2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

ජනතාවට කවන වැට් කට්ට

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 208

අලුත් වැට් බදු ගැසට් පත්‍රයක්

2018 අය වැය මඟින් වැට් බද්ද සංශෝධනය කෙරිණි. මෙතෙක් වැට් අය නොකරන ලද භාණ්ඩ හා සේවා අංශවලට බදු පැනවීය. මෑත කාලය තුළ රජයේ ආදායම පහත වැටීම මෙම සංශෝධනයට බලපෑ එකම හේතුව විය. වත්මන් ආණ්ඩුව බලයට පත් වූ වහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලා සිටියේය. විදේශ විනිමය හිඟය ප‍්‍රශ්නයක්ව පැවති අතර ආනයන හා අපනයන අතර තුලනයක් නොතිබීම තුළ ගෙවුම් ශේෂ අර්බුදයක් හටගෙන තිබිණ. රජයේ ආදායම වැඩිකරගත යුතු අතර ආනයන දුර්මුඛ කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවන ලද කොන්දේසි අතර විය.

ශ‍්‍රී ලංකාවේ ආර්ථික මට්ටම අනුව සාමාන්‍යයෙන් දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට පහළොව ඉක්මවූ බදු ආදායමක් රජයට ලැබිය යුතුය. නමුත් මහ බැංකු වාර්තා අනුව එය සියයට 10.85 තෙක් පහත වැටී ඇති බව 2015 වසර අවසන් වන විට පෙන්වා දී ඇත. වසර 2022 වන විට රාජ්‍ය ආදායමේ බදු ප‍්‍රතිශතය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 17 ක් දක්වා වැඩි කරගැනීම ඉලක්කය වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වන මෙම ඉලක්කය කරා ළඟා වීමට නම් පොදු ජනතාව වෙත තව තවත් බදු පනවනු හැර අන් විකල්පයක් නැත. පසුගියදා නිකුත් කරන ලද ගැසට් නිවේදනය, මෙතෙක් අය නොකරන ලද භාණ්ඩ හා සේවා අංශ දෙසීයකට වඩා ප‍්‍රමාණයක් වැට් බද්දට යටත් කළේය. වැට් බදු ගෙවීමට ලියා පදිංචි විය යුතු ආදායම් රාමුව වෙනස් කළේය. එයින් මෙතෙක් වැට් නොගෙවූ තොග හා සිල්ලර වෙළෙන්දෝ විශාල ප‍්‍රමාණයක් එයට යටත් වූහ. එය 2018 අය වැය යෝජනාවකි. සියයට 11 ක ප‍්‍රතිශතයක පැවැති වැට් බදු ප‍්‍රතිශතය සියයට 15 දක්වා නැංවීය. එය 2016 අයවැය මඟින් කරන ලද යෝජනාවක් බව සඳහන් කළ යුතුය. 

2018 අය වැය යෝජනාවලදී පනවන ලද අලුත් බදුවලින් රුපියල් මිලියන එක් ලක්ෂ පහළොස් දහසක ආදායමක් අලුතින් එකතු කර ගත හැකි වෙතැයි සැලකේ. වැට් බදු වැඩි කර එය අයකරන භාණ්ඩ හා සේවා ප‍්‍රමාණය පුළුල් කිරීමෙන් අඩුම වශයෙන් රුපියල් මිලියන විසි පන්දහසක් අපේක්ෂා කරයි. වක‍්‍ර බදු අඩු කර සෘජු බදු නංවන බවට එළිපිට කියන ආණ්ඩුව මෙරට සාමාන්‍ය ජනතාව නොමඟ යවන අතර සෑම ජන කොටසක්ම එකිනෙකට වෙනස් බදුවලට යටත් කරමින් සිටී. මහජනතාවට බර නොදැනෙන අන්දමට රජයේ ආදායම වැඩි කර ගැනීමට රටට හැකියාවක් තිබේ. එය කළ හැකි අලුත් කර්මාන්ත සහ ව්‍යාපාර බිහි කිරීමෙන් පමණකි. බදු වැඩි කරන අතරතුර ව්‍යවසායකයන් බිහිකරන පසුබිමක් රට තුළ ඇතිකරන්නට ගැලපෙන ව්‍යාපෘති සැලසුම් කළ යුතුය. රට තුළ පවතින ආර්ථිකයෙන් වැඩිපුර බදු අය කිරීම වෙනුවට ආර්ථිකය පුළුල් කර එයින් කොටසක් උපයා ගැනීමට ආණ්ඩුවට සැලසුමක් අවශ්‍යය. එයින් විනා රටට යහපතක් සැලසෙන්නේ නැත. අලුත් කර්මාන්ත සහ ව්‍යාපාර ආරම්භ වුවහොත් ඒවා ද රටට බදු ගෙවන තත්ත්වයකට පත්වෙයි. 

වැට් බද්ද value added tax  හි මුල් අකුරු තුනේ එකතුවයි. වටිනාකම එකතු කරන ප‍්‍රමාණයට පමණක් බදු අය කරන යෝජනාවකි. ලෝකයේ සෑම රටක්ම බදු අය කරයි. ජනතාවට අපහසුතාවයක් ඇති නොකරන සාධාරණ බදු ක‍්‍රමයක් ගැන විශේෂඥයෝ අධ්‍යයනය කරමින් සිටිති. බී.ටී.ටී. යන බද්ද අය කරමින් සිටි අතර එයට වඩා සාධාරණ එකක් වශයෙන් ජී.එස්.ටී. එනම් භාණ්ඩ හා සේවා බද්ද හඳුන්වා දුන්නේය. 1998 වසරේ දී ශ‍්‍රී ලංකාව එම බදු ක‍්‍රමයට යටත් කරන ලද නමුත් එයින් සාර්ථක ප‍්‍රතිඵල අත්පත් කරගන්නට සමත් වූයේ නැත. ආණ්ඩුවේ වියදම වෙනුවෙන් අවශ්‍ය ධනය එයින් එක්රැස් කරගන්නට අපොහොසත් වූ අතර 2002 වසරේ දී වැට් බද්ද පනවන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. 

වැට් බද්ද ක‍්‍රියාත්මක වන විට එය සියයට 11 ක ප‍්‍රතිශතයකින් විය. එවකට වැට් බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතු වාර්ෂිකව රුපියල් මිලියන 100 ඉක්මවන ව්‍යාපාර සහ සේවා පමණකි. නමුත් 2018 වසරේ නව සංශෝධනය අනුව එය අවුරුද්දකට රුපියල් මිලියන 12 දක්වා අඩු කර තිබේ. 2016 අය වැය යෝජනා අනුව වැට් බද්ද අය කරන ලද ප‍්‍රතිශතය සියයට හතරකින් නංවන ලද පසුබිමක මෙම වැඩිවීම ඉතා නරක බව දක්වමින් ව්‍යාපාරිකයෝ වීදි බැස වැට් විරෝධී උද්ඝෝෂණයෙහි නිරත වූ බව සිහිපත් කළ යුතුය. කොටුව දුමිරියපොළ ඉදිරිපිට මහා විරෝධතාවයක් පැවැත්විණි. ගම්පහ, මහරගම, නුගේගොඩ පමණක් නොව ඇඹිලිපිටිය හා කෑගල්ල වැනි නගර ඇතුළු මෙරට සෑම ප‍්‍රදේශකයම පාහේ විරෝධතා ඇවිලිණ. ඉකුත් අප්‍රේල් මාසයේදී අයවැය මූල්‍ය වර්ෂය ආරම්භ වූ නමුත් රටේ ජනතාවට ප‍්‍රශ්නය අමතක වන තෙක් බලා සිටි ආණ්ඩුව වැට් බදු සංශෝධනය නියමිත පරිදි ගැසට් කර තිබේ. 

ආණ්ඩුවේ වැට් බද්දට විරෝධතා දැක්වූ ව්‍යාපාරිකයෝ අද වන විට නිහඬය. ඇත්ත වශයෙන්ම මෙය ව්‍යාපාරික අංශවලට ප‍්‍රශ්නයක් නොවේ. වැට් බද්ද ගෙවන කර්මාන්ත, ව්‍යාපාර හා සේවා අංශ අවසානයේදී ඒවා පාරිභෝගිකයා අතට පත්වන නිෂ්පාදනයට එකතු කරයි. බදු ගෙවන්නේ ව්‍යාපාරිකයෝ නොවේ. මෙරට පොදු ජනතාවය. තමන්ගේ අතට ලැබෙන ආදායම නොදැනීම දියැවී යන විට ආණ්ඩුව අය කරන බදු එයට බලපාන බව ජනතාව තේරුම් ගැනීම වැදගත්ය.

වැට් බදු ක‍්‍රමය ලෝකයේ රටවල් 140 ක් අනුගමනය කරයි. මෙම බදු ක‍්‍රමය අනුව නැවත නැවතත් බදු අය කිරීම වළකන බවට ප‍්‍රබල මතයක් තිබේ. වැට් පමණක් අය කරන්නේ නම් එය ඇත්තක් විය හැකිය. පොදු ජනතාවගෙන් එකිනෙකට වෙනස් බදු වර්ග හැත්තෑ පහක් අය කරන බව ආණ්ඩුවට පිළිගන්නට සිදුවී ඇත. එක පැත්තකින් වැට් ගෙවන ජනතාව අනෙක් පැත්තකින් එම භාණ්ඩ හෝ සේවාවලට නැවතත් වෙනත් නමකින් අය කරන බද්දකට ද යටත් වෙයි. මේවායෙන් අය කරන ධනයෙන් ආණ්ඩුව ජනතාවට සේවය කරන්නේ නැත. නොබෝදා අනාවරණයවූ පරිදි විදුලිය බල මණ්ඩලයේ ටෙන්ඩර්වලින් රුපියල් මිලියන 4,560 ක පාඩුවක් සිදුවී ඇත. රාජ්‍ය ව්‍යවසායවල අලාභය අති විශාල වන අතර පසුගිය වසරේ පමණක් රුපියල් බිලියන 87 ක් පාඩු වී ඇත. මැති ඇමැති වැටුප් හා දීමනා වැඩි කිරීම, ඔවුන්ගේ සැප පහසු වාහනවල වියදම් මේ අතර වාරයේ ඇති සුළු ඒවාය. පළාත් සීමා නීර්ණ කොමිසමේ අසාර්ථක වාර්තා වෙනුවෙන් රුපියල් මිලියන 21.1ක් වැය කිරීම, නාගරික මන්ත්‍රී වැටුප් හා බස්නාහිර පළාත් සභාවේ පුටු වියදම් වැනි දේ නොසැලකිය හැකි තරම්ය. නමුත් මෙකී සියලු වියදම් පමණක් නොව සඳහන් නොකරන ලද පිරිවැය ද එකතු වූ විට රජයේ වැය පාර්ශවය ඉහළට නගී. රාජ්‍ය වියදම අඩු කරගෙන නිසි කළමනාකරණයකට යා හැකි නම් එය ජනතාවට බරක් නොපටවන ආණ්ඩු පාලනයකි. 

සාමාන්‍ය ජනතාවට හිරිහැරයක් වන පරිදි වැට් පනවන ආණ්ඩුව වැට් සහන දෙන අංශ ගණනාවක් ද තිබේ. එකක් විදේශ ගමන් බලපත‍්‍ර හිමියන්ටය. එම පිරිසට ගුවන් තොටුපොළේදී තමන් ගෙවන ලද වැට් ආපසු ඉල්ලා සිටිය හැකිය. දුගී දුප්පත් ජනතාව ගෙයක් දොරක් හදන විට යකඩ, සිමෙන්ති ඇතුළු හැම දෙයකින්ම වැට් පමණක් නොව තවත් බදු අය කරන නමුත් මෙරට සුඛෝපභෝගී නිවාස ඉදිකර විකුණන අවස්ථාවලදී වැට් අය කරන්නේ නැත. සාමාන්‍යයෙන්, ජලය, විදුලිය, ආහාර, නිවාස සහ සෞඛ්‍ය වැනි අංශවලින් වැට් අය කරන්නේ නැත. ලෝක ස්වභාවය එයයි. එයට හේතුව ජනතාව ජීවත් කරවීම අරමුණු කරගෙනය. මූලික අවශ්‍යතාවලට ද වැට් එනම් වටිනාකම මත අය කරන බදු පනවන විට ජනයා ආරක්ෂා වෙන්නේ නැත. මෙරට ආණ්ඩු ජලයෙන් හා විදුලියෙන් වැට් අය කරන්නට තීරණය කර එය ආපසු හරවා ගත්තේය. රෝහල් සේවාව වැට් බද්දට යටත් කරන ලද අතර පසුව ජනතා විරෝධය මැද එය නතර කළේය. වෛද්‍යවරයකු චැනල් කරන විට එයින් වටිනාකම මත බද්දක් පනවා එම මුදලින් සැප පහසු ජීවිත ගත කිරීම පාලකයන් සතු යුතුකමක් නොවේ.

වැට් බද්ද වැඩි කර රජයේ ආදායම නංවා ගන්නට යැයි බලකරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අය වැය හිඟය විශාල වීම එය යෝජනා කරන්නට හේතුව වශයෙන් පෙන්වා දෙයි. ජාත්‍යන්තරයේ අප‍්‍රසාදයට පත්ව ඇති ලෝක බැංකුව හා මූල්‍ය අරමුදල වැනි ආයතනවල විශේෂඥයන්ගේ මානුෂිකත්වයක් නැති යෝජනා සහමුලින්ම පිළිගැනීම ආණ්ඩුවේ වරදකි. ආර්ථිකය නිසි මගට ගැනීම මෙරට ප‍්‍රතිපත්ති සම්පාදකයන් යුහුසුළු විය යුතුය. මෙරට අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහකට වඩා අඩුය. නමුත් 1999 වසරේදී බ‍්‍රසීලයේ එය සියයට 8.4 දක්වා ඉහළ ගියේය. 1990 දී පේරු රාජ්‍යයේ සියයට 8.1, 1990දී සැම්බියාව සියයට 8.2 හා 1982 දී මැක්සිකෝව සියයට 15.4 දක්වා ඉහළ ගියේය. මෙම රටවල්වලට වඩා කීර්ති නාමයක් ශ‍්‍රී ලංකාවට තිබේ. ආර්ථික අතින් අඩාල වූ මෙම රටවල් අද වන විට සාර්ථකව නැගී වර්ධනය වී ඇත. අඩු අයවැය හිඟයක් පවත්වාගෙන යන අතරවාරයේ තව තවත් බදු අය කරන වැට් බදු වැඩි කිරීම මෙරට ජනතාවගේ ජීවන වියදම තවත් වටයකින් වැඩි කරනු ඇති බව සඳහන් කළ යුතුය.

වැට් බදු නංවන තීරණ ගන්නා ආණ්ඩුව එය පසෙක තබා වහාම ආර්ථිකය ප‍්‍රසාරණයට හේතු වන තීරණවලට යා යුතුය. ආර්ථිකය නැංවීමෙන් තොරව පවතින දෙයින් වැඩි කොටසක් ආණ්ඩුවට අය කර ගැනීම ජනතාවගේ පීඩාවට හේතුවකි. අලුත් කර්මාන්ත සහ ව්‍යාපාර ඇති කරන්නට වහාම අවශ්‍ය පසුබිම සකස් කරන්නට අවශ්‍යය. කර්මාන්ත සහ ව්‍යාපාර වැඩිපුර බිහිවෙන විට එමඟින් රාජ්‍ය ආදායම නංවා ගත හැකිවන අතර රාජ්‍ය ආදායම නංවා ගැනීමේ ඉලක්කය පුළුල් කරන්නට එයින් ඉඩ සැලසේ. ප‍්‍රතිශතය අඩු කරන්නට ඉඩ කඩ ලැබේ. අලුත් ව්‍යවසාය ඇති වන මට්ටමට ආර්ථිකය පුළුල් සහ සක‍්‍රීය කිරීමේ වගකීමක් ආණ්ඩුවට තිබේ. 

♦ ගාමිණී සරත් ගොඩකන්ද

ජනතාවට සහන කෝ

2016 ජනවාරි අප්‍රේල් කාලයට සමාන්තරව සලකන විට 2017 වසරේ එම කාල සීමාව තුළ රටට ලැබුණ වැට් බදු ආදායම රුපියල් බිලියන 72.7 කින් ඉහළ නැග ඇත. එය සියයට 90.9 ක වර්ධනයක් වශයෙන් මහා භාණ්ඩාගාරය පෙන්වා දී තිබේ. අලුත් සංශෝධන සහ මෙකී ආදායම තවත් ඉහළ යනු ඇති අතර මෙම බදු ආදායමෙන් ජනතාවට ලැබෙන සහන කවරේදැයි ප‍්‍රශ්නයකි. 

කෘෂි අංශයේ පිරිහීම

1977 දී මෙරට ආර්ථිකයෙන් සියයට 31 ක කොටසක් කෘෂි අංශයට අයත්ව තිබුණි. කෘෂි නිෂ්පාදන ආර්ථිකයට දක්වන දායකත්වය තුනෙන් එකකට ආසන්න වන විට එය වටා ගොඩනැගෙන කර්මාන්ත හා ව්‍යාපාර රටට ආදායම් උත්පාදනය කරදෙයි. නමුත් 2017 දී කෘෂි අංශය ආර්ථිකයට දක්වන දායනත්වය සියයට 7.8 දක්වා අඩු වී තිබේ. මෙම අංශය වටා තිබුණ කර්මාන්ත හා ව්‍යාපාර දුර්වල වී ඇත. සහනාධාර ලබන මටට්මට පත්ව තිබේ. කෘසි අංශයේ ශ‍්‍රම බලකාය සියයට තිස්හයක සිට සෑහෙන ප‍්‍රතිශතයකින් පහත වැටී ඇති අතර තරුණ පෙළ ත්‍රීවීල් සේවාවට  ඇතුළු වීම රටට බරපතළ ප‍්‍රශ්නයක් වී ඇත. මෙවැනි ආර්ථික රාමුවක් සකස් කරන ලද මෙරට ආණ්ඩු ජනතාව මත තම තවත් බදු පනවන බව  පෙනේ.

වැට් බදු වංචා

ජාත්‍යන්තර දූෂණ විරෝධී දර්ශක නිර්නායක අනුව ශ‍්‍රී ලංකාවේ නිලධාරීන්ගෙන් සියයට දහයක් දූෂිතය. ආණ්ඩුව බදු පනවා ආදායම තරකර ගැනීමට උපක‍්‍රම යොදන නමුත් නිලධාරීන් ඒවා නිසි සේ ක‍්‍රියාවට නංවන්නේ නැති බවට සාක්ෂි තිබේ. සුප‍්‍රකට වැට් බදු වංචාව එයින් එකකි. රුපියල් බිලියන හතරක බදු වංචාවක් නීතිය ඉදිරියේ ඔප්පු වූ අතර වසර 102 ක සිර දඬුවම් හා බිලියන 12 ක දඩ නියම කරන ලද අවස්ථාවක් ඉතිහාසගත  වී තිබේ.

ආසියාවේ වැට් සියයට 12.5යි

කේ.පී.එම්.ජී. ජාත්‍යන්තර විගණන සමාගමට අනුව ලෝකයේ රටවල් 140 ක් වැට් බද්ද අය කරයි. යුරෝපා රටවල එය ප‍්‍රතිශතයක් වශයෙන් සියයට පහක් වන අතර එය ලෝක සාමාන්‍ය ඉක්මවා සියයට පහක ප‍්‍රතිශතයක් බව දැක්වෙයි. ස්විට්සර්ලන්තය අය කරන්නේ සියයට අටකි. ආසියානු කලාපයේ සාමාන්‍ය සියයට 12.5 නොඉක්මවන අතර එය පාරිභෝගිකයන් මත පනවන බද්දක් වශයෙන් සැලකේ.