පසුගියදා මම කොළඹදී ඉතාම රසවත් මැද පෙරදිග ආහාර වේලක් රසබැලුවා. මම එතැනට ගියේ මීට පෙර ගොඩක් දෙනෙක් එතැන මට රෙකමදාරු කරලා තිබුණු හින්දමයි. මේ පාක් ස්ට්‍රීට් මිව්ස් අවන්හල් අංගණයට එකතුවුණු අලුත්ම අවන්හලයි. මේකෙ නම තමයි Chambers.
මෙතැන පෙනුමේ සිට සියල්ල හරිම අංග සම්පූර්ණයි. ඇත්තටම ලස්සන අවන්හලක්. අවන්හලේ තියෙන සුන්දර පරිසරයත් මෙතැන ආහාර අත්දැකීමට විශේෂ අගයක් වටිනාකමක් එකතු කරනවා. අනිත් අතට මෙතැන තියෙන බඩුමුට්ටුවල වුණත් නියම මැදපෙරදිග ගතිය තියෙනවා.
මම මුලින්ම රස බැලුවේ Hummus කියන ආහාර දීසියයි. සාධාරණ මිලකට හොඳ කෑමක් කියල හඳුන්වන්න පුළුවන්. ඉන්පස්සේ Shish Taouk රස බැලුවා. එහි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් තිබීම මගේ සතුට වැඩි කරන්න හේතුවක් වුණා. Chicken with Chickpea Tagine කියන්නේ කුස් කුස් ගොඩක් එකතු කරපු කෑමක්. ඒකෙ රස බලන්න වෙන කිසිම සයිඩ් ඩිෂ් එකක් ඕනෙත් නැති තරම්.
මම චේම්බර්ස් අවන්හලට ගොඩවුණේ දවල් කෑම වෙලාවෙදියි. ඉතින් කොළඹ රස්නෙ මගේ ඇඟට තදින්ම ඇතුළු වෙලායි තිබුණෙ. මගේ විසඳුම වුණේ ලයිම් ඇන්ඩ් මින්ට් ජූස් එකයි. කෑම කාලා ඉවර වෙලා Pistachio අයිස්ක්‍රීම් එකක රස බලන්නත් මම අමතක කළේ නෑ.
ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මගේ යාළු මිත්‍රයන්ගේ රෙකමදාරුව නම් හරියටම හරි. චේම්බර්ස් කියලා කියන්නේ හොඳ රසවත් මැද පෙරදිග ආහාර රස බලන්න කියාපු තැනක්!
ධනූ
සේයාරූ - You’re my favorite