ජූනි මාසයේ පළමු සතියේ දිනයකි. බම්බලපිටිය පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ මූලිකත්වයෙන් පිටත් වූ තිදෙනකුගෙන් සමන්විත කණ්ඩායමකි. ඉහළින් ලද නියෝගයක් මත පිරිස පිටත්ව තිබුණේ පැය කිහිපයක් තුළදී අලුතින් නඩු රැගෙන ඒම සඳහාය. නිලඇඳුම් රහිතව උප පොලිස් පරීක්ෂකවරයාගේ නායකත්වයෙන් ගිය නිලධාරීන් නගරය පුරා ස්ථාන කිහිපයක සැරිසැරැවද කිසිදු සැකකරැවෙක් හෝ හමුවූයේ නැත. අවසානයේ පිරිස පැමිණියේ හයිලෙවල් මාර්ගයේ හැව්ලොක් ටවුම දෙසටය.
එක නඩුවක් හෝ ලබාගන්නට අසමත්ව සිටි නිලධාරීහු හයිලෙවල් මාර්ගයේ රැඳී සිටියහ. පාලමක් හරහා දිවෙන මාර්ගයේ පාලම පසුකළ වහාම ඇත්තේ වැල්ලවත්ත පොලිස් බලප්‍රදේශයයි. ඒ බව සඳහන් පුවරුවක් මාර්ගය පසෙකින් සිටුවා තිබේ. බම්බලපිටිය පොලීසියේ පෙර කී නිලධාරීන් තිදෙනා පැමිණ තිබුණේ වැල්ලවත්ත පොලිස් බලප්‍රදේශය වෙතය. එහා මෙහා ඇවිදිමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයාට නෙත ගැටී තිබුණේ ඊට ටිකක් ඈතට වන්නට ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ ඉසිවර ඖෂධාලය නම් සඳහන් පුවරුවකි. කැඩුම් බිඳුම් සඳහා පාරම්පරික ආයුර්වේද ප්‍රතිකාර ලෙසද එහි සටහන්ව තිබුණි.
වැඩි වේලාවක් ගතවන්නට මත්තෙන් පිරිසෙන් මිදුණු උප පොලිස් පරීක්ෂකවරයා ඉසිවර ඖෂධාලය වෙත ගියේය. කැඩුම් බිඳුම් වෙදකම මුවාවෙන් එහි තවත් කටයුතු සිදුකෙරෙන බවට සාධක හඳුනාගන්නට උප පොලිස් පරීක්ෂකවරයාට කල්ගත වූයේ නැත. එම ආයතනයේ ඇහැට කනට පෙනෙන රූමතියන් දෙදෙනෙකි. උප පොලිස් පරීක්ෂකවරයා ඉන් තෝරාගත්තේ රුවින් පිරිපුන් තැනැත්තියකි. ආයතනයේ සේවයේ නියුතු වෙද මහතා තවත් පසෙකය. පෙර කී රූමතිය සමඟ සතුටින් ටික වේලාවක් ගත කළ පොලිස් නිලධාරියා වහා කාමරයෙන් පිටතට පැමිණියේය. ඒ ඔහුගේ ජංගම දුරකතනයට පැමිණි ඇමැතුමක් හේතුවෙනි.
ඒත් සමඟම වෙද මහතා හමුවේ කියා තිබුණේ විනාඩි පහක් දෙන්න ඉක්මනට එන්නම් කියාය. ඔහු නැවත පැමිණ තිබුණේ තනිවම නොව තවත් පුද්ගලයන් දෙදෙනෙක් සමඟය. ඒ උප පොලිස් පරීක්ෂකවරයා යටතේ පැමිණි සෙසු දෙදෙනාය.
තමුන්ලා මෙතන කැඩුණු බිඳුණු තැන්වලට වෙදකම් කරනවා කියලා ගණිකා ජාවාරම කරන්නේ. අපි පොලීසියෙන් කියලා පැහැදිලියිනේ. මේ තියෙන්නේ අපේ අයිඩින්ටි. මේක කෙළින්ම උසාවි යන වරදක්. උසාවි දැම්මොත් ලක්ෂ දෙක තුනකින් බේරෙන්න බෑ. කැමැති නම් මෙතනින්ම වැඩේ ඉවර කරනවා. අපිට රුපියල් 50,000ක් දැන් ඕනෑ.
මෙසේ කියා තිබුණේ උප පොලිස් පරීක්ෂකවරයාය. පිළිතුරැ වශයෙන් වෙද මහතා පවසා තිබුණේ තමුන් සතුව එතරම් මුදලක් නැති බවත් හැකි නම් උපරිමය රැපියල් 25,000ක් ලබාදිය හැකි බවත් එය බාරගන්නා ලෙසය. ඊට එරෙහිව ගෝරණාඩුවක් පැවසූ නිලධාරියා කියා තිබුණේ සත පහක්වත් අඩු නෑ, කැමැති නම් 50,000 දෙන්න. නැත්නම් උසාවි යන්න පුළුවන්. ඒත් ඕන නෑ.. මේ ගෑනිගේ කරේ හොඳ මාලයක් තියෙන්නේ. සල්ලි නැත්නම් උකස් කරලා ගෙවන්න පුළුවන්නේ යනුවෙනි.
අවසානයේ කිසිවක් කළ නොහැකි වූ වෙද මහතා අදාළ කාන්තාව සමඟ සාකච්ඡා කර ඇයගේ ගෙල බැඳි මාලය ගලවාගෙන උකස් කරන්නට සිතුවේය. ඊටත් කාලය හරස්ව තිබුණේ එවැනි උකස් මධ්‍යස්ථාන සවස 6න් පසුව වසා ඇති නිසාය. එහිදී පොලිස් නිලධාරියා කියා තිබුණේ හරි හරි මාලෙ අරගෙන යමුකෝ. ඒකට තැනක් කොල්ලුපිටියේ තියෙනවා. පැය 24 පුරාම ඒක ඇරලා තියෙනවා කියාය. ඒත් සමඟ ත්‍රිරෝද රථයකට නැඟුණු සිව්දෙනා කොල්ලුපිටිය ගාලුපාර දෙසට ගියේය. අතරමගදී ත්‍රිරෝද රථය නවත්වා වෙද මහතා සමඟ නිලධාරියා බැස ගියත් සෙසු නිලධාරීන් දෙදෙනා ත්‍රිරෝද රථයේ රැඳී සිටියෝය. දෙදෙනා බැසගොස් තිබුණේ පැය 24 පුරා විවෘතව ඇති උකස් මධ්‍යස්ථානයක් වෙතය. එහිදී රන් මාලය උකසට තබා රුපියල් 60,000ක මුදලක් ලබාගෙන එතැනදීම රුපියල් 50,000ක් පොලිස් නිලධාරියා ලබාගෙන ඉතිරි රුපියල් 10,000 වෙද මහතා රුගෙන ගියේය. ගනුදෙනුව එතැනින් අවසන් වෙද්දී කිසිවක් නොවූ පරිදි නිලධාරියා ගොස් සෙසු පිරිසට එකතු විය.
මේ ආකාරයට පොලිස් නිලධාරියෙක් විසින් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයකින් රුපියල් 50,000ක කප්පම් මුදලක් ලබාගෙන පලාගිය බවට බුද්ධි අංශ තොරතුරක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත ලැබී තිබුණි. සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන්නට පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතා යටතේ ක්‍රියාත්මක ඒකකයට පවරා තිබුණි. ඔහුගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ගුණතිලක මහතා ඇතුළු පිරිසක් විමර්ශන ඇරුඹූහ.
හඳුනාගත් තොරතුරු අනුව අදාළ ස්පා මධ්‍යස්ථානය බව කී ස්ථානය අපිරිසුදු අප්‍රසන්න ස්ථානයකි. පෙර කී සිදුවීමෙන් සති දෙකකට පමණ පසුව ස්පා ආයතනය එහි තිබුණේ නැත. ආරංචි මාර්ග අනුව එය වෙනත් ස්ථානයකට රුගෙන ගොස්ය. සැකකරුවන් පිළිබඳ තොරතුරු හඳුනාගන්නට සී.සී.ටී.වී. දර්ශන හෝ ප්‍රමාණවත් නැත. එබැවින් සැකකරැට එරෙහිව වරද සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීම අසීරුය. සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා නීතිය පිළිබඳ දැනුවත් නිසා බොහෝ සූක්ෂමව කටයුතු කළ බවද පැහැදිලිය.
කෙසේ වෙතත් සැකකාර සෙසු පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රකාශ කර ඇත්තේ කප්පම් කතාව තමුන් දැනගත්තේ පුවත්පතක් මාර්ගයෙන් බවය. මාලය හිමි කාන්තාව හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් වීම හා සත්‍ය කරැණු ඉදිරිපත් කරනු ඇතිදැයි විශ්වාස නැත. සිද්ධියෙන් පසුව නිවාඩු ලබා ගිය සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා නැවත සේවයට වාර්තා කර නැත. ඔහු තම මවගේ මාර්ගයෙන් නිලඇඳුම් නැවත පොලීසියට බාර කර ඇති බවට වාර්තා විය. සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
සමන්ත ප්‍රදීප් විල්තෙර