2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

හොඬේ දළේ දාගත් සිතුල්පව්වේ චණ්ඩියා

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 141

යාල ජාතික වනෝද්‍යානයේ පිහිටි සිතුල්පව්ව රාජමහා විහාරස්ථානය කරා එන යන වන්දනා රථවලට නිතරම වාගේ පහර දී මොනවා හෝ දෙයක් කෑමට හුරුවී සිටි නන්දමිත්‍ර ඇතා ප්‍රසිද්ධ වූයේ, “වාහන කඩන ඇතා” යනුවෙනි. ඌ කටගමුව සිතුල්පව්ව මාර්ගයේ සහ පින්වැව සිතුල්පව්ව මාර්ගයේ නිතර ගැවසීමට පුරුදුව සිටී.

මෙම වාහන කඩන ඇතා පුරුදුව සිටියේ වාහනවල බැතිමතුන්ගේ පළතුරු වැනි දේවල් කොල්ලකෑමටය. තමන්ට කෑමට යමක් ලැබෙන තුරු, මේ සිඟන ඇතා මහත් නොඉවසිලිවන්තව තම අරමුණ ඉටුකරගැනීමට කටයුතු කරන්නේ සිතුල්පව්වට පැමිණෙන බැතිමතුන්ට ත්‍රාසය අත්කර දෙමිනි.

තම අණසක පතුරවමින් සිටි මේ ඇතාට පසුගිය දිනවල සිදුවූ අනපේක්ෂිත සිදුවීමෙන් දිවි අහිමිවීමට තිබූ ඉඩකඩ නූලෙන් බේරුණේ වනජීවී දෙපාර්තමේන්තුවේ මහත්වරුන්ට පින් සිදුවන්නටයි.

නන්දිමිත්‍ර ඇතා හොඬවැල වකුටු කරගෙන යම් අපහසුතාවයකින් සිටිනා අයුරු දැක වහාම ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන් දකුණ සහ ඌව කලාපය භාර පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මහතාගේ සේවය ලබාගෙන ඔපරේෂන් නන්දමිත්‍ර බේරා ගැනීම ක්‍රියාත්මක කිරීමට කටයුතු සංවිධානය කෙරිනි.

නන්දිමිත්‍ර ඇතාගේ මෙම අහඹු සිද්ධිය සම්බන්ධයෙන් දකුණ සහ ඌව කලාපය භාර පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මෙසේ පැවසීය.

මෙම ඇතාට වයස අවුරුදු 25ක් පමණ වෙනවා. ඇතාගේ හොඬය දළය තුළ සිරවී තිබුණා. අනතුර සිදුවන විට ඇතා මද කිපී මුල් අවස්ථා ලක්ෂණ පහළ වී තිබුණා. සාමාන්‍යයෙන් ඇතකුට සිදුනොවෙනා අහඹු සිදුවීමක් තමයි නන්දිමිත්‍රට සිදුවී තිබුණේ. අපි වහාම සිතුල්පව්වට ඇවිල්ලා නන්දිමිත්‍රගේ හොඬය දළයෙන් එළියට ගැනීමට කටයුතු ආරම්භ කළා.
ඒ සඳහා තුන්දෙනෙක් සම්බන්ධ කරගෙන අඟලේ ගැල්වනයිස් බටයකට මිලිමීටර දොළහක කම්බි කූරක් වෑල්ඩින් කරලා එයට ලණුවක් අමුණාගෙන මෙම කටයුත්ත සාර්ථකව කිරීමට හැකිවුණා.

එහිදී ඇතාගේ හොඬවැලට සහ දළයට කිසිදු අනතුරක් නොවෙනා විදියට කටයුතු ඉතාමත් සූක්ෂමව කිරීමට අපට හැකිවුණා. මේ ලෙස දළයේ හොඬය සිරවූ පසු නැවතත් එළියට ගැනීමට ඉතාමත් අපහසුයි. හොඬය යනු ඇතාගේ නාසයයි. එහි ඇති තෙත ගතිය නිසා දළය ඒ තුළට බැසීමෙන් පසු සිරවීමක් සිදුවී තිබෙනවා.

මෙම අනතුර සිදුවීමට හේතුවක් ලෙස කූඹියෙක්, කඩියෙක්, එම හොඬය කෙළවර සපා කෑමේදී හෝ ඇතුළට රිංගා යෑමේදී, හොඬය කෙළවර දළ උපයෝගී කරගෙන සියුම්ව කැසීමට ඇතුන් පුරුදු වී සිටිනවා. එහිදී දිගින් දිගටම කැසීමේදී සිදුවූ මහත් අහඹු සිදුවීමක් ලෙස මෙම අනතුර හඳුන්වා දිය හැකියි.

මගේ වෛද්‍ය දිවියට දැනට වසර 15ක් සම්පූර්ණ වෙනවා. එහිදී දැකපු ප්‍රථම ඇත්හොඬ දළ අනතුර මෙයයි.

මේ අයුරින් මහ වනමැද අලි ඇතුන්ට කරදර සිදුවී ඇත්නම් වනජීවී පශු වෛද්‍යවරු සැණෙකින් පිහිටට ඒමට උනන්දු වන බවත් එය විශාල පිනක් ලෙස සලකන බවත් වෛද්‍ය ධර්මකීර්ති මහතා පැවසීය.

නන්දමිත්‍ර ඔපරේෂන් එක එලෙස සිදුවූවත්, ඊට හාත්පසින්ම වෙනස් වූ කතාවක් ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරාධිපති මැටරඹ හේමරතන නාහිමියෝ මෙලෙස පැවසූහ.

සිතුල්පව්වට එන මැතිමතුන්ගේ වාහනවලට දැඩි ලෙස අලාභහානි කරලා කෑම කන්න මේ ඇතා පුරුදුවෙලා ඉන්නේ. දැනට අවුරුදු තුනක විතර ඉඳලා තමයි ඔය ඇතා මේ පැත්තේ රවුම් ගහන්නේ.

මේ ඇතා වෙන ප්‍රදේශයකට පලවා හැර දමන්න කියා මම කොතෙකුත් බලධාරීන්ට කිව්වත් බලධාරීන් ඒවා ගණන් ගන්නේ නැහැ. කොයි වෙලාවක හරි මේ ඇතා මිනිහෙක් මරනකම් තමයි බලධාරීන් බලාගෙන ඉන්නේ. වනජීවියට කිව්වාම ඇවිල්ලා අලි වෙඩි දාලා යනවා. ඇතා කැලයට ගිහින් ඊට ටිකකට පස්සේ නැවතත් එනවා. දැනට මේ ඇතා වාහන 120කට අධික ප්‍රමාණයකට ගහලා කෑම කාලා තියෙනවා. ඇත්තටම මේක බැතිමතුන්ට විශාල කරදරයක්.
එහෙම තියෙද්දී තමයි ස්වභාවධර්මයෙන්ම මේ ඇතාට මෙහෙම විපතක් සිදුවුණේ. අසරණයාගේ ජීවිතය වනජීවියෙන් ඇවිත් බේරාගත්තා. ඒකට බොහෝම පින්. ඒත් මේ සතා බැතිමතුන්ට කරන කරදර වැළැක්වීමට වනජීවී අය මොකුත් කරන්නේ නැහැ. මම පෞද්ගලිකවම වනජීවී ඇමැතිතුමා හමුවෙලා මේ ඇතා කරනා කරදර ටික ගැන කිව්වා. ඒත් කවුරුත් මේ ගැන කිසිම උනන්දුවක් අරගෙන ඇතාව වෙන ප්‍රදේශයකට යැවීමට කටයුතු කරන්නේ නැහැ. ඇතා බය ට්‍රැක්ටරයට විතරයි. ට්‍රැක්ටර් ශබ්දයට කැලයට දුවනවා.

යාල ජාතික වනෝද්‍යානයේ නියෝජ්‍ය උද්‍යාන භාරකාර රංජිත් සිසිරකුමාර මහතා මේ පිළිබඳව පැවසුවේ මෙලෙසයි.

නන්දිමිත්‍ර ඇතා සිතුල්පව්වේ වාහනවලට ගහලා කෑම කන නිසා ඒ සතාව වෙනත් තැනකට ගිහින් දාන්න කියලා යෝජනා වී තියෙනවා. ඒත් ඒ සතාගේ නිජබිම මේ ජාතික උද්‍යානයයි. ජාතික උද්‍යානයක වෙසෙන සතෙක් කුමන ප්‍රදේශයකටවත් ගෙනියන්න බැහැ.

මේ සතාට මෙහෙම කන්න පුරුදු කළෙත් වන්දනාවේ එන මිනිස්සුමයි. එහෙම කන්න දීලා නන්දිමිත්‍ර ඇතාව පුරුදු කරගෙන දැන් අපිට දෝෂාරෝපණය කරලා වැඩක් නැහැ.

නන්දිමිත්‍ර ඇතා, අයිස්ක්‍රීම් කන්න හරිම ආසයිලු. මිනිස්සු සිතුල්පව්වේදී ඇතාට අයිස්ක්‍රීම් දීලා තියෙනවා. මේ නිසා ඇතා ඔය කෑම කන්න වාහන කුඩු කරනවා. හැබැයි සතාගෙන් මිනිස්සුන්ට කිසිම වදයක් නැහැ.

අපි වනජීවී දෙපාර්තමේන්තුව වශයෙන් සතුන්ගේ ආරක්ෂාවට බොහෝ කැපවෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස නන්දිමිත්‍ර ඇතාගේ අනපේක්ෂිත සිදුවීමෙන් සතාව බේරාගැනීමට හැකිවීම වනජීවිය ලබපු විශාල ජයග්‍රහණයක්.

♦ සටහන / රුක්මන් රත්නායක

 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00