2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

සෙල්ෆෝන් නිසා ‍කොන්දේ වේදනා

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 401

ළමා, තරුණ, වැඩිහිටි කා අතරත් කොන්දේ වේදනාව, පැති කුදය, අතපය හිරිවැටීම්, ශරීරයේ විවිධ ස්ථානවල වරින්වර ඇතිවන වේදනාවන්, බර ගතිය හා මංශපේශී දියවී අතපය සිහින්වීම ආදී රෝග සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතී.

ව්‍යායාම මඳ බව, ළමයින් අතර සෙලියුලර් දුරකථන භාවිතය ඉහළ යාම, එකම ඉරියව්වක හිඳිමින් රුකියාවල නිරත වීම හා හදිසි අනතුරු මෙම තත්ත්වවලට මූලික හේතූන්ය.

මොළයෙන් ආරම්භ වන සුෂුම්නාව, කශේරුකා තුළින් ගමන් කොට විවිධ ස්ථානවලින් අත්, පා ඇතුළු අනෙකුත් ඉන්ද්‍රියයන්ට බෙදී යන බව අප කවුරුත් දන්නා කරුණකි. මෙම ස්නායු අනුබෙදීම් ආරම්භ වන කශේරැකා විවෘත වීම් අසල කැල්සියම් තැන්පත් වීම, කාටිලේජ ගෙවී යාම නිසා කශේරැකා අතර පරතරය අඩුවීමෙන් ඉහත රෝගවලට බෙහෙවින් දායක වේ.

ශල්‍යකර්ම මඟින් ලෝහ කොටස් යෙදීමෙන් කාටිලේජ ස්ථරයක් වැඩීමට අවකාශ සෑදීම හෝ කැල්සියම් සූරා ඉවත් කිරීම මේ සඳහා ඇති බටහිර වෛද්‍ය ප්‍රතිකාර වේ.

මේ සඳහා මූලික ආයුර්වේද ප්‍රතිකාරවලදී තෙල් ගෑම, ඖෂධීය ආලේප යෙදීම හා අභ්‍යන්තරව ගුලි, කල්ක ආදී ඖෂධ දීම සිදු කරනු ලැබේ.

මීට අමතරව විශේෂිත ප්‍රතිකාර ලෙස ස්ථානිකව වූෂණ ප්‍රතිකාර (Cupping therapy) හා නවීන නිල ප්‍රතිකාර සිදුකරනු ලැබේ. මෙම විශේෂිත ප්‍රතිකාරවලදී ස්ථානිකව රුධිර සැපයුම වැඩිවීම, මාංශ පේශී ලිහිල්වීම, ස්නායු උත්තේජනය වීම සිදුවේ.

විශේෂයෙන් කශේරුකා අතර කැල්සියම් (Osteophytes) තැන්පත් වීමෙන් අත්පාවල හිරිවැටීම්, බෙල්ලේ සිට එක අතක හෝ අත් දෙකෙහිම තදබල වේදනාව ඇති වීම, තුනටියේ සිට එක් පාදයකට හෝ පාද දෙකෙහිම ඇති වන හිරිවැටීම, අධික වේදනාව, ඇවිදීමේ අපහසුව, අත් පාවල මස්පිඬු දියවීම (සිහින් වීම) මෙහි දරුණු තත්ත්වයකි. කශේරැකා අතරින් විහිදෙන තෙරපීම නිසා මෙම තත්ත්වය ඇතිවේ. දැනට ප්‍රතිකාර ලෙස ශල්‍යකර්ම සිදු කරනු ලබන අතර දේශීය ප්‍රතිකාර මඟින් පහසුවෙන් කැල්සියම් (Osteophyte) ඉවත් කළ හැක. මෙම ප්‍රතිකාර ලබා බොහොමයක් රෝගීන් සුවය ලබා ඇති අතර අතුරු ආබාධවලින් තොරවීම විශේෂත්වයකි.

මේ සඳහා සුදුලූනු, පොල්කටු අඟුරු සහිත විශේෂ ඖෂධ යොදනු ලැබේ. සුදුලූනු සැලකීමේදී මෙය විශේෂයෙන් වාත වේදනා සඳහා බොහොමයක් නිවෙස්වල පුළුස්සා කෑම, තම්බා වතුර බීම, සිදුකරනු අතර ආයුර්වේද වෙදකමේ සුදුලූනු ඉතා ප්‍රබල වේදනා නාශකයකි. මීට අමතරව ස්නායු පෝෂණීය ගුණය හා ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කෙරේ.

වර්තමානයේ වැඩිදෙනා අතර පවතින අධි රුධිර පීඩනය, ලේවල තෙල් වැඩිවීම, දියවැඩියාව, වකුගඩු ආබාධ හා විශේෂයෙන් සන්ධි වේදනාව, අස්ථි අතර කාටිලේජ අඩුවීම, කැල්සියම් තැන්පත් වීම ආදී විවිධ රෝග සඳහා සාර්ථක ප්‍රතිකාර ආයුර්වේද වෙදකමේ ඇත.

වෛද්‍ය පී. එස්. එදිරිවීර
ගොඩිගමුව වෙද මැඳුර