2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

පොත් විකිණීම අපේ ජොබ්එක නෙවෙයි

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 161

රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලයේ සභාපති  මහාචාර්ය සමන්ත හේරත්

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී සැප්තැම්බර් 11දා ප.ව. 3.00ට පැවැත්වීමට නියමිතය. 1957 වර්ෂයේ සිට අඛණ්ඩව පැවැත්වෙන මෙම උළෙල සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමඟ රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය මගින් සංවිධානය කෙරේ. රාජ්‍ය සාහිත්‍ය උත්සවය ගැන ඇසීමට අපි සාහිත්‍ය උපදේශක මණ්ඩලයේ සභාපති මහාචාර්ය සමන්ත හේරත් හමුවුණෙමු.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උත්සවයට සූදානම කෙසේද...?

මේ වනවිට ග්‍රන්ථ සමීක්ෂණ කටයුතුවල අවසාන අදියරට එළඹිලා ඉන්නවා. මේක මාස ගණනාවක් තිස්සේ අප නිරත වන කාර්යයක්. අපි වර්ෂය ආරම්භයත් සමඟ තමයි පොත් ලබාගෙන සමීක්ෂණ කාර්යය පටන් ගන්නේ. ඊට පස්සේ වට ගණනාවකින් පසු අවසන් වටයේ නිර්දේශිත කෘති තෝරා ගන්නවා.

සම්මාන ප්‍රදානයට සලකා බැලීමට සුදුසු වන්නේ කුමන කෘතිද...?

2017 වර්ෂයේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා ප්‍රකාශිත සියලුම ග්‍රන්ථ සම්මාන ප්‍රදානයට සලකා බැලීමට සුදුසු වෙනවා. මෙහිදී නීත්‍යානුකූල පදනම තමයි රාජ්‍ය ලේඛනාගාරයේ අදාළ වර්ෂය තුළ ප්‍රථම මුද්‍රණය වශයෙන් ලියාපදිංචි වීම. පිළිගත් ප්‍රකාශකයන් විසින් ප්‍රකාශිත ග්‍රන්ථ මෙන්ම කර්තෘ ප්‍රකාශන වශයෙන් පළවූ කෘති පවා අපට ලැබෙනවා. රාජ්‍ය ලේඛනාගාරයෙන් ලබාගැනීමට අමරතව ලේඛකයන්ට හා ප්‍රකාශකයන්ට ග්‍රන්ථ ලබාදෙන ලෙස අපි දැන්වීම් මගින් ඉල්ලීමක් කරනවා.

බොහෝ සම්මාන උළෙලවල සමීක්ෂකවරුන්ට චෝදනා එල්ල වෙනවා. රාජ්‍ය සාහිත්‍ය උළෙලට සමීක්ෂකවරැ පත්කිරීමේදී සුදුසුකම් වශයෙන් සලකන්නේ මොනවාද...?

අපි අදාළ වර්ෂයේ කිසිම සාහිත්‍ය කෘතියෙක් පළ කළ ලේඛකයෙක් වුණත් සම්මාන කෘති සමීක්ෂණයකට සම්බන්ධ කරගන්නේ නැහැ. අදාළ විෂය ක්ෂේත්‍රය පිළිබඳ ඔහු හෝ ඇය තුළ පවතින පරිචය ගැනත් අපි සැලකිලිමත් වෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු, ජ්‍යෙෂ්ඨ සාහිත්‍යධරයන්, විචාරකයන්, වෘත්තික තලවල විද්වත් රසිකයන් වගේ අංශ කිහිපයකින්ම සමීක්ෂකවරැ අපි සම්බන්ධ කරගන්නවා. කිසිම ලේඛකයකුට අසාධාරණයක් ඉටුනොවන පරිදි කෘති සමීක්ෂණය කිරීමටයි අපි උත්සාහ කරන්නේ.

ග්‍රන්ථ සමීක්ෂණයේ පළමු වටයට කෘති විශාල ප්‍රමාණයක් තිබුණත් දෙවැනි වටයට එනවිට විශාල සංඛ්‍යාවක් හැලෙනවා නේද...?

ඒක ඇත්ත. අපිට අවුරුද්දකට සියලුම ක්ෂේත්‍රවලින් පොත් 2000ක් පමණ සම්මානවලට සමීක්ෂණය සඳහා ලැබෙනවා. වැඩිපුරම ලැබෙන්නේ සිංහල ග්‍රන්ථ. දෙමළ හා ඉංග්‍රීසි කෘතින් සැලකිය යුතු සංඛ්‍යාවක් තිබෙනවා. මෙසේ විශාල ග්‍රන්ථ සංඛ්‍යාවක් පළවුණත් ඒවායේ ගුණාත්මක බව අඩු නිසා දෙවැනි වටයට එනවිට ග්‍රන්ථ ඉවත් වෙනවා. මේ නිසා අවසාන වටයට එනවිට ඉතිරිවන්නේ කෘති කිහිපයක් පමණයි.

අද විශාල වශයෙන් පලවන පොත්වල ඔබ දකින ප්‍රධාන දුර්වලතාවය කුමක්ද?

මම දකින පැහැදිලිම දුබලතාවය තමයි මුද්‍රණය සඳහා ග්‍රන්ථ ලබාදීමේදී කිසිදු සංස්කරණයකට බඳුන් නොකිරීම. ලංකාවේ කෘති සංස්කරණයක් ඇත්තෙම නෑ. ලෝකයේ ප්‍රබල ප්‍රකාශන ආයතනවල වෙනම සංස්කාරකවරැ ඉන්නවා. නමුත් ලංකාවේ නෑ. අපිට පේනවා සමහර නවකතා, කෙටිකතා ආදී කෘතිවල විශාල අනවශ්‍ය පිටු ප්‍රමාණයක් තිබෙන බව. ශාස්ත්‍රීය කෘතිවලත් මේ දුර්වලතාවය තිබෙනවා. පසුගිය කාලේ නවකතා ක්ෂේත්‍රයේ පිටු 400-500 ඉක්මවා යන පොත් පළවුණේ මේ දුර්වලතාවය නිසයි.

සාහිත්‍ය උත්සවය අවසානයේ සභාපතිවරයාට බැණුම් අහන්න වෙනවා. මේ පාරත් එහෙම වේවිද...?

නෑ... සභාපතිවරයෙක් විදිහට මම 2010 – 2014 දක්වා සාහිත්‍ය සම්මානවලට සම්බන්ධ වුණා. 2017 දී යළිත් සම්බන්ධ වුණා. මම සභාපතිත්වය දැරෑ කිසිම වසරක බරපතළ විවේචන කිසිවක් තිබුණේ නෑ. සමහර ලේඛකයන් එක් සම්මාන උළෙලකදී සම්මාන ලැබුණු හෝ නිර්දේශ වූ පසුව රාජ්‍ය සාහිත්‍ය උළෙල ගැන සැකසංකා පහළ කළ අවස්ථා පමණක් තිබෙනවා.

දැන් සාහිත්‍ය සම්මාන උත්සව ගණනාවක් පවත්වනවා. මේක සාහිත්‍යයේ වර්ධනයට හේතු වන බව ඔබ හිතනවාද...?

මේක යහපත් ප්‍රවණතාවයක් ලෙසයි මම දකින්නේ. තවත් ආයතන හා සංවිධාන සාහිත්‍ය කෘති අගය කිරීමට ඉඩ ප්‍රස්ථා සලසා ගැනීම හොඳ ලකුණක්. නමුත් මෙතන තිබෙන වැදගත්ම දේ තමයි මේ ඇගයීම් කරන්නේ කව්ද යන්නයි. ඒ සම්මාන උත්සවවලත් සමීක්ෂකවරැන් පත්කිරීමේදී ලේඛකයන්ට හා පාඨකයන්ට විශ්වාසනීයත්වයක් ඇති විය යුතුය.

හැම සාහිත්‍ය උත්සවයකදීම නවකතාවට ප්‍රමුඛත්වයක් දෙන බවයි අපට පේන්නේ...?

අපි එහෙම නවකතාවට විශේෂ සැලකීමත් කරන්නෙ නැහැ. මෙවර ක්ෂේත්‍ර 22කට සම්මාන ප්‍රදානය කරනවා. කිසිම අවස්ථාවක රාජ්‍ය සාහිත්‍ය සම්මානය මුදලින් තක්සේරු කරන්න බැහැ. ග්‍රන්ථ අලෙවි කිරීම අපට අයිති කාරියක් නොවේ. සම්මානයක් ලැබුණු විට ඒ පොතට පාඨක අවධානය යොමුවීම වෙනම දෙයක්. හොඳම නවකතාව වර්ෂයේ විශිෂ්ටතම සාහිත්‍ය කෘතිය කියලා අපි අදහස් කරන්නේ නැහැ. සමහර වර්ෂවල හොඳම නවකතා නෑ.

අද ලේඛකයන් විචාරය ගැන සැලකීමක් නෑ නේද...?

ඔව්... සාහිත්‍යය වර්ධනය සඳහා විචාර සම්ප්‍රදායක් අවශ්‍යයි. නමුත් අද ලේඛක ප්‍රජාව තුළ විචාරය තැන සංවේදීතාවයක් නෑ. පසුගිය කාලය තුළ වර්ධනය වූ වෙළෙඳ බලපෑම නිසා සාහිත්‍ය කෘති වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වෙලා. මේ නිසා විචාරය යටගිහින් වෙළෙඳ භාණ්ඩ ඉස්මතු වෙලා. ලේඛකයන් මේ රුල්ලට අහුවෙලා. තමන්ගේ කෘතිය විද්වත් විචාරයකට හසුකර ගැනීමට ඔවුන්ගෙත් අවධානයක් නෑ.

 කුසුම්සිරි

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00