසු ගිය සතියේ පළවිය)
කොළඹ ගෝල්ෆේස් පිට්ටනියේ 1965 පමණ සරුංගල් යැවූ දර්ශනයක් දැක්වෙන රූපරාමු පෙළක් කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා අධ්‍යක්ෂණය කළ (සැනසුම කොතැනද) චිත්‍රපටයේ තිබිණි. ඒ රෑප පෙළ පසුබිමෙන් ඇසුණේ මිල්ටන් පෙරේරා ගායනා කළ “මේ කොයිදෝ යන්නේ - කොතැනද නවතින්නේ” ගීතයයි. එම චිත්‍රපටය සංරක්ෂණය වී ඇති සෙයක් නොපෙනේ.
සරුංගලයේ සොඳුරු බව අලලා සිංහල ගීත රාශියක් නිර්මාණය වී තිබේ. නන්දා මාලිනිය “සරුංගලේ වරල් සැලේ” ගීයෙන් කීවේ බුද්ධි ගලනය නැතහොත් සම්පත් ගලනය ගැනයි. සිසිර සේනාරත්න “අහසේ ඈතට පාවී යනවා” ගීයෙන් දුටුවේද සරුංගලයේ ඇති සුන්දරත්වයයි. අප ළමා කාලයේදී ඇසුවේ සී. ටී. ප්‍රනාන්දු ගැයූ මෙම ගීතයයි.
සරුංගලේ සරුංගලේ කොයිබද යන්නේ
සුළං සැරේ හිමින් සැරේ උඩට නගින්නේ
දේව ලොවේ ලස්සන දේ නේද තියෙන්නේ
තාම හඳේ මැද්දෙද සුදු හාවා නිදන්නේ
පුංචි ළමුන් එක්කද ඌ සෙල්ලමෙ යන්නේ
නූල දිගේ මටද ඔහේ එන්න හිතෙන්නේ
නූලත් සමඟ වියට්නාම් දරුවකු 2015දී අහසට ඇදගෙන ගිය බිහිසුණු දර්ශනයක් රූපවාහිනියෙන් දැක කම්පනයට පත් වූ මට ඉහත ගීත ඛණ්ඩය සිහියට ආවේ මන්දැයි නොදනිමි. අපේ රටේ ළමුන් එතරම් අවාසනාවන්ත වී නැත. ඉන්දියාවේ ද සරුංගල් අනතුරු බහුලය. වීදුරු මිශ්‍ර කොට තැනූ නූල් වර්ගයක්. බොහෝ ළමුන්ගේ ගෙලේ පැටලී ඔවුන් මරණයට පත්වී තිබේ.
අපේ මට්ටමෙන් අහස ජයගත් තවත් විදියකි වායු බැලූන යැවීම. ප්‍රබල භෂ්මයක් සමඟ ඇලුමිනියම් එක් කළ විට සැහැල්ලු වායුවක් නිපදවිය හැකි බව අප දැන ගත්තේ හයේ පන්තියේ සාමාන්‍ය විද්‍යාව පාඩම ඉගෙනගන්නටත් කළින්ය.
කෝස්ටික් සෝඩා සමඟ (සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්) ඇලුමිනියම් ප්‍රතික්‍රියා කොට නිපදවන්නේ හයිඩ්‍රජන් වායුව බව පසු කාලයේදී අපි දැනගතිමු. ප්‍රතික්‍රියාව සිදුවන බෝතලේ කටේ බැඳ පිටවෙන වායුවෙන් බැලූනය පුරවා ගන්නා අපි එහි කට නූලකින් ගැට ගසා අතහැරීමු. අපේ අත තිබූ බැලූනය අහසේ ඈතින් ඈතට පාවී යනවා බලා සිටියේ මහත් සොම්නසිනි. ඉස්සර ඇලුමිනියම් කොළ පහසුවෙන් සොයාගත්තේ හිස් සිගරට් පැකට්ටුවලින්ය. පොඩි සිගරට් පැකට්ටු තුළ තිබූ ඇලුමිනියම් කොළ ඊට ඇළුණු සව් කොළයෙන් පහසුවෙන් ගලවාගත හැකි වූයේය.
හිස් සිගරට් පැකට්ටු මතක් වනවිට අප ඒවායින් කළ විවිධ සෙල්ලම් සහ අත්කම් සිහියට නැගේ. ඒ කාලයේ සිගරට් වර්ග බහුල ලෙස තිබූ බව අප දැන උන්නේ හිස් සිගරට් පැකට් නිසාය. ත්‍රී රෝසස්, ෆොර් ඒසස්, කැප්ටන්, බ්‍රිස්ටල් ආදී වශයෙනි. සමහරු නෙවිකට් කීවේ කැප්ටන් සිගරට්වලටමය. මෙම සිගරට් පැකට් විවිධ පාටින් යුක්ත විය. සිගරට් පැකට්ටුවේ ඇතුළත කාඩ්බෝඩ් කැබැල්ලෙන් පසු පසට අත තැබූ විට ඉදිරියට පනින ගෙම්බෙකු සාදාගත හැකිය. කුඩා සිගරට් පැකට්ටුවෙන් පියස නොමැති ජීප්, කාර් හුරුබුහුටි ලෙස අපි නිර්මාණය කළෙමු. හිස් සිගරට් පැකට්ටු පිට කවරය තීරැ කපා මේවායින් ගෙත්තම් කොට අගනා හැඩතලවල භාණ්ඩ නිර්මාණය කළ හැකි විය. සිගරට් පැකට්වල පිට කවර එකක් පසුපස එකක් ඈතට යන තුරු බිම තබා එකකට ඇඟිල්ලෙන් ඇන්න විට ලස්සන තරංගයක් සේ ඒවා අගේට පෙරළී යයි. පළමු කඩදාසි කුට්ටම ද අප නිර්මාණය කළේ හිස් සිගරට් පැකට්ටුවලිනි. කඩදාසි කුට්ටමක් ගන්නට ගෙදරින් මුදල් ඉල්ලන්නට බිය වීමු. හිස් සිගරට් පැකට් පමණක් නොව ඕනෑම කාඩ්බෝඩ් කැබැල්ලක් කුඩා කල අප ඉවතලූයේ දහසක් නිර්මාණ ඒවායින් කළ පසුවයි.
නාගරික සෑම ගෙවත්තක්ම තාප්පයකින් වට කිරීමේ පුරුද්දක් එකල තිබුණේ නැත්තේ එසේ කිරීමේ අවශ්‍යතාවක් මතුව තිබුණේ නැති නිසාය. ඇතැම් ගෙමිදුල වැටවලින් වෙන්වී තිබුණ ද සෙල්ලම් කරද්දී සෑම මිදුලකටම යාමට අවසර ගත යුතු වූයේ නැත. වටපිට ළමුන් අප සමඟ සෙල්ලම් කරද්දී පේන තෙක් මානයේ ඇති, වැටවල් නැති සෑම ගෙවත්තකම අපි දුව පැන අවිද්දෙමු. ළමා අපගේ විනෝදාස්වාදයට පොළොවෙනුත්, අසල්වැසියන්ගෙනුත්, වැඩිහිටියන්ගෙනුත් සීමා පැනවීම් තිබුණේ අඩුවෙනි. පැනවූ සීමා නොතකන්නට තරම් අපේ දඟකාරකම ද බලවත් විය.
හැංඟිමුත්තං කෙළියේ යෙදෙද්දීත්, ඔට්ටු සෙල්ලම් කරද්දීත්, පිට්ටු කැඩීම (ගල් හත කැඩීම) වැනි ක්‍රීඩා කරද්දීත් තාප්පවලින් අපේ සෙල්ලම්වලට බාධා නොවූයේය. ළඟ පාත ඕනෑම ගෙමිදුලක සැඟවීම ක්‍රීඩාවට ඔට්ටුය.
ඇතැම් ගෙදරක ඇති කළ කුකුළු කිකිළියෝ ද පැටවුන් වටකරගෙන මිදුලෙන් මිදුලට යමින් සෑම වත්තක්ම පහුරු ගාමින් කෑම සොයාගත්තෝය. ළමයකුට තබා සතෙකුටවත් යාබද නිවස් හිමියෝ සිත රිදෙන්නට වචනයක් නොකීවෝය. පාට පාටින් පියාපත් හා ගෙල දිලිසෙන, ලොකු කරමළය ඇති සැවුළෝ අපේ ගෙමිදුලේ ද හඬළනු කුඩා අපි ආසාවෙන් බලා සිටියෙමු.
තාප්පවලින් සීමා නොවූ පොළොවේ අප ආසාවෙන් කළ සෙල්ලමකි වීදුරු බෝල (ටීක් බෝල හෙවත් මාර්බල්) වලින් කළ අඩිකි ජාම් ක්‍රීඩාව. ඒ සෙල්ලම වීදුරු බෝලවලින් කළ එක් ක්‍රීඩාවක් පමණි. ටීක් බෝලයක් එකල සත පහක් වැනි මුදලකට ගත හැකි වූයේය. අලුත්ම අලුත් වීදුරු බෝලවලට අප කීවේ ටොයියන් කියාය. ඒවා කිරි ටොයියන් කියා ද හැඳින්විණි. පළුදු වී පරණ වී ගිය ටීක් බෝල හැඳින්වූයේ කබ්බන් කියාය. බොහෝ විට එල්ලයට පහර එල්ල කරන්නට අප තෝරා ගත්තේ ලොකු කබ්බන්ය. වීදුරු බෝලවලින් කරන සෙල්ලම් තුන හතරක් අපි එකල දැන උන්නෙමු. එක තැන හිඳ කරන සෙල්ලම් තුනකි. සමචතුරශ්‍ර කොටුවක් පොළොවේ ඇඳ ඒ මැද ජිල් බෝලයකින්ම (ජිලක්) වලක් හදාගතිමු. තෝරාගත් සීමාවක හිඳ කොටුව මැද සහ දාරයේ ඇති ටීක් බෝලවලට පහර දිය යුතු විය.
ලී කොටයක් බිම තමා ඊට ඉදිරියෙන් ඉරක් ඇඳ ඉරටත් ලී කොටයටත් අතරට ටීක් බෝල දමා කරන තවත් ක්‍රියාවකි. එකිනෙකට අඩි තුන හතරක් පමණ ඈතින් පොළොවේ හාරන වළවල් තුනක් ආශ්‍රයෙන් කළ තවත් සෙල්ලමක් විය.
ඉහත කී අඩිකි ජාම් සෙල්ලම එක තැනක සිට කළ එකක් නොවේ. මාරුවෙන් මාරැවට එකිනෙකාගේ ටීක් බෝලවලට තවත් බෝලයකින් පහර එල්ල කරමින් ටිකෙන් ටික මිදුල් තුන හතරකට එහා යන්නට මෙහිදී සිදුවිය. මෙම ක්‍රීඩාවේ මූලික කාර්ය තම බෝලය තිබෙන තැන හිඳ ප්‍රතිවාදියාගේ බෝලයට ඉලක්කය අල්ලා තම ටීක් බෝලය විසි කර පහර දීමයි. පහර වැදුණු පසු වියතක් දුරට (ජාමක් දුරට) ප්‍රතිවාදියාගේ බෝලය ළඟට තම බෝලය දමා පෙන්විය යුතුය. (ජාම් බේරගන්නවා යන යෙදුම ආයේ මෙයින් විය යුතුය) දෙදෙනකු හෝ ඊට වැඩිදෙනකු එක්වී මෙම සෙල්ලම කළ හැකි වූයේය.
ඉහත කී ඇතැම් ටීක් බෝල සෙල්ලම් ලකුණු ලබා ගැනීමේ පදනමට එහා ගොස් ඇතැම් විට ටීක් බෝල ඔට්ටුවට සෙල්ලම් කරනු ලැබිණි. කොළඹ නාගරික ජනාවාස අතර මෙම සෙල්ලම් සල්ලි ඔට්ටුවට සිදුවෙනවා අපට පෙනෙන්නට තිබිණි. (ඕනෑම සෙල්ලමක් සූදුවක් විය හැකි බව ක්‍රිකට් ක්‍රීඩාව විසින් ද ඔප්පු කර තිබේ.)
විටෙක කෙල්ලක් සමඟ විනෝදයට බට්ටා පනින්නටද අපි මැලි නොවූයෙමු. බට්ටා කොටු වර්ග දෙකක් විය. එකක් කොටු හයේ සැලැස්මයි. අනෙක් අහස් යාත්‍රා හැඩය ගත් කොටු සැලැස්මයි. කොටු හයේ බට්ටා පනිද්දී තනි කකුලෙන් පැන යන ගමන් බට්ටාව කොටුවෙන් කොටුව ගෙන යා යුතු විය.
කාලයේ වෙනසත් සමඟ අපේ දරුවනට සෙල්ලම් කිරීමට ලැබී ඇති කාලය සීමා වී තිබුණ ද ලෝකයේ දියුණුව ප්‍රාථමික අධ්‍යාපනය ඇතැයි සැලකෙන පින්ලන්තයේ එසේ නැත. අවුරුදු හතේදී පාසැල් අධ්‍යාපනය පටන්ගන්නා දරුවාට සතියකට ඇත්තේ පාඩම් 25ක් පමණකි. එක් පාඩමක් විනාඩි 45කට සීමා වේ. ගෙදර වැඩ ඉතාමත් අඩුය. (මේ ගැන තොරතුරැ ඕනෑම අයකුට අන්තර්ජාලයෙන් දැකගත හැකිය.) එරටේ විෂය ඉගැන්වීමක් නැත. ඒ වෙනුවට ඇත්තේ සංසිද්ධි අධ්‍යයනයකි. අපේ ළමා කාලය මෙසේ කෙළි දෙළෙන් ගත කරන්නට අපේ දරුවාට ද එවන් අධ්‍යාපනයක් කාලයේ වෙනසත් සමඟ ලැබේවා!
♦ සමන් පුෂ්ප ලියනගේ