2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

ත්‍රීරෝද රථ පාලනයට අලුත් නීති?

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 334

ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ත්‍රිරෝද රථ රියදුරන් මගී ප්‍රවාහනයේ නියැලීම සඳහා අවම වයස් සීමාව අවුරුදු 35ක් බවට පත් කිරීමට යෝජනාවක් ගෙන එනු ලැබීය. ඒ සමඟම සමාජයේ ඒ පිළිබඳව විශාල කතාබහක් ඇතිවිය. කෙසේ නමුත් පසුගිය 21 වැනිදා පැවති කැබිනට් මණ්ඩල හමුවේදී මෙම යෝජනාව පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබුණේ ත්‍රිරෝද රථ වෘත්තිකයකුගේ අවම වයස් සීමාව අවුරැදු 35ක් බවට පත් කිරීමේ යෝජනාව ක්‍රියාත්මක නොකරන බවයි.

මෙරට ත්‍රිරෝද රථ ධාවනය සම්බන්ධයෙන් යම් නියාමනයක් පැවතිය යුතුය යන අදහස මතුවන්නේ මීට ටික කලකට පෙර සිටය. මහා මාර්ග තදබදය, රිය අනතුරු, රියදුරන්ගේ විනය හා අපරාධවලට කෙළින්ම සම්බන්ධ වීම ගැනත් ත්‍රිරෝද රථවලට චෝදනා එල්ල වී තිබිණි. පොලිස් වාර්තාවලට අනුව රිය අනතුරුවලට ගොදුරු වන ප්‍රධාන වාහන දෙක බවට පත්ව ඇත්තේ යතුරු පැදිය හා ත්‍රිරෝද රථයයි. මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගන්නා විට පෙනී යන්නේ ත්‍රිරෝද රථ ධාවනය සම්බන්ධයෙන් නියාමනයක් පැවතීම වැදගත් වන බවය. දැන් එය රජය වෙතින්ම ඉදිරිපත් වී ඇත.

පෞද්ගලික බස් රථ කර්මාන්තය නියාමනය කිරීමට, සංචාරක කර්මාන්තය නියාමනය කිරීමට, විදුලි සංදේශ ක්ෂේත්‍රය නියාමනයට ආදී වශයෙන් රටේ සෑම අංශයක්ම නියාමනය කිරීමට දායක වීම රජයේ කාර්යභාරයක් ලෙස සැලකේ. මෙසේ නියාමනයක් පැවතීමෙන් අදහස් කෙරෙන්නේ අදාළ කර්මාන්ත ක්ෂේත්‍රය සුරක්ෂිතභාවය තහවුරු කිරීම මෙන්ම පාරිභෝගික අයිතීන් ද සුරුකීමය.

මේ ප්‍රතිඵල තුළ ත්‍රිරෝද රථ කර්මාන්තය ද නිසි කර්මාන්ත ක්ෂේත්‍රයක් ලෙස පිළිගෙන ඊට නියාමනයක් එක් කිරීම ගැරහිය යුත්තක් නොව පැසසිය යුත්තකි. එසේ වුවද ත්‍රිරෝද රථ මගී ප්‍රවාහන ක්ෂේත්‍රයට එකතු වීමේදී වයස් සීමාව පිළබඳව සීමාවක් පැනවීම 18ට වැඩි පුද්ගලයකු තමන්ට කැමැති රැකියාවක නිරත වීමට තිබෙන මූලික අයිතිය සමඟ ගැටෙන්නකි.

ඉතා ළාබාල, තරුණ, ළාබාල වයසේදීම ත්‍රිරෝද රථ රැකියාවට තරුණයක් යොමු වීම දීර්ඝකාලීන වශයෙන් රටට අහිතකර බවටද තර්කයන් ගොඩනැගී තිබේ. එනම් පාසල් අවසන් වීමෙන් පසු ත්‍රිරෝද රථයකින් මුදල් සෙවීම අරඹන නැවුම් තරුණ ජීවිත ඉනික්බිතිව ත්‍රිරෝද රථයේ රාමුවෙන් පිට නොවැනීමයි. ඒ සමඟම හිමිවන නිදහස්කාමී ලක්ෂණය නිසාම ඔවුන් වඩවඩාත් එම රැකියාවට යොමු වෙනවා හැරුණු විට වෙනත් රැකියාවක් ගැන සිහින දකින්නට හෝ සිතන්නේ නැත. එපමණක් නොව අත්දැකීම් නොමැතිකම හේතුවෙන් ඔවුහු පහසුවෙන්ම පාතාලයේ රැල්ලට හසුවෙති. විවිධ විෂමාචාර ක්‍රියාවන් හරහා ඉක්මනින් මුදල් සොයාගැනීමට පෙළඹෙති. අවසානයේ මේ සමහරු අපරාධවලට සහයකයෝ වෙති.

මෙම කාරණයේ බරපතළකම ඇත්තේ එතැනය. තරුණ ජීවිත යනු රටේ අනාගතය රැඳී දෑතය. එවන් ජීවිත ත්‍රිරෝද රථයකට කොටු වීම යනු රටට විශාල ශ්‍රමයක් අහිමි වීමකි.

දෙපාර්තමේන්තුවේ දත්ත පිරික්සීමේදී පෙනී යන්නේ මෙරට වෘත්තීය පුහුණු අධ්‍යාපනය ලබාදෙන සෑම අධ්‍යාපන ආයතනයකම වාගේ 2016 වසරට සාපේක්ෂව 2017 වසරේදී ඇතුළු වූ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහළ වැටී ඇති බවය.

අනෙක් අතට මෙවැනි තීරණයක් ගතහොත් එය සංකීර්ණ ගැටලුවක් ලෙස ඔඩු දිවීම නතර කරන්නට නොහැකි වනු ඇත. මන්දයත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ කුසගිනි නිවීමට මෙම කර්මාන්තය පිහිටවන බැවිනි. එනිසා වයස් සීමාව පිළිබඳ තීන්දු ලබාදීමේදී දෙවරක් සිතා බැලීම හොඳයැයි කිව හැක. ළාබාල වයසේ තරුණයන්ට ත්‍රිරෝද රථ මගී ප්‍රවාහන බලපත් ලබාදීමෙන් පසු පරිවාස කාලයක් යෝජනා කිරීම නම් සාධනීය යෝජනාවකි. එනම් තරුණයාට යම් අවස්ථාවක් ලබා දී එම කර්මාන්තය තුළ සාර්ථක විමට අවස්ථාවක් ඉදිරිපත් කර තිබේ.

මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ රියදුරන්ට අවම වයස අවුරුදු 35ක් උපරිම වයස අවුරුදු 70ක් බව සඳහන් කරමින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය මීට පෙර ගැසට් නිවේදයක් පළ කර තිබිණි. එමෙන්ම අදාළ නීතිය බලාත්මක කරන දිනය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගිය 21 වැනිදා කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර තිබිණි. එවැනි නීතියක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපතිවරයා පවසා ඇත්තේ සියලු කාරණා සැලකිල්ලට ගනිමිනි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ත්‍රිරෝද රථ සඳහා වයස් සීමාවක් පැනවීමට විරෝධය දැක්විය. එය නියාමනය සඳහා විශේෂ ආයතනයක් පිහිටුවිය යුතු බවද කැබිනට් මණ්ඩලයට ඔහු දැනුම් දී තිබිණි. ත්‍රිරෝද රථ නියාමනය සහ මගී ත්‍රිරෝද රථ ධාවනයට වයස් සීමාවක් පැනවිය යුතුද පිළිබඳව දේශයේ අපි මහමගදී හමුවන ජනතාවගෙන් අදහස් විමසීමක් කළෙමු.

නියාමනයක් ඕනෑ
ආර්. ධර්මරාජ් - දෙහිවල

අනිවාර්යයෙන්ම ත්‍රිරෝද රථ සඳහා නියාමනයක් ඇති කළ යුතුයි. අපි දැකලා තියෙනවා බොහෝ තරුණ රියදුරන් විනයක් හික්මීමක් නැහැ. පාරේ යනකොට එහෙන් මෙහෙන් දාලා තමන්ගේ හයර් එක යන්න තමයි බලන්නේ. මගී ජීවිත ගැන වැඩි තැකීමක් කරන්නේ නැහැ. ඒ නිසා මේවා පාලනයට යම් නියාමනයක් ගෙන ආ යුතුයි. අනික දැන් හැමෝම වගේ තරුණයන් මේ රැකියාවට යොමු වෙලා තියනවා. මේ වෘත්තියෙන් තමන්ගේ දරු පවුල් නඩත්තු කරන බොහෝ දෙනෙක් ඉන්නවා. නමුත් අත්දැකීම් තියන රියදුරන් බහුතරයක් ඉන්නවා. අද ඊයේ ඉස්කෝලෙන් අවුට් වුණ ගමන් එන අයගෙන් තමයි ඔය විදිහේ ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ නිසා මේ වයස් සීමාව පිළිබඳ සොයා බැලීමකුත් කරනවානම් හොඳයි. අපි කියන්නෙ නෑ ත්‍රිරෝද රථ තහනම් කළ යුතුයි, ගෙන්වන එක නවත්තන්න, අවුරුදු 35ට වැඩිනම විතරක් ලයිසන් දෙන්න කියලා. අපි කියන්නේ මේ ත්‍රිරෝද රථ නියාමනය කරන්න ආයතනයක් පිහිටුවලා ඒ පිළිබඳ කටයුතු කරන්න කියලා.

35 නොවේ: 25 සීමාවක් හොඳයි
සමන් කුමාර - නුවර

රටේ තියන රැකියා අර්බුදය එක්ක තමයි අද වැඩි දෙනා මේ වෘත්තියට පෙළඹිලා ඉන්නේ. සමහර රියදුරන් ඉන්නවා ඉතාම හික්මීමක් විනයක් තියන අය. සමහර අය ඉන්නවා තමන්ගේ හිතුමනාපෙට දුවන අය. ඒ වගේම තමයි බොහෝ දෙනාට අද නැතුවම බැරි සේවාවක් බවට මේ වෘත්තිය පත්වෙලා තියනවා. කොහොමත් ත්‍රිරෝද රථ සඳහා බලපත්‍ර කියන්නේ මගී ප්‍රවාහනය කරන ඒවට. අවුරුදු 35 වෙනකම් බලපත්‍ර ලබා දෙනවට අපේ කැමැත්තක් නැහැ. අපි කියන්නේ රජය අනිත් සියලු දේට නියාමන කොමිෂන් දානවා වගේ මේ කර්මාන්ත සඳහාත් නියාමන ආයතනයක් පිහිටුවිය යුතුයි. අවුරුදු 35න් නෙවෙයි මේ යෝජනාව අවුරුදු 25ක් ව‍ගේ වෙනවනම් හොඳයි. නමුත් යම් කිසි ක්‍රියා පටිපාටියක් අවශ්‍යයි කියලා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගන්න කියලා අපි රජයෙන් ඉල්ලනවා.

අධිකාරියක් ඇතිකිරීම හොඳයි
නුවන්  - බදුල්ල 

පාරේ ට්‍රැෆික්, රිය අනතුරු වැඩි හරියකට හේතුව වෙලා තියෙන්නේ මේ ත්‍රිරෝද රථ සේවාවයි. අනිවාර්යයෙන්ම මේක පාලනය කරන්න යම් අධිකාරියක් පිහිටුවිය යුතුයි. ඒ වාග්ම වෘත්තිමය වශයෙන් යම් කෙනෙක් ත්‍රිරෝද රථ කර්මාන්තයට පිවිසෙනවානම් ඒ පිළිබඳ යම් අධ්‍යයනයකින් පස්සේ එහෙම දෙන එක හොඳයි. අපි කියන්නේ නැහැ මේ වෘත්තිමය ත්‍රිරෝද රථ රියදුරන්ට අවුරුදු 35 වෙනකම් බලපත්‍ර ලබාදෙන්න එපා කියලා. මේ සඳහා අවුරුදු 25ක් වගේ වෙනකොට නියාමනයක් කරලා ලබා දෙනවානම් හොඳයි. නැත්නම් අපි බොහෝ අවස්ථාවල දැකලා තියෙනවා මේ රිය අනතුරුවලින් වැඩි හරියක් වෙන්නේ ත්‍රිරේද රථ නිසා කියලා. ඒවගෙන් අපිට අහිමි වෙන්නේ අපේ රටේ තරුණ ජීවිත. දැන් බලන්න ත්‍රීවිලර් එකක පිටිපස්සේ යන්න පුළුවන් උපරිම ගාණ තුන්දෙනයි. නමුත් අපි ඕනතරම් දැකලා තියනවා ඊට වඩා වැඩියෙන් ප්‍රවාහනය කරන අවස්ථා. මේකට නීතිය ක්‍රියාත්මක වෙනවා ඇති. නමුත් අනතුරක් වුණාට පස්සේ ආයේ ඒ ගැන හිතලා වැඩක් නෑ. ඒ නිසා අපි කියන්නේ අනිවාර්යයෙන්ම මේ ත්‍රිරෝද රථ කර්මාන්තය අනිවාර්යයෙන් යම් ආයතනයක් මඟින් පාලනය වෙන ක්‍රමවේදයක් තිබිය යුතුයි.

තරුණ රියැරදුන්ට හික්මීමක් නෑ
ගුණදාස - බත්තරමුල්ල

මේ ප්‍රශ්නය කාලෙන් කාලෙට ඇදෙන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. අපි එදා ඉඳලම හිටිය ස්ථාවරය තමයි මේ ත්‍රිරෝද රථ නියාමනයට කොමිසමක් පත් කරන්න ඕන කියන එක. දැන් මීටර් ටැක්සි කියලා දුවන සේවාවලත් එක එක ගණන් තියෙන්නේ. මේ විදිහට නැතුව එකම ගාණකින් මේක ආරම්භ කරන්න වැඩපිළිවෙළක් සකස් කරන්න ඕන. ඒ වාග්ම දැන් ඉන්න බොහොම තරුණ රියදුරන්ගේ හික්මීම අන්තිමයි. ඔවුන් සමහර අවස්ථාවල යන විදිහට ත්‍රිරෝද රථයේ ගමන් ගන්නා මගියාට මරණ වරෙන්තු අතේ තියන් තමයි යන්න වෙලා තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ ඉක්මනටම මේ ත්‍රිරෝද රථ සඳහාත් නියාමන කොමිසමක් පත්කරන්න කියලා.

35 නීතිය ක්‍රියාත්මක නොවීම හොඳයි 
දුෂාන් - පිළියන්දල

වෘත්තීමය ත්‍රිරෝද රථ රියදුරන් සඳහා නව බලපත්‍ර ලබාදීමේදී අවුරුදු 35ට වැඩි විය යුතුයි කියන යෝජනාවට මම කැමති නැහැ. ඇත්තටම හොඳ පළපුරුද්දක් තියෙන්න ඕන. ඒක ඇත්ත. නමුත් මේ 35 කියන වයස හොඳටම වැඩියි. ඒ වගේම තමයි ඒ වයස කියන්නේ ඕනම කෙනෙක්ගේ ජීවිතේ මැදි වයස. ත්‍රිරෝද රථ පදවන අය සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන්න ඕන රජය විසින්. ඒ වගේම ඔවුන්ට නියාමනය සඳහා අධිකාරියක් පිහිටුවනවානම් වඩාත් හොඳයි. මේ වෘත්තියෙන් තමන්ගේ දරු පවුල් රකින අය ඕනතරම් ඉන්නවා අද සමාජය තුළ තිබෙන රැකියා හිඟයත් එක්ක ඕනම කෙනෙක් මුලින්ම ත්‍රිරෝද රථ වෘත්තිය තෝරා ගන්නේ ඒ නිසා. මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා ජනාධිපතිවරයාත් කියලා තිබුණා. ඒක මේ ත්‍රිරෝද රථ වෘත්තිකයන්ට යම් සහනයක් වෙන්න ඇති. නමුත් ඒ නීතිය ක්‍රියාත්මක වුණානම් මිනිස්සු තවත් කබලෙන් ලිපට වැටෙනවා. ඒ නිසා රජය විසින් මේ සඳහා කිසියම් වැඩපිළිවෙළක් හඳුන්වා දිය යුතුයි.

රස්සා ප්‍රශ්නයට විසඳුමක් නැතිවීමේ ප්‍රතිඵලයක්
තිලක් - නුවර

මේ ආණ්ඩුව පත් වුණු දවසේ ඉඳන්ම එන අර්බුදවලට විසඳුමක් හොයන්න බැරිවෙලා තියෙනවා. මොවුන්ට ත්‍රිරෝද රථ පිළිබඳ දැන් ඉන් නෙවෙයි මේ ආණ්ඩුව බලයට ආපු දවසේ ඉඳලම ප්‍රශ්න තියෙනවා. නමුත් තවමත් ඔවුන්ට ඒවට විසඳුමක් සොයාගන්න බැරි වෙලා තියෙනවා. මේ රටේ තියන රැකියා ප්‍රශ්නයට විසඳුමක් මේ රජය විසින් දීපු නැති නිසා තමයි මේ අර්බුද මේ විදිහට ගොඩගැහිලා තියෙන්නේ. මේ තරුණ පිරිස් අද පාසල් යාම නිමාවත් එක්ක තෝරාගන්න රස්සාව ත්‍රීවිල් පැදවීම කරගෙන තියෙනවා. ඒ අය දන්නවා කරන්න රස්සාවල් දැන් නැහැ කියලා. ඒක නිසා තමයි මේ රස්සාවලට යොමුවෙලා තියෙන්නේ. 35ට වැඩි අයට මේ ත්‍රිරෝද රථ රස්සාවට ලයිසන් දුන්නොත් ඒක තවත් රටේ ප්‍රශ්නයකට මූණ දෙන්න වෙනවා. අද මේ කර්මාන්තයේ ඉන්න බොහෝ පිරිස් තරුණ උදවිය. ඒ නිසා මමනම් මේ ගෙනාපු යෝජනාවට එකහෙලා විරුද්ධයි. දැන් ඒක නවත්තලා තිබුණත් ආයේ මොනයම් ක්‍රමයකින් හරි මේක කරලියට එන්න පුළුවන්. ඒ නිසා මොනවාහරි විසඳුමක් රජය විසින් ගත්තොත් ඒ පිළිබඳව සතුටු වෙන්න පුළුවන්.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව දැනට දීප ව්‍යාප්ත ලංකාවට ආනයනය  කර තිබෙන ත්‍රිරෝද රථ සංඛ්‍යාව ලක්ෂ 10කට වැඩිය. ඒත් ලක්ෂ 03ක් පමණ පෞද්ගලික පරිහරණය සඳහා භාවිතා කරන අතර ඉතිරි ත්‍රිරෝද රථ සියල්ලම ස්වයං රැකියාවක් ලෙස මගී ප්‍රවාහනයේ යෙදෙයි. උදාහරණයක් ලෙසට එක් ත්‍රිරෝද රථයකින් යැපෙන පවුලේ සාමාජිකයන් ගණන 05ක් ලෙස සැලකුවහොත් ලක්ෂ 30කට වැඩි ජනතාවක් රජයට බරක් නොවී ජීවත් වෙන්නේ මෙම රැකියා තුළිනි.

ඇත්ත වශයෙන්ම ත්‍රිරෝද රථ මගී ප්‍රවාහන සේවාව විධිමත් කිරීමට නියාමනය සඳහා අධිකාරියක් පිහිටුවීමට කොතෙකුත් උවමනාවන් තිබුණද මගීන්ගෙන් ගසාකෑමට වෙර දරන ඇතැම් ඊනියා සංගම්කරුවන්ගේ විරෝධය හමුවේ ඒ සියලු අවස්ථා හකුලා ගැනීමට හිටපු විෂය භාර අමාත්‍යවරුන්ට සිදුවිය. උදාහරණයක් ලෙස 2003 පෙබරවාරි මස 20 දින අංක 1276/15 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් එවකට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ත්‍රිරෝද රථ මඟින් කෙරෙන මගී ප්‍රවාහන විධිමත් කිරීම, ප්‍රවර්ධනය කිරීම හා නියාමනය කිරීම සඳහා වැදගත් කොන්දේසි ගණනාවක්ම ඉදිරිපත් කළත් ඇතැම් වෘත්තිය සමිති සංගම්කරුවෝ ඒවා ගණනකට නොගත්හ.

ඉන්පසු නැවතත් 2008 නොවැම්බර් 21 දින අංක 1576/ 30 දරණ අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් එවකට පළාත් සභා ප්‍රවාහන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ  මහතා ද ත්‍රිරෝද රථ මගී ප්‍රවාහන සම්බන්ධ නීති රීති මාලාවක් හඳුන්වා දී ඒවා ඉදිරියට බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන බව නිවේදනය කළේය. එමඟින් ද යහපත් ප්‍රතිඵලයක් ඇති නොවුණි. කාලයක් මුළුල්ලේ ත්‍රිරෝද රථ නියාමනයට යම් අධිකාරියක් පිහිටවිය යුතු යැයි සමාජය පුරාවට ම කථිකාවතක් පැවතුණත් මේ වනවිටත් එය අදහසක් පමණි. පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා ද මෙවැනි අදහසක් පළ කර තිබිණි.

“ලීසිං පහසුකම් ආදිය ලබාගැනීමේ පහසුවත් එක්ක අපේ රටේ බොහෝ තරුණයන් ත්‍රිරෝද රථ රැකියාව තෝරා ගැනීමට නැඹුරු වීම සුලබව දකින්න ලැබෙන දෙයක්. තමන් මේ රැගෙන යන්නේ මගීන් බවත් ඔවුන්ගේ ජීවිත අවදානමකට ලක් නොකළ යුතුයි කියන තැන මේ පිරිස නොසිටීම නිසා විශේෂයෙන්ම අඩු වයස් තකාණ්ඩයේ ත්‍රිරෝද රථ රියදුරන් අතින් සිදුවුණ මරණ ඉහළයි. මේ නිසා ත්‍රිරෝද රථයක් පැදවීමට නම් වයස අවුරුදු විසිපහ පසු කර තිබීමත් අවුරුදු දෙකක පමණ පරිවාස කාලයකට යටත්වීමත් එම කාලයෙන් පසුව ඔවුන්ට මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ රියදුරන් ලෙස බලපත්‍රයක් ලබා දීමටත් අපි යෝජනා කරලා තියෙනවා. ඉදිරියේදී ප්‍රවාහන අමාත්‍යවරයා එක්ක කතා කිරීමෙන් පස්සේ අපි ඊළඟ පියවර ගන්න බලාපොරොත්තු වෙනවා.”


♦ හසිත් අංජන  
සේයාරූ I සුමුදු හේවාපතිරණ

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00