2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

මැටි ගෙදරක අත්දැකීම් දෙන Cinnamon Lodge Habarana

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 249

සරුසාර තුරුලතාවලින් පිරි උද්‍යානයකින් සහ කැලෑ ප‍්‍රදේශයකින් වැසී අක්කර 27ක භූමි ප‍්‍රදේශයක් පුරා විසිර පවතින පරිසර හිතකාමී නිවාඩු නිකේතනයක් වන Cinnamon Lodge Habarana දැන් ආගන්තුකයන්ට සැබවින්ම ශ්‍රී ලාංකික කාබනික ආහාර භාවිත නවමු ඉවුම් පිහුම් අත්දැකීමක් පිරිනමනු ලබනවා.

අපූර්වත්වය මුසු වූ මෙම නිවාඩු නිකේතනයේදී සම්ප‍්‍රදායික මැටි නිවහන පදනම් කරගනිමින් ලබාදෙන මෙම නව කාබනික ආහාර ඉවුම් පිහුම් අත්දැකීම දේශීය මෙන්ම විදෙස් ආගන්තුකයන් වෙනුවෙන්ද විශේෂයෙන්ම සැලසුම් කොට තිබීම විශේෂත්වයක්. මෙහිදී ඔවුන්ට පුළුල් පරාසයක සම්ප‍්‍රදායික ආහාර පිසීමේ තාක්ෂණයන් හා සකස් කිරීමේ ක‍්‍රමවේදයන් දැක බලා ගැනීමේ අවස්ථාව මෙන්ම දිව පිනවන ශ්‍රී ලාංකික වෑංජන සහ රස රැසක අත්දැකීම්ද සමඟ ගොවිපොළක් පවත්වාගෙන යාමේ තාක්ෂණය පිළිබඳ විශාල අවබෝධයක්ද ලබා ගැනීමේ හැකියාවද උදාවෙනවා. 

තමන්ගේම කාබනික බෝග වගා කිරීමේ ගොවි ‍පොළකින් සමන්විත Cinnamon Lodge Habarana, ගොවිපොළේ සිට ආහාර මේසය දක්වා අංග සම්පූර්ණ ආහාර රස විඳීමේ අත්දැකීමක් ලබාදෙන ප‍්‍රදේශයේ එකම හෝටලයද වෙනවා.
අනර්ඝතම දේශීය කුළු බඩු ඇතුළු අඩු වැඩිය සහ ඉවුම් පිහුම් ක‍්‍රම යොදා ගනිමින් රසින් මෙන්ම සුවඳින්ද යුත් ශ‍්‍රී ලාංකික ආහාර වේළක් පිළියෙල කිරීමේ සෑම සූක්ෂම පියවරක්ම සහ සහ තාක්ෂණයද දැක්වෙන ප‍්‍රදර්නනාත්මක ඉවුම් පිහුම් වැඩසටහන් දැකගැනීමේ අවස්ථාවද මෙහිදී හිමිවෙනවා.

එසේම දේශීය ආහාර වල රස හා සුවඳ තවදුරටත් වැඩි කරමින් ආහාර රුචිය නැංවීම සඳහා වන සම්ප‍්‍රදායක් ලෙස සලකමින් මෙම ආහාර පිළිගන්වනු ලබන්නේ නැවුම්ව නෙලාගනු ලබන නෙළුම් කොළවලයි. 

සැඳෑවේ එළඹෙන කොක්ටේල් පැය කීපයේදී ගිනි ආලෝකය හා ලන්තෑරුම් එළිවල ආලෝකයෙන් මැටි නිවහන තුළදී ශ්‍රී ලාංකික අනන්‍යතාවය රැඳුණු පාන වර්ග හා කටගැස්ම වර්ගද පිරිනමනු ලැබෙනවා. මීට අමතරව ආගන්තුකයන්ට ශ්‍රී ලාංකික ක‍්‍රමයේ බාබකිව් රාත්‍රී ආහාර වේලක් වගේම හා සම්ප‍්‍රදායික ගැමි ඇඳුමින් සැරසුණු කාන්තාවන් විසින් එම මොහොතේදීම පිළියෙල කරනු ලබන කැවුම් කොකිස් වැනි දේශීය අවුල්පත් වල රසයද විඳ ගැනීමේ අවස්ථාවද උදා වෙනවා.