“වේගය පිනවයි - මරුවා කැඳවයි” යනුවෙන් සඳහන් පුවරු මාර්ගය පසෙක සවිකර ඇත්තේ ඒ බව වටහාගෙන අනතුරකින් වැළකෙන්නට ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂාවෙනි. නමුත් සිදුවන රිය අනතුරුවල අඩුවක් දකින්නට නැති තරම්ය. ජනවාරි 19 වැනිදා සිට ගත වූ දින 10ක් ඇතුළත දිවයින පුරා වාර්තා වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 35කට අධික ප්‍රමාණයක් මරණයට පත්ව තවත් 130කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි රථවාහන පොලීසිය සඳහන් කරයි.
ළමයින් තිදෙනකුට මරු කැඳවමින් දස දෙනකුට බරපතළ තුවාල සිදුකළ මාරක රිය අනතුරක් කල්මුණේ සායියන්දමරුදු මාර්ගයේදී වාර්තා වූයේ ඉකුත් 30 වැනිදා අලුයම් කාලයේදීය. කොළඹ ගුවන්තොටුපළ සිට කල්මුණේ දක්වා ධාවනය වූ වෑන් රථයක් කල්මුණේ ඩිපෝවට අයත් බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබුණි. එදිනම දඹුල්ල හබරණ මාර්ගයේදී බස් රථයක් පෙරළීම නිසා මගීන් 15 දෙනකු තුවාල ලබා තිබිණි.
එමෙන්ම 29 වැනිදා පේරාදෙණිය කේයගම - තලවත්ත මාර්ගයේදී ත්‍රීරෝද රථයක් සහ මාවනැල්ල උයන්පොළ ප්‍රදේශයේදී මෝටර් රථයක් පෙරළීම නිසා පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලැබූහ. එදිනම මහියංගණය - බිබිල මාර්ගයේදී කැබ් රථයක ගැටීමෙන් පාසල් සිසුවියන් තිදෙනකු තුවාල ලැබූ අතර, හෙම්මාතගම - මාවනැල්ල මාර්ගයේදී ත්‍රීරෝද රථයක ගැටුණු අයෙක් ජීවිතක්ෂයට පත්ව සිටියේය. එදිනම හපුතලේ නගරයේදී යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් තරුණයකු ජීවිතක්ෂයට පත් වූ අතර, වේයන්ගොඩ - කළගෙඩිහේනේදී ත්‍රීරෝද රථයක් පෙරළීමෙන් එහි ගමන්ගත් නාවික හමුදා සෙබළකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලැබූ බව වාර්තා විය.
මාර්ග අනතුරු හානි ලැයිස්තුව තවත් දික්වේ.
පසුගිය සඳුදා (23) අලුයම මහනුවර කොළඹ මාර්ගයේ පස්යාල බටලීය ප්‍රදේශයේදී බස්, කන්ටේනර්, කාර් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින් කන්ටේනර් රථයේ රියැදුරු ඇතුළු දෙදෙනෙක් මියගියහ. බස් රථයේ සහ ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයන් 35 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.
මේ අතර මහනුවර, කුරුණෑගල මාර්ගයේ ගලගෙදර අක්කරවත්ත ප්‍රදේශයේදී ඇගළුම් සේවිකාවන් පිරිසක් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීම නිසා පුද්ගලයන් 20 දෙනකු තුවාල ලබා ගලගෙදර සහ මහනුවර රෝහල් වෙත ඇතුළත් කර තිබුණි.
ඔවුන් අතුරින් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. පසුගිය බ්‍රහස්පතින්දා මහියංගණය, පදියතලාව මාර්ගයේ 52 කණුව ආසන්නයේදී ලොරි රථයක ගැටීමෙන් පිරිමි පුද්ගලයෙක් සහ එදිනම ගන්දර කුරුඳුවත්ත මාර්ගයේ කදුරුදෙණිය විහාරස්ථානය ආසන්නයේදී බස් රථයක ගැටීම නිසා කාන්තාවකද මිය ගොස් ඇතැයි පොලිස් පොතේ සටහන්ව තිබුණි.
පසුගිය 23 වැනිදා තවත් රිය අනතුරක් වාර්තා වූයේ ගම්පොල - මහනුවර මාර්ගයේ කහටපිටිය ප්‍රදේශයේදීය. වයෝවෘද්ධ කාන්තාවක් මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී වේගයෙන් ආ ලොරි රථයක ගැටී වූ අනතුරකට පසුව රෝහල්ගත කිරීමෙන් අනතුරුව මරණය සිදුව ඇත. එමෙන්ම 24 වැනිදා අවිස්සාවේල්ල, බුලත්කොහුපිටිය මාර්ගයේ අම්පාගල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් එක් අයෙක් මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලැබූහ.
මේ අතර එදින පෙරවරුවේ නාරම්මල, කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ පල්ලේගෙදර ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මගී ආවරණයක ගැටීමෙන් එහි රැඳී සිටි පාසල් සිසුන් පස්දෙනකු ඇතුළු තවත් දෙදෙනකුට තුවාල සිදුව ඇත. 23 වැනිදා කුරුණෑගල ඇල්ල මාර්ගයේ තලාව මොරගොඩ තේක්ක රක්ෂිතය අසලින් ගමන්ගත් යතුරුපැදියක් මාර්ගයෙන් රැඳීසිටි වන අලියෙකුගේ ගැටීම නිසා වූ අනතුරින් පැදිකරු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.
පසුගිය 24 වැනිදා පෙරවරුවේ හැටන් - කොළඹ මාර්ගයේ ගමන්ගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැනීම නිසා මාර්ගයේ ගමන්ගත් කාන්තාවකගේ ගැටීමෙන් ඇය ජීවිතක්ෂයට පත්වූ අතර, එදිනම තංගල්ල - මාතර මාර්ගයේ ගමන්ගත් යතුරුපැදියක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් වූ අනතුරකින් යතුරැපැදියේ ගමන්ගත් විදේශීය යුවළක් තුවාල ලබා ඇත.
මේ අතර හබරණ, පොළොන්නරුව මාර්ගයේ සිදුව තිබූ රිය අනතුරක් පිළිබඳව පරීක්ෂණ සිදුකරමින් සිටි පොලිස් සැරයන්වරයකු අනතුරට පත්කර පලාගිය මෝටර් රථයක් අත්අඩංගුවට ගත් අතර, එය පදවා තිබුණේ නාවික හමුදාවේ උසස් නිලධාරියෙකි. බීමත්ව සිටි බව කියන ඔහු අත්අඩංගුවට ගත් අතර තුවාලකරු ප්‍රතිකාර සඳහා යොමු කෙරිණ.
මේ හදිසි අනතුරු ලැයිස්තුවට දකුණෙන් එක් වූයේ ඉකුත් බදදා මාතර දෙවිනුවර ප්‍රදේශයේ වූ අනතුරකි. එහිදී බස් රථයක ගැටුණු කාන්තාවක් ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් හතර දෙනෙක් තුවාල ලැබූහ. අනතුරු රැසක් වාර්තා වූ ඉකුත් සඳුදා දින කුරුණෑගල, හලාවත මාර්ගයේ කංජික්කුලිය ප්‍රදේශයේදී ලොරි රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් සිව්දෙනෙක් තුවාල ලැබූහ. එසේම හලාවත සින්නපාඩුව කන්ද තොඩුවාව මාර්ගයේදී යතුරුපැදියක් හා පාපැදියක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදිකරු මරණයට පත්විය. එදිනම කඩුගන්නාව හේනවල හන්දියේදී කැබ් රථයක් විදුලි රැහැන් කණුවක ගැටීමෙන් එහි රියදුරු තුවාල ලබා රෝහල්ගත කරනු ලැබීය.
මේ අතර ඉමදූව යක්කලමුල්ල මාර්ගයේ වූ යතුරුපැදි අනතුරකින් සහ හික්කඩුව වැල්ලවත්ත ප්‍රදේශයේදී ලොරි රථයක් පෙරළීම නිසා රෝහල්ගතකර සිටි දෙදෙනකුද මියගිය බවට වාර්තා විය. එම දිනයේම හපුතලේ - යහලබැද්ද මාර්ගයේ පිංඅරාව ආසන්නයේදී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අයෙක් තුවාල ලැබීය.
පසුගිය ඉරිදා මුලතිව් - පුලියම්කුලම් මාර්ගයේදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් හතරදෙනෙක් තුවාල ලැබූහ. එදිනම තඹුත්තේගම, තම්මැන්නාව ප්‍රදේශයේදී සිදුවූ මෝටර් රථ හා යතුරුපැදි අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා සිටියහ. ඊට දිනකට පෙර 20 වැනිදා තවත් අනතුරක් සිදුව තිබුණේ තඹුත්තේගම - කලාවැව ප්‍රධාන මාර්ගයේදීය. එහිදී ඩිෆෙන්ඩර් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 6 දෙනකුට තුවාල ලැබීය. එදිනම යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් වූ අනතුරකින් යුදහමුදා සෙබළකු මියගොස් තිබුණේ දෙණියාය කොස්මෝදර ප්‍රදේශයේදීය. මේ අතර ත්‍රීරෝද රථයක් පිළිමතලාව දුම්රිය ස්ථානයට ආසන්නයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් රියැදුරු තුවාල ලැබීය. එදින තවත් ත්‍රීරෝද රථ අනතුරක් සිදුව තිබුණේ බදුල්ල කයිලගොඩ ප්‍රදේශයේදීය. එහිදී කාන්තාවක තුවාල ලැබූ බවට වාර්තා විය.
මීට අමතරව එප්පාවල සේනපුර ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීම නිසා 23 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්විය. ගත වූ 19 වැනිදා බිබිල - මහියංගණය මාර්ගයේ 5 කණුව අසළදී වේගය පාලනය කරගැනීමට නොහැකි යතුරුපැදියක් අනතුරට පත්ව පැදිකරු මියගොස් පසු පැදිකරු තුවාල ලැබූ බවට වාර්තා විය.
මේ අතර දෙහිඅත්තකණ්ඩිය හේනානිගල උතුරු වැවේ මහවැලි ඇළට කැබ් රථයක් පෙරළීමෙන් එහි ගමන්ගත් දෙදෙනෙක් මරණයට පත්වූහ. මේ අතර මහනුවර, මාතලේ, බේරුවල හා ගාල්ල ප්‍රදේශවලදී දුම්රියේ ගැටීම නිසා පුද්ගලයන් 4 දෙනකු ඉකුත් සතිය තුළදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා විය.
සිදුව ඇති සියලු අනතුරු පිළිබඳව විමර්ශනය කළ රථවාහන පොලීසිය අනාවරණය කරන්නේ අපරික්ෂාකාරී ධානවය අනතුරුවලට හේතුව බවය. මේ අනුව නිදිබර ගතියෙන් හා නිසි ශරීර යෝග්‍යතාවය නොමැතිව රිය පැදවීමෙන් වළකින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
♦ සමන්ත ප්‍රදීප් විල්තෙර