2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

ඉවසන්න බැරි බෙල්ලේ කැක්කුම

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 3222

වර්තමානයේදී බොහෝ රෝගීන් තුළ දක්නට ලැබෙන රෝග ලක්ෂණයක් ලෙස ගෙලෙහි ඇතිවන වේදනාව (Neck Pain) දැක්විය හැක. මේ රෝගයෙන් පීඩා විඳින බොහෝ දෙනෙක් ඉතා වේදනාකාරී ජීවිතයක් ගත කරති. මැදි වයසේ පුද්ගලයන් අතර ඉතා බහුල රෝගයන් ලෙස මෙය හැඳින්වුවද ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හා වයස භේදයකින් තොරව මෙම රෝගයට රෝගීහු ගොදුරු වෙති.

බෙල්ලේ කැක්කුම ඇතිවීමට හේතු රැසක් බලපායි. විශේෂයෙන් මැදි වයසේ පුද්ගලයන් ගත්විට වයසත් සමඟ ඇතිවන වෙනස්කම් නිසා (Degenarative disc diseases) මෙවැනි රෝග ඇතිවේ. මුලදී සුළු වශයෙන් බෙල්ලේ වේදනාව හට ගත්තද පසුව එම වේදනාව ක්‍රමයෙන් වැඩිවේ. මේ සමඟම ඇතැම් රෝගීන්ගේ අත්වල ඇඟිලි හිරිවැටීමක්ද ඇතිවිය හැක.

බෙල්ලේ වේදනාව ඇතිවීමට තවත් ප්‍රබල හේතුවක් වන්නේ වැරදි ඉරියව් භාවිතයයි. විශේෂයෙන් පාසල් සිසුන් දිගු වේලාවක් එකම ඉරියව්වකින් පාඩම් කරන විට ගෙල පොතට හරවා තබා ගැනීමත් නිදාගැනීම සඳහා පමණට වඩා උස් වූ කොට්ටයක් භාවිත කිරීම වැනි හේතු නිසාත් බෙල්ලේ වේදනාව ඇතිවිය හැක. එමෙන්ම රූපවාහිනිය හා ජංගම දුරකතනය සමඟ ගත කරන කාලයද මේ සඳහා ප්‍රබල ලෙස බලපෑම් කරයි. මීට අමතරව ගෙල ආශ්‍රිතව ඇති මාංශ පේශි, බන්ධනීවල ඇතිවන ඇදීමක්, තදවීමක් නිසාද බෙල්ලේ වේදනාව ඇතිවිය හැක.

යම්කිසි අනතුරකට භාජනය වීමෙන් බෙල්ල ආශ්‍රිත මාංශපේශි, බන්ධනී මෙන්ම අස්ථිවලට හානිවීම සිදුවිය හැක. එමඟින් ස්නායුවලට හානි සිදුවීමක්ද විය හැක.

මීට අමතරව වෙනත් රෝග අවස්ථාවන් නිසාද බෙල්ලේ කැක්කුම ඇතිවිය හැක. විශේෂයෙන් ක්ෂය රෝගය, මොළේ උණ, ආසාදනය, ෆයිබ්‍රොමයල් ජියා (Fibromyalgia) වැනි රෝගාබාධවලදී ගෙලෙහි වේදනාව ඇතිවිය හැක.

ගෙලෙහි කශේරුකා ගෙවීම හා එකිනෙකට ගැටීම බොහෝ දෙනා අතර නිතර දකින්න ලැබෙන රෝගයකි. මෙය Spondylosis ලෙසින් හැඳින්වේ. ගෙල එක දිගට නවාගෙන රුකියා කරන ලේඛකයන්, යතුරැ ලියන්නන් මෙන්ම බර ඔසවන අයගේද බෙල්ලේ කැක්කුම ඇතිවිය හැක. මෙහිදී කශේරුකා අතර පරතරය අඩුවීම සිදුවේ. බෙල්ලේ ඇතිවන වේදනාව හිසට, අත්දෙකට හා කොන්දට විහිදී යාමත් සිදුවේ. මේ නිසා ඇතැම්විට අත්වල ඇඟිලි හිරිවැටීමක්ද සිදුවිය හැක.

ගෙල පිහිටා ඇත්තේ කොඳු ඇට පෙළෙහි ඉහළම කොටස්ය. කශේරුකා අතර අන්තර් කශේරුකා මඩල පිහිටා ඇත. මෙය ජෙලි වැනි ද්‍රව්‍යයකි. මෙමගින් කොඳුඇට පෙළ පහසුවෙන් නැවීම දිගහැරීම සිදුකරයි. කොඳු ඇට පෙළෙහි ප්‍රධාන කාර්යයක් වන්නේ ශරීරයේ බර උසුලා ගැනීමයි. මොළයත් ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රියන් අතරත් පණිවිඩ හුවමාරු කරනා ප්‍රධාන ස්නායුව වන සුසුම්නාව ආරක්ෂා කිරීමත් කොඳු ඇට පෙළ මගින් සිදුකරයි. මෙම ප්‍රධාන ස්නායුවෙන් හටගන්නා ස්නායු ශාඛා කොඳු ඇට පෙළෙහි අස්ථි දෙකක් අතරින් පිටතට ගමන් කෙරේ.

අපගේ දෑතට ස්නායු පණිවුඩ රැගෙන එන ස්නායු ශාඛා පැමිණෙන්නේ ගෙල ප්‍රදේශයේ ඇති කශේරුකා අතරිනි. මෙලෙස ඕනෑම ව්‍යුහයක සිදුවන වෙනස්කමකදී හෝ ඒවාට හානි සිදුවීමේදී බෙල්ලේ අමාරැව ඇතිවිය හැක. 

ගෙලෙහි වේදනාව හටගන්නා හේතුව අනුව ඇතැම් වේදනාවන් දිගු ප්‍රතිකාරවලින් තොරව නිවසේදී සිදුකරන සුළු ප්‍රතිකාරයක් මඟින් සුවකර ගත හැක. විශේෂයෙන් මඳ රස්නය ඇති ජලයෙන් ගෙල පෙදෙස තැවීම වැනි ප්‍රතිකාර මඟින් මෙය සාමාන්‍ය තත්ත්වයට පත් කළ හැක. එකම ඉරියව්වෙන් බෙල්ල එක දිගට නවාගෙන හෝ ඉහළට ඔසවා තබා ගැනීම හෝ නොකර සිට බෙල්ලේ ඉරියව්ව වරින්වර වෙනස් කිරීමට උත්සාහ ගැනීම ඉතා වැදගත් වේ. එමෙන්ම නිදා ගැනීමේදී උස් වූ කොට්ට භාවිතා නොකළ යුතුය.

ගෙලෙහි වේදනාව ඇති අවස්ථාවලදී ඒ වේදනාවට අමතරව වෙනස් රෝග ලක්ෂණයන්ද දැකිය හැක. විශේෂයෙන් උණ ගැනීම, හිසරදය, කන් ආශ්‍රිත ප්‍රදේශවල වේදනාව ඇතිවීම දක්නට ලැබේ. හදිසි අනතුරකින් පසුව ඇතිවන බෙල්ලේ වේදනාවේදී අත් පා වල හිරිවැටීම්, ආහාර ගිලීමට ඇති අපහසුතාවය මෙන්ම හුස්ම ගැනීමේ අපහසුතාවයන්ද ඇතිවිය හැක. එමෙන්ම දහඩිය දැමීම, වමනය සහ හුස්ම ගැනීමේ අපහසුතාවයද ඇතිවිය හැක. මෙවැනි අවස්ථාවලදී වහාම වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගන්න.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මේ සඳහා ඉතාමත් සාර්ථක ප්‍රතිකාර තිබේ. රෝග හේතුවට අනුවත්, රෝග ලක්ෂණ අනුවත් කරනු ලබන ප්‍රතිකාර ක්‍රම වෙනස් වේ. බාහිර හා අභ්‍යන්තර ඖෂධ මඟින් ප්‍රතිකාර සිදුකරනු ලැබේ. රෝගය ඇතිවී ඒ සඳහා ප්‍රතිකාර ගන්නවාට වඩා හොඳම දේ වන්නේ රෝගය ඇති නොවීමට වගබලා ගැනීමයි. විශේෂයෙන් වැරදි ඉරියව්වලින් සිටීම වළක්වා ගැනීම අවශ්‍යය.