වත්මන් ශ්‍රී ලංකාව මුහුණපා සිටින බලවත්ම තර්ජනයක් වන්නේ උග්‍ර නියඟයයි. මේ වනවිට නියඟය නිසා විවිධ අර්බුදයන්ට ලෝකයේ බොහෝ රටවලට මුහුණපාන්නට සිදුවී තිබේ. කාලගුණය හා දේශගුණය අහිතකර අන්දමින් ලෝකයටම බලපෑමට හේතු වී තිබෙන්නේ මිනිසා විසින් විවිධ අවක්‍රියා නිසා බවට විවාදයක් නැත. ලෝක පරිසරයම දූෂ්‍ය වී වායුගෝලය බලවත් ලෙස උණුසුම් වී තිබෙන්නේ, මිනිස් ජීවිතවලට විවිධ තර්ජන ගර්ජන එල්ල කරමිනි.
ලෝකයටම බලපාන දේශගුණික හා කාලගුණික වෙනස්වීම පුංචි ශ්‍රී ලංකාවටත් මේ වනවිට තදින්ම බලපා තිබේ. වගා බිම් අක්කර දහස් ගණනක් පුරන් වන්නට ඉඩහැර තිබෙන්නේ, වගා කරන ලද අක්කර දහස් ගණනක වගාබිම්වල වගාවන් විනාශ වී යමින් තිබෙන්නේ, නියඟය උග්රවීම නිසා වැව් අමුණුවල ජල ධාරිතාව සීඝ්‍ර ලෙස පහත වැටීම නිසාය.
බොහෝ ප්‍රදේශවල ජනතාවට බීමට පවා ජලය නොමැති, වී තිබේ. අවශ්‍ය ආහාර, බීමට අවශ්‍ය ජලය නොමැති වීම නිසා වන සතුන් විශේෂයෙන්ම වනඅලි රංචු පිටින් දිවා රෑ නොබලා ඈත දුෂ්කර ගම්මානවලට කඩා වදින්නට පටන්ගෙන තිබෙන අතර උන් විසින් ගෙවතු වගාබිම් ගෙවල් දොරවල්වලට බලවත් හානි කරනු ලැබ තිබෙන අතර උන්ගේ පහරදීම් නිසා දිනපතාම වාගේ මිනිස් ජීවිත විනාශවීමත්, මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා වනඅලින් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයටද පත්වී තිබේ. නියඟය වැනි ස්වභාවික විපත්වලින් පීඩා විඳින ජනතාවට සතා සිවුපාවුන්ට කිසියම් සහන සැලසිය හැකි වුවද රජයට මුළුමනින්ම එම තත්ත්වය මැඩපැවැත්විය නොහැක. මෙම තත්ත්වයට මුහුණදීමට රජයත් රටේ ජනතාවත් එකට එක්විය යුතුය.
ලෝක කාලගුණික හා දේශගුණික විපර්යාසයන්ට ශ්‍රී ලංකාව වැනි පුංචි රටකට මුහුණදෙනවා හැරෙන්නට වෙන කරන්නට දෙයක් නැත. එහෙත් ලෝකයට බලපාන මෙම දේශගුණික හා කාලගුණික විපර්යාසය ලංකාවට බලවත් සේ පීඩාකාරී වීමට හේතු කාරණා වී තිබෙන්නේ, වෙනකක් නිසා නොව හිටපු රජයේ දේශපාලනඥයන් විසින් මෙන්ම දැනට පාලන බලයේ සිටින ඇතැම් පාලක බලවතුන් විසින්ද ඉවක් බවක් නොමැතිව ස්වභාවික පරිසරයට කරන බලවත් හානියයි. රට සංවර්ධනය කිරීමට මහාමාර්ග, ගොඩනැගිලි, ජනාවාස, කර්මාන්ත ශාලා, හෝටල් සංකීර්ණ, නිවාස ව්‍යාපෘති අලුතින් ආරම්භ කිරීමේ බලවත් අවශ්‍යතාවක් තිබෙන බැව් අප පිළිගත යුතුය. ඒවා කළ යුත්තේ, ක්‍රමවත් හා කිසියම් සැලසුමකට අනුව මිස තැන නොතැන නොබලා ඉවක් බවක් නොමැතිව අතට ලැබෙන කොමිස් මුදල් ඇතුළු විවිධ ප්රතිලාභ මරදාන ඉලක්ක කරගනිමින් නොවේ. රට හා ජනතාව නොතකා ඔවුන් කරන්නේ එම අපරාධය නොවේද?
එසේම අභාග්‍යයකට මෙන් මේ වනවිට රටේ වන සම්පත ඉතා සීඝ්‍ර ලෙස පහත වැටී තිබේ. මෙයට ප්‍රධාන හේතුව මහා ඝන වනය, වැසි වනාන්තර, වනෝද්‍යාන, පුරාවිද්‍යා රක්ෂිත තුළ සංවර්ධනයේ නාමෙන් විවිධ වර්ගයේ පාරවල්, ගොඩනැගිලි සංකීර්ණ, ඉදිකිරීම්, ජනාවාස ආරම්භ කිරීමට කටයුතු කර තිබීම හා කටයුතු කරමින් සිටීමයි. මේ නිසා රට තුළ නිර්මාණය වී තිබෙන්නේ හා නිර්මාණය වෙමින් තිබෙන්නේ, යහපාලන බලවතුන්ට ලෙහෙසි පහසුවෙන් විසඳුම් ලබාදිය හැකි තත්ත්වයක් නොවේ. රටේ තිබෙන භූමිය ලියලමින් ගඟක් මෙන් වැඩි වර්ධනය වන්නේ නැත. එහෙත් රටේ ජනතාව එසේ නොවේ, ඔවුන් වසරින් වසර වැඩි වර්ධනය වන්නේ ස්වභාව ධර්මතාව අනුව මිස කාටවත් අවශ්‍ය අන්දමින් නොවේ.
රටේ කටවල්, බඩවැල් වැඩිවන තරමට රටේ භූමිය ප්‍රසාරණය කළ හැකි නොවේ. එහෙත් රටේ භූමිය ස්වභාවික විවිධ හේතු කාරණාවල් නිසා හා මිනිසාගේ අවකල් ක්‍රියාවන් නිසා විනාශ වී යාම අප විසින් මැනවින් තේරුම් ගත යුතුය. ශ්‍රී ලංකාව කුඩා දූපතක් බව අප පළමුව මතක තබාගත යුතුය. මේ වනවිට රට වටේ තිබෙන මහමුහුද විසින් රටේ උතුර, නැගෙනහිර, බටහිර, දකුණ සෑම ප්‍රදේශයකම බිලිගෙන තිබෙන භූමි ප්‍රමාණය මොනතරම් සුවිශාලද? දැනටත් තවත් සුවිශාල භූමි ප්‍රදේශයකම මහමුහුදු රළ විසින් දිවා රෑ විවිධ අන්දමේ තර්ජන, ගර්ජන එල්ල කරමින් තිබේ. ඉදිරියේදී මුහුද තවත් රටේ භූමියක යම් ප්‍රමාණයක් ගිලගන්නවාට කිසිම සැකයක් නැක. ලෝක උෂ්ණය ඉහළ නගින විට මුහුදේ තිබෙන සුවිශාල අයිස් කඳු දියවෙන්නට පටන් ගැනීම ස්වභාවිකය. එවිට මුහුදු ජලකඳ ප්‍රසාරණය වී එහි රළ වේගයෙන් ගසා එන්නේ ගොඩබිම දෙසට බැව් ඕනෑම කෙනකුට තේරුම් ගතහැකි දෙයකි. ඒ අනුව බලන කල මහමුහුද විසින් ශ්‍රී ලංකාවට ඉදිරියේදී තව තවත් විනාශයන් කිරීම ගැන රජය මෙන්ම රටේ ජනතාවද දැනුම්වත් විය යුතුය.
ඒ මහමුහුදෙන් වටවී තිබෙන දූපතක් වන ශ්‍රී ලංකාවට මුහුදෙන් එල්ලවන තර්ජනයයි. එසේ වනවිට රටේ ඇතැම් දේශපාලන බලවතුන් හා ඔවුන්ගේ ගෝල බාලයන්, හෙංචයියන්, බඩගෝස්තරවාදී මජර රාජ්‍ය නිලධාරීන් (නීතියට පිටුපා කටයුතු කරන) ඇතැමකු රට හා ජනතාව ගැන නොතකා කරන ස්වභාවික පරිසර හානි මොනතරම් දරුණු වී තිබේද? ඒ තම තමන්ගේ හා ගෝලබාලයන්ගේ යටිමඩි පුරෝගැනීමේ අවස්ථාවාදී, බලලෝභී, දේශපාලනය ඉදිරියට දමා ගනිමිනි. ඔවුන් කිසිවකුට ජාතික සම්පතක් වන භූමිය හා එහි තිබෙන සියලුම වටිනා සම්පත් සුරක්ෂා කරගැනීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව මේ වනවිට ජනතාව මැනවින් තේරුම් ගෙන සිටිති. කැලෑ කපා විනාශ කර දමන්නේත්, ගංගා, ඇළ දොළ, වැව් අමුණුවල වැලි ගොඩ දමන්නේත්, පස් කැපීම් කරන්නේත්, ගල් කොරි පවත්වාගෙන යන්නේත් රටට ජනජීවිතයට මොනතරම් විනාශකාරී අන්දමින්ද? අද බොහෝ නගරවල ජල ප්රශ්නය උදාවී තිබේ. බීමට ගන්නා ජලයට, මුහුදු ජලය මුසුවී තිබෙන්නේ, මුහුදු මට්ටමට වඩා ගඟේ ජල මට්ටම පහත වැටී තිබෙන බැවිනි. එය ඉවක් බවක් නැතිව ගඟ හාරා වැලි ගොඩ දැමීම නිසා ගං ඉවුරු දෙපස පුළුල් වී තිබීම නිසාය. අද වනවිට වැලි පස්, ගල් ආදිය රත්තරන්වලටත් වඩා වැඩි වටිනාකමක් ලබා ගෙන තිබේ. මේවා ඇතැම්හු ධන නිධාන කරගෙන සිටිති.
ශ්‍රී ලංකාවේ මුදලට ගිජු ඇතැම් දේශපාලන බලවතුන් තමන්ගේ ගෝල බාගයන් යොදවා රාජ්‍ය නිලධාරීන් හා පොලීසියේ ඇතැමුන්ගේ පූර්ණ අනුග්‍රහය ඇතිව වැලිපස් ගල් විවිධ ක්‍රම සහ විධි භාවිත කරමින් මහ පරිමාණ ඉදිකිරීම් සඳහා සැපයීමට පෙළඹී සිටිති. මේවා නීති මගින් පාලනය කළ හැකිය. එහෙත් නීතිය ක්‍රියාකරවන නිලධාරීන්, පොලීසිය, දේශපාලන බලවතුන් ඇතැමකුට අවශ්‍ය විදියට නීතිය නවමින් නිවට නියාළුව තම රාජකාරිය පාවා දෙනවානම්! එය නතර කිරීමට රටේ රාජ්‍ය නායකයා වශයෙන් මෙන්ම පරිසර ඇමැති වශයෙන් ජනාධිපතිතුමාට සිදුවී තිබෙන්නේ ඒ සඳහා නියෝග කිරීමටය, එහෙත් සුසංයෝගී යහපාලනය රජයට ජනාධිපතිතුමාට රටේ හා ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා අවංකව හා එඩිතරව ගන්නා ඉදිරිගාමී තීන්දු තීරණයන් යාත්මක කිරීමට නොහැකි වන තරම් තත්ත්වයක් නිර්මාණය වී වැඩි වර්ධනය වෙනවා නම්? අප අපේක්ෂා කරන එතුමා පොරොන්දු දුන් යහපාලනය රටේ ස්ථාපිත කරන්නේ කෙසේද? රටේ භූමිය පරිසරය සුරකින්නේ කෙසේද?
♦ පැක් ආර්. ප්‍රනාන්දු
බෙලිහුල්ඔය