2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

තරුණ කතුන්ට නිතර හැදෙන වේදනාකාරී ලෙඩේ

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 2229

 

තරුණවියේ මෙන්ම මැදිවියද පසුකළ කාන්තාවන්ගෙන් සියයට 80ක් පමණම පීඩා විඳින අසහනකාරී තත්ත්වයකි මාසික ඔසප් වේදනාව. මාසිකව ඇතිවන මෙම වේදනාව හේතුවෙන් ඇතැම් කාන්තාවන් හට තම වෘත්තීය කටයුතු පවා හරිහැටි සිදුකරගත නොහැකි අතර අධ්‍යාපනය ලබන දරුවන්ගේ එම අධ්‍යාපන කටයුතුද නියමාකාරයෙන් සිදුකරගත නොහැකි වේ. ඇතැම් දැරියන් ඔසප් වේදනාව නිසාම සති ගණන් පාසල් ගමන අඩාල කරගන්නා අවස්ථාද ඇත. අද අපේ වෙදකමෙන් ඔසප් සමයේ ඇතිවන වේදනාවන් ගැන කතා කරන්නට සිතුවේ ඒ සඳහා බලපාන රෝග නිධාන කිහිපයක්ම ආයුර්වේදයේ සඳහන් කර ඇති බැවිනි. මේ සම්බන්ධයෙන් අපව දැනුම්වත් කළේ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ කෞමාරභෘත්‍යය සහ ස්ත්‍රී රෝග අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ඩබ්ලිව්.එල්.ඒ රාජිනී පුෂ්පකුමාරි මහත්මියයි.

ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට මේ කාෂ්ඨාර්ථව එහෙමත් නැත්නම් ආර්ථව වේදනා හටගැනීම සඳහා නිධාන වන හේතු සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන්ම හඳුන්වා දී ඇත්තේ ආහාර හා විහරණයයි. එම නිධානගත අවස්ථාවට පළමු අපි මෙම රෝගය හටගන්නේ කොහොමද කියලා බලමු.

වැඩිවියට පත්වුණු ගැහැනු දරුවකුගේ ආර්ථවය සිද්ධවීමේදී ගර්භාෂයේ සංකෝචන ක්‍රියාවලියක් සිද්ධවෙනවා. ඒ ගර්භාෂ සංකෝචන ක්‍රියාවලියේ අසාමාන්‍යතාවයක් නිසා තමයි බොහෝදුරට ආර්ථව වේදනාව ඇතිවෙන්නේ. ආයුර්වේදයේ දක්වන වාත, පිත්ත, කප කියන ත්‍රිදෝෂයන්ගෙන් වාත දෝෂය කෝපවීමෙනුයි මෙම තත්ත්වය ඇතිවන්නේ. මෙම වාත දෝෂය කෝපවීමෙන් ගර්භාෂයේ සිදුවන සංකෝචන ප්‍රමාණය වැඩිවෙනවා. අනෙක් දේ තමයි වාත දෝෂය කෝපවුණාම රජස් (ආර්ථව රුධිරය) පිටවීමද වැළකෙනවා. මෙලෙස වැළැක්වෙන්නේ කොහොමද කියනවානම් රජස වහනය වන ශ්‍රෝතස් කොටසක් තියෙනවා. මේ ශ්‍රෝතස් ඉහත ආකාරයේ වාත දෝෂ කෝපවීමක් නිසා අවරෝධනය වීමක් සිදුවෙනවා. ශ්‍රෝතස් අවරෝධනය වූ විට ගලායාමට තිබෙන දේ බැහැර වීමෙන් වළකිනවා. ගර්භාෂයේ තිබෙන ලක්ෂණයක් තමයි ගර්භාෂයට කුමන හෝ ද්‍රව්‍යයක් පැමිණ තිබෙනවානම් එය පිටකරන්නට කටයුතු කිරීම. සමහර අයට මෙම තත්ත්වය වැඩියි. ඉතින් ගර්භාෂය සංකෝචනයක යෙදුණත් ශ්‍රෝතස් අවරෝධනයක් සිදුවීම නිසා ආර්ථව රුධිරය බැහැර වෙන්නේ නෑ. මේ අවස්ථාවේදී ගර්භාෂයේ සංකෝචන ක්‍රියාවලිය තවදුරටත් වැඩිවෙනවා. ඒ නිසා රෝගියාට මහත් අපහසුතාවයක් ඇතිවෙනවා. ඒ වගේම තද වේදනාවක් ඇතිවන්නේද මේ නිසයි.

ඔසප් වේදනා හටගන්නේ

ඔසප් වේදනාව හටගැනීම සඳහා බලපාන ගර්භාෂගත රෝග අවස්ථාවන් කිහිපයක්ම ඇත. ගර්භාෂගත අර්බුද (ගෙඩි) ඉන් එක් ආකාරයකි. ගර්භාෂ අර්බුද කුඩා හා විශාල යන ස්වභාවයන් දෙකකින් දක්නට ලැබෙන අතර ඩිම්බකෝෂ ප්‍රදාහ (ඉදිමීම), ඩිම්බකෝෂ කෝෂ්ඨ හා යෝනි ව්‍යාපත් (එන්ඩ්‍රොමෙට්ට්‍රියෝසිස්) වැනි රෝගී අවස්ථාවන්ද අධික ආර්ථව වේදනාවන් හටගන්නා රෝගී තත්ත්වයන්ය. යෝනි ව්‍යාපත්වලදී ද මෙම රෝගය අයත් වන්නේ වාතය කෝපවීමෙන් හටගන්නා යෝනි ව්‍යාපත් අවස්ථාවටය. ආයුර්වේදයේ ඇති තවත් යෝනි ව්‍යාපත් අවස්ථාවක් වන උදාවර්තී යෝනි ව්‍යාපත් අවස්ථාවේදී ද කාෂ්ඨාර්ථය හටගනී. මෙම රෝගයේ මූලිකම ලක්ෂණයක් වන්නේ තීව්‍ර වේදනාව සහ ආර්ථවයේදී පිටවන රුධිර ප්‍රමාණය අඩුවීමයි.

කාෂ්ඨාර්ථවයේදී මතුවන රෝග ලක්ෂණ

කාර්ඨාර්ථවය වැඩිපුර හටගැනීමේ ප්‍රවණතාවයක් ඇත්තේ අවුරුදු 18 – 30 අතර වයස් කාණ්ඩවල සිටින කාන්තාවන්ටයි. ඇතැම් කාන්තාවන් හට විවාහයෙන් පසුව මෙම රෝග තත්ත්වය අඩුවිය හැකිය. වමනය, තදබල හිසරදය, ක්ලාන්තය, මළබද්ධය යන රෝගී අවස්ථා මෙහිදී මතුවිය හැකිය. ඒ අතරට අධෝ උදර (යටිබඩ) හා කටී (කොන්ද) ප්‍රදේශයේ වේදනාවද හටගනී. ආර්ථවය සිදුවීමට දින දෙක තුනකට හෝ සතියකට පෙර වේදනාව හටගන්නා අතර ආර්ථවය සිදුකිරීමෙන් පසුව රෝග තත්ත්වයද පහව යයි. එහෙත් මළබද්ධය දීර්ඝකාලීනව පැවතිය හැකි අතර මළබද්ධය දුරුකර ගැනීමෙන් මේ තියන රෝග අවස්ථා බොහොමයක්ම මඟහරවා ගැනීමේ හැකියාව ඇත.

රෝග හටගැනීමට බලපාන සාධක

අද සමාජයේ පවතින රෝගයන් බොහොමයකට සේම මෙම රෝගයටද බොහෝවිට හේතු සාධක වන්නේ සමාජය හුරුවී ඇති ආහාර රටාවයි. ආයුර්වේදයේ ශ්ලෝකයකින්ම පෙන්වා දෙන ආකාරයට උෂ්ණ, ලවණ, අම්ල, බර ආහාර කාන්තාවන් සඳහා නුසුදුසු කොට ඇත. විශේෂයෙන්ම පහසුවෙන් නොදිරවන ආහාර, අධික ලුණු සහිත ආහාර, කටුක (මිරිස්, දුරු) ආහාර, විදාහී (දැවිල්ල සහිත ආහාර) ආහාරයට ගැනීම නුසුදුසුය. අධික තෙල් සහිත මස්, මාළුද, දීකිරිද නුසුදුසු ආහාරයන් යටතට ගැනේ.

කුකුල් මසුත් අගුණයි

ව්‍යාපාරික වශයෙන් කෙරෙන කුකුල් පාලනයේදී කුකුලන් සම්පූර්ණයෙන්ම පාහේ වැඩෙන්නේ ඔවුන්ට ලබාදෙන හෝර්මෝන හරහාය. වෛද්‍යතුමිය සඳහන් කරන ආකාරයට සායනයට පැමිණෙන ඔසප් වේදනාවෙන් පෙළෙන රෝගීන් ගත්විට ඒ අතරිනුත් වැඩිපුරම සිටින්නේ මෙවැනි කුකුල් මස් වැඩි වශයෙන්ම ආහාරයට ගන්නා කාන්තාවන්ය. ඊට අමතරව අනාර්ථවය එනම් ආර්ථවය සිදුනොවන පිරිසගේත් ආහාර රටාව පිළිබඳව සොයා බැලීමේදී පෙනී ගොස් ඇත්තේ මේ අය දිගටම කුකුල් මස්වලට හුරුවී සිටි පිරිසක් බවයි.

ඔසප් දිනවල නාන්න එපා

ඔසප් වේදනාව ඇතිවෙන්නට ප්‍රධාන හේතුව වන්නේ වාත දෝෂයයි. මෙම වාත දෝෂය කෝපවීමට සීතලද ඍජුවම බලපායි. හවස් කාලයට සීතල ජලය නෑම, ආහාර ගත් විගස නෑම වැනි හේතු නිසා වාත දෝෂය කෝප වියහැකි අතර එමනිසා ආර්ථව වහනය වන ශ්‍රෝතස් අවරෝධය වේ. එහි බලපෑමක් ලෙස කාෂ්ඨයන් ලක්ෂණ ඇතිවේ. මෙයද හැමදෙනාටම බලනොපාන අතර උෂ්ණාධික සිරුරක් හිමි කෙනකුගේ ස්ථානය ගැටලුකාරී නොවේ. 

මළබද්ධය ඇත්නම් උෂ්ණ ආහාර එපා

මෙවැනි රෝගීන් මළබද්ධයෙන් පෙළෙන විටදී ඔවුන්ට උෂ්ණාධික ආහාර නුසුදුසුය. මෙවැනි තත්ත්වයෙන් පෙළෙන්නන් සාමාන්‍ය විරේඛන ගුණයන්ගෙන් යුක්තවන ආහාර ගැනීම වඩාත් සුදුසුයි. විශේෂයෙන්ම ගස්ලබු, පේර වැනි අලුත් පළතුරු ගුණදායකය. පාන් වැනි ආහාර වැඩිපුර භාවිතා කරන අයට මළබද්ධය වැඩිය. වඩාත් සුදුසු වන්නේ බත් සමඟ වැඩිපුර අලුත් එළවළු ආහාරයට ගැනීමයි. කාර්ඨාර්ථව රෝගීන්ට උගුරුස්ස වැනි පළතුරු සුදුසු නොවේ. නිවිති, මුකුණුවැන්න ගුණදායකය. අලුත් කංකුංද, බතල දලුද හොඳ මෘදු විමෝචනකාරකයන් බැවින් එවැනි ආහාර මෙවැනි රෝගීන්ට සුදුසුයි.

හොඳ විහරණ

දහවල් ආහාරය ගත්විගස නෑමෙන් වැළකීම මෙවැනි රෝගීන්ට සුදුසුම විහරණයකි. එසේම බර ආහාර ගැනීමෙන් වැළකී සිටීමද, වේදනාවන් ඇතිවීමේදී නිතරම ඖෂධ ලබාගැනීමට හුරැවී ඇත්නම් එය වළක්වා ගැනීමද කළ යුතුය. නිතරම උණුසුම්ව ආහාර, එනම් ඒ මොහොතේ පිළියෙළ කළ ආහාර ලබාගැනීමට කටයුතු කළ යුතුය. ජල පානයද ඉතා වැදගත්ය. මෙහිදීද ආහාර ගත් විගස ජලය වැඩිපුර පානය කිරීම නොකළ යුතු අතර දිනකට අවශ්‍ය ජලය ප්‍රමාණය නියමිත පිළිවෙළකට අනුව පානය කළ යුතුය. උදෑසන අවදි වූ විගස මුවසෝදා පිරිසිදු වතුර වීදුරුවක් ද නැවත සවස පහට පමණ පිරිසිදු වතුර වීදුරුවක්ද ඒ අතර පානය කරන ජලය ලෙසින්ද මෙම පිළිවෙළ සකස් කරගත හැක. වතුර වැඩි ප්‍රමාණය පානය කළයුතු වන්නේ ආහාර නොගන්නා අවස්ථාවලදීය. රාත්‍රී නිදිමැරීමද සිදුනොකළ යුතු අතර මානසික සහනයද වඩා වැදගත්ය. තම සිත ගත දෙකම පිරිසුදු කරගත යුතුය. ව්‍යායාමද අත්‍යවශ්‍යය. ඒ සඳහා උදරය දිගහැරෙන, හැකිළෙන ව්‍යායාම සඳහා යොමුවිය යුතුය.

නිවසේදීම ප්‍රතිකාර

ආර්ථව වේදනාවෙන් පෙළෙන විටදී නිවසේදී කළ හැකි ප්‍රතිකාරයක් වන්නේ උණුවතුර බෝතලයක් ගෙන එයින් උදරය මඳක් ස්පර්ශ කිරීමයි. නටාගත් උණුවතුර බෝතලයකට දමා එය හොඳින් මූඩියෙන් තදකර තුවායක් වැනි දෙයක ඔතා මෙම ප්‍රතිකාරය සිදුකළ හැක. උණුවතුර දැමීමේදී බෝතලය පිරෙන්නට වතුර දැමීමද නොකළ යුතුය. මෙම ප්‍රතිකාරය දියවැඩියා රෝගීන්ට සුදුසු නැත. ඊට අමතරව ප්ලැනල් රෙදි කැබැල්ලක් උණුවතුරෙන් පොඟවා හොඳින් මිරිකා ආයුර්වේදයෙන් ලබාගත හැකි චූලහර නම් තෙල් වර්ගය හැකියි. දේශීය ඖෂධයක් ලෙස නිකකොළ මිට මිට ගෙන කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා තෙල් ආලේප කර කොන්ද සහ යටිබඩ ප්‍රදේශය තැවිය හැක. එවිට වාතය සමනය වීමෙන් රුධිරය පිටවීමද සිදුවන අතර වේදනාව අඩුවේ.

කාන්තාවන් නිතර පීඩා විඳින බාතොලින් ග්‍රන්ථි විද්‍රධි රෝගය

ස්ත්‍රීන්ට බහුල වශයෙන්ම ඇතිවන ඉතාමත් අසහනකාරී තත්ත්වයකි බාතොලින් ග්‍රන්ථි විද්‍රධි අවස්ථාව. ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ බාහිර ලිංගේන්ද්‍රිය පෙදෙසෙහි මෙම ග්‍රන්ථිය පිහිටන අතර රෝගය හටගන්නේ මෙම ග්‍රන්ථිය ආසාදනය වීමෙනි. මෙය ඉතා වේදනාකාරී අවස්ථාවක් වන අතර ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ඩබ්ලිව්.එල්.ඒ. රාජිනී පුෂ්පකුමාරි මහත්මිය මෙම රෝගය සම්පූර්ණයෙන්ම සුවකිරීම සඳහා ඖෂධද සොයාගෙන ඇත.

ලිංගික සංසර්ගයේදී ලිංගේන්ද්‍රිය ප්‍රදේශය තෙත් ස්වභාවයක් පැවතිය යුතුවේ. ලිංගික උත්තේජනයක් සිදුවීමේදී ස්‍රාවය වැගිරීමක් සිදුවන්නේ මෙම ග්‍රන්ථි උත්තේජනයක් සිදුවන නිසාය. මෙම ප්‍රදේශය නිතරම තෙත් ස්වභාවයේ පැවතීම නිසා ආසාදනයන් ඇති වීමේ හැකියාව වැඩිය. බොහෝ අවස්ථාවල විවාහක කාන්තාවන් ලිංගික සංසර්ගය සිදුකිරීමේදී බාහිරින් මෙම ප්‍රදේශයට විෂබීජ ඇතුළු වීමේ හැකියාව ඉහළ අගයක ඇත. මේ ආකාරයට විෂබීජ ගමන් කිරීමෙන් මෙම ග්‍රන්ථි ඉදිමීම සිදුවේ.

විෂබීජවලින් ආසාදනය වීමෙන් බාතොලින් ග්‍රන්ථි ප්‍රදාහ, බාතොලින් ග්‍රන්ථි කෝෂ්ඨ හා බාතොලින් ග්‍රන්ථි විද්‍රයි යන ආකාරයන්ට පියවරෙන් පියවර පැමිණීම සිදුවේ. මුලින්ම අධික කැසීමක් හටගන්නා අතර කැසීමේදී තුවාල සිදුවීමෙන් විෂබීජ ඇතුළු විය හැකියි. බාතොලින් ග්‍රන්ථිය ප්‍රදාහය විශාල වීමෙන් එය කෝෂය අවස්ථාවට පත්වේ. එහිදී එම ප්‍රදේශයෙන් සැරව සෛල එකතු වේ. එවිට බාතොලින් ග්‍රන්ථි ප්‍රදාහය විද්‍රධි අවස්ථාවකට (Absecess) පත්වේ. මෙය Barholin abscess ලෙසද හැඳින්වේ. මෙය දකින්න ලැබෙන්නේ ලඝු භගෝෂ්ඨය (යෝනි තොල්) තුළය. බාතොලින් විද්‍රධි අවස්ථාවේ යෝනි තොල් රතු පැහැයට පවතින අතර මෙය ඉතාම වේදනාකාරී වේ. වේදනාව යෝනි ප්‍රදේශයේ පුරාම පවතින අතර මෙවැනි රෝගියකු හට ඇවිදීම් අපහසුතාව, සිටගෙන සිටීමේ අපහසුතාවය ආදිය ඇතිවේ. මද උණ ගතියක්ද දක්නට ලැබෙන අතර වේදනාව වැඩිවීම නිසා ආහාර අරුචියක්ද ඇතිවේ.

මෙම රෝගයට ප්‍රතිකාර ලෙස සැලකීමේදී බටහිර වෛද්‍ය විද්‍යාවේදී සිදුකරන්නේ ශල්‍යකර්මයක් මගින් මෙහි සැරව කොටස් ඉවත් කිරීමය. එහිදී යෝනි තොල්වල හා යෝනි ප්‍රදේශය අතරින් ඡේදයකර එහි ද්‍රව්‍ය ඉවත් කරනු ලැබේ. නමුත් මෙහිදී මෙම රෝගී අවස්ථාව මුළුමනින්ම පහව නොයන අතර නැවත නැවතත් ශල්‍යකර්ම කිරීමටත් සිදුවනු ඇත.

ඒ සම්බන්ධයෙන් වෛද්‍ය ඩබ්ලිව්.එල්.ඒ රාජිනී පුෂ්පකුමාරි මහත්මිය අපව දැනුම්වත් කළේ මේ ආකාරයටයි.

අපේ සායනයට එන කාන්තාවන් අතරින් අටවතාවක්ම ශල්‍යකර්මවලට භාජනයවූ කාන්තාවකුත් හිටියා. සමහර අය දෙසැරේ, තුන්සැරේ ශල්‍යකර්ම කරලා තියෙනවා. මේ විද්‍රධිය පලලා සැරව ඉවත් කිරීමම සාර්ථක වෙන්නේ නෑ. එම රෝග කාරකය මුළුමනින්ම ඉවත් කරන්න ඕනේ. අපේ බාහිර රෝගී අංශයට එන මෙවැනි රෝගී කාන්තාවන්ගෙන් කිහිපදෙනෙක් තෝරාගෙන පරීක්ෂණ පවත්වලා තමයි අපි නව ඖෂධයක් සොයා ගත්තේ. මේක ලේපයක් (බාම් එකක්) එහි ශෝධන හා රෝපණ ඖෂධ අන්තර් ගතයි. එම ලේපය ආලේප කිරීමෙන් සියයට සීයයක්ම සාර්ථක ප්‍රතිඵල ලැබිලා තියෙනවා. අපේ සායනයට එන කාන්තාවන්ට මෙම ප්‍රතිකාරය නොමිලේ ලබාගන්න පුළුවන්.

මෙම රෝගය දිගින් දිගටම පැවතීම මගින් දැඩි ගැටලුකාරී තත්ත්වයක් මතුවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ශල්‍යකර්මවලදී මෙම ප්‍රදේශයට නිකුත්වන ස්‍රාවය අවහිර කිරීමක් සිදුවෙන නිසා මෙම ප්‍රදේශය වියළි ස්භාවයක් ගන්න පුළුවන් එහෙම වුණාම ලිංගික සංසර්ගයේදී වේදනාවක් ඇතිවෙනවා. ඒ නිසා මෙම රෝගයට නිවැරදි ප්‍රතිකාරයක් අනුගමනය කිරීම තමයි වඩාත් වැදගත් වන්නේ.

♦ හේමමාලා කුමාරි රාජකරුණා 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00