2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

ගල් මාළු අහිනකට ගිය ගමන...

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 161

මහ මුදුදේ, ක්ෂිතිජයට එහා මොනවා තියනවා ඇද්ද? මොනවා සිද්ධ වෙනවා ඇද්ද? අද ට්‍රෝලර් කතාවෙන් විස්මයජනක සාගරයේ අපි නොදකින ඉසව්වකට යාත්‍රා කරමු. එහිදී කිසිදා ගොඩබිම සිටින මිනිසකුට හමු නොවන යාත්‍රිකයන්ට පමණක්ම හමුවන අපූරැ වූ අත්දැකීම් ඔබ සමඟ බෙදාගනිමු. 

අප ධීවරන් ගැන දන්නේ අපේ බත් පතට එන මුහුදු මාළු අල්ලාගන්නට මහා සාගරයේ සැරිසරන පිරිසක් ලෙසය. එහෙත් ඒ මහා සාගරය කෙබඳුද? එහි ඇත්තේ මහා රළ හා මාළුන් පමණක්ද? නැත. අද කතාව එය ඔබට පසක් කරනු ඇත.
“ඉස්සර නම් දූපත්වලට බැස්සා කියලා ප්‍රශ්නයක් වුණේ නෑ. දැන් නම් සෑහෙන්න ප්‍රශ්න තියනවා”

මහ මුහුදු මැද්දේ තියන පාළු දූපත්. එසේ නම් එය රොබින්සන් අන්දරය සිහිගන්වන අපූරැ කතාවකි. අනුර මහතා එය කියනට සැරසෙයි. මේ අපූරු කතාව අසන්නට නොතිත් අශාවකින් යුතුව අපි ද ඔහු කතාවට ඉඩ දී නිහඬ වීමු. 

“මම ගිහින් තියනවා මාලදිවයිනේ ගොඩබිමටම. තව ඉන්දියාවේ පාළු දූපත්වලට තව අමෙරිකාවට අයිති ගර්ෂියා දූපත්වලට. හැබැයි ඒ ඉස්සර. දැන් නම් බෑ. නීති බොහොම තදයිනේ. ජාත්‍යන්තර මුහුදේ විතරයි දැන් හැමදේම කරන්නේ” 

මුළු මහත් ලෝකයෙන් තුනෙන් දෙකම ඇත්තේ මහ මුහුදය. ඒ මහා මුහුදේ නව ලෝකයක් සොයා එදා කොලොම්බස්ලා වස්කෝදගාමාලා යාත්‍රා කළ සැටි සිහිගන්වන කතාවක් ඔහු අපට කියයි.

මහ මුහුදේ මිනිස් වාසයෙන් තොර දූපත් තිබේ. මහ මුහුදේ ගීලි ගිය ගොඩබිම් ද ඇත. එවන් ප්‍රදේශවලට අනුර මහතා අතුළු ධීවරයන් යන්නේ අපූරු රාජකාරියකටය. මෙය අවදානම් ජීවිතයේ ආස්වාද ජනක මොහොතකි. ගැඹුරැ මුහුදේ රස්සාවේ යන යාත්‍රිකයන්ට හිටි හැටියේ අපූරැ ආශාවක් පහළ වී තිබේ. ඒ ගල්මාළු ටිකක් කෑමටය. වෙරළකරයේ කවුරැත් ගල්මාළුවල රස දනිති. ගල් මාළු සිටින්නේ ගොඩබිම ආසන්න ගල් පරවලය. දන් ඔවුහු ගල්මාළු සොයා ගිලී ගිය ගොඩබිමක්, දූපතක්, කොරල් පරයක් ඇති අපූරැ ඉසව්වකට යාත්‍රා කරති. 

“බැහැලා හිටගන්න පුළුවන් වැලි පරවල් කොරල් පර තියනවා දූපත් කිට්ටුව. සමර තැන් කාලෙකට කලින් ගිලා බැහැපුවා. අපි ඒවලට බැහැලා ගල් මාළු ටිකක් මරන් එනවා.  ලස්සන ලස්සන මාළු එහෙමත් ඉන්නවා ඒවගේ තැන්වල”

විශාල නැව්වලින් යාත්‍රා කරන නාවිකයන්ටත් මෙවන් ඉසව්වකට ළඟාවීම පහසු නැත. එහෙත් ට්‍රෝලරය ඊට අපූරැම යාත්‍රාවයි. ඔහුට අනුව මෙවන් කොරල් පර, ගල් පර, වැලි පර සහිත ස්ථානවල දසුන දුටුවනගේ සිත් අලවන සුළුය. ඒහෙත් එවන් ඉසව්වක මරණය ද සැඟව තිබෙන්නට බැරි නැත.

පාළු දුපතකින් වරක් පොල් රුගෙන ආ සැටි අනුර මහතා අපිට කියන්නේ මෙලෙසිනි. 

“මේක කාලෙකට ඉස්සර වෙච්ච සිද්ධියක්. ඒක ඉන්දියාවට අයිති පාළු දූපතක්. අපි ගිහිල්ලා බෝට්ටු නතර කරලා නැංගුරම් දැම්මා ගොඩබිම පේන මානේ. ඊට පස්සේ මුහුදට පැනලා පීනගෙන තමා දූපතට ගියේ. පොල්ම තමා තියෙන්නේ. ළඟ ළඟ ගස් වැවිලා. ඇතුළට නම් යන්න අමාරැයි. රෑට නම් කොහොමත් ඉන්න බෑ. ඝණ අන්ධකාර පාළු දූපත් ඒවා. අපි පොල් අරගෙන ආවා ආසාවට” 

ඔහු පවසන ලෙස මේ අන්දමන් දූපත් ආසන්නයේ ඇති දූපතක් විය යුතුය. ඇතැම් දූපත් කලක් මිනිස් වාසයක් පැවතිය ද දැන් ජන ශූන්‍ය වී තිබේ. තවත් එවා කිසිදා මිනිසකුට වාසය කළ නොහැකි භයානක දූපත්‍ය. මේ කතාව අසා සිටින විට රොබින්සන් කෲසෝ තනිව ජීවත් වූ දූපත නැවත සිහියට නැගෙයි.

නෙල්සන් දූපතටත් ඔහු ගොඩබැස ඇත. නෙල්සන් දූපත මාලදිවයිනට පහළින් පිහිටා  ඇත.  මෙම දූපත ආසන්නයේ තවත් දූපත් පිහිටා තිබේ. ත්‍රී බ්‍රදර්ස් නමින් සහෝදරයන් තුන් දෙනකුගේ නම්වලින් හඳුන්වන දූපත් ද මෙහි ඇති බව අනුර මහතා පවසයි. මේ දූපත්වල අයිතිය ඇත්තේ අමෙරිකාවට බව ද ඔහු අපිට කියයි. අමෙරිකානු හමුදා කඳවුරු මේවායේ පිහිටා ද ඇතැයි කියවෙයි. පෙරදී මත්ස්‍ය අස්වැනු බහුලව පැවති මේ ප්‍රදේශවලට බොහෝ ලාංකික ධීවරයන් ගොස් ඇත. පසුකාලීනව විවිධ හේතු නිසා මෙම ප්‍රදේශ තහනම් කලාපයක් වී තිබේ.. එහෙත් ඉඳහිට ඒ තහනම නොතකා මේ කලාපයට ඇතුළු වී මත්ස්‍ය අස්වනු නෙලාගෙන එන ධීවරයෝ තවමත් සිටිති. එය නීති විරෝධී වැඩකි. එහෙත් මුහුදේ නීතිය ගොඩබිමට වඩා වෙන්සය. සියලු අවදානම් වැඩ අඹු දරුවන් රැකීම වෙනුවෙනි. එහෙයින් නීතිය මුහුදේදී රළ මත පාවෙයි.

මෙවන් දූපත් වැලි පර, කොරල් පර වැනි අපූරු ඉසව් අපට කිසිදා මුණනොගැසෙනු ඇත. අඹු දරැවන් රකින්නට යන මේ ගමන, මහ මුහුදේ විචිත්‍රත්වය සොයා යන චාරිකාවක් නොවුණත් ඔවුහු ඒ අපූර්වත්වය අත්විඳිති. අහසට වතුර විදින තල්මසුන්, රෑන් පිටින් මහ මුහුදේ රඟන මුල්ලන් හෙවත් ඩොල්ෆින්ලා, පියාසර කරන පියා මැස්සන් මේ යාත්‍රිකයන්ගේ නෙතට හුරු පුරුදු දසුනය. ඒ අනුව අප අසා දැන දැන ගතයුතු බොහෝ අපූරු කතා මේ මුහුදු මිනිසුන්ගේ ජීවිත සාගරයේ ගිලී ඇත. 

ස්වභාවිකව මහ සාගරයේ නිර්මාණය වූ බෝහෝ දේ මෙන්ම මිනිසා විසින් නිර්මාණ කරන ලද විසල් නැව් ද මේ ධීවරන්ට මුණ ගැසේ. ඒ පිළිබඳව ද පරිණත ස්කීපර් තැන අපට තතු කියයි.

“නැව්කාරයෝ හිටපු ගමන් නවත්තන් ඉන්නවා. එතොකොට අපි ළං කරනවා. ගොඩක් ළං කරන්න බෑ. අපේ බෝට්ටු ඒවයෙ වැදුණොත් කුඩු පට්ටම් වෙනවා. ඒ තරම් විශාලයි ඒවා. කන්ටේනර් පෙට්ටි දෙසීයක් තුන්සීයක් විතර පටවලා තියන්නේ. අපි ළං කරාම එයාලා කතා කරනවා. ඒත් ඇහෙන්නවා අඩුයි. එයාලා උඩ ඉඳන් කෑගහනවා. අපි යට ඉන්නේ. එයාලා ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. ඒත් අපි ගොළු භෂාවෙන් කියන දේවල් නැව් කාරයන්ට තේරෙනවා. අපෙන් ඉල්ලන්නේ ඩප්පරු කියන මාළු තමා වැඩිපුර. අපිට කෑම ජාති, ටොෆි, සිගරැට්, බියර් දෙනවා සමහර වෙලාවට අරක්කුත් දෙනවා. ලණුවක ගැටගහලා තමා විසි කරන්නේ. කැප්ටන් උඩට වෙලා බලාගෙන ඉන්නවා. ගෝලයෝ තමයි අපි එක්ක කතා කරන්නේ. හැම නැව්කාරයෝම එහෙම නෑ. සමහර අය විතරයි ඔය විදිහට කතාබහ කරන්නේ ඉතින්”

නැව් සමඟ කරන ගනුදෙනු පිළිබඳව කතාව අපිට කියන අනුර මහතාට එවන් නැව් මහ මුහුදේ දී මුණගැසී ඇත. තවත් සුපිරි ඝනයේ නැව් සහ යොට් වැනි යාත්‍රා හමුවී ඇතත් ඒවා නවත්වන්නේ නැති බව ඔහු පවසයි. ඒ නිසාවෙන් එවන් යාත්‍රා සමඟ කතා බස් කරන්නට,  ගනුදෙනු කරන්නට ඔහුට අවස්ථාව සැලසී නැත. 

මේ අපූරු කතාවේදී ඔහු අපට පිරිසක් ගැන නොකී බව සිහිවිය. මුහුදු මංකොල්ලකාරයෝ හම්බවෙලා නැද්ද? යනුවෙන් අප විමසුවේ ඒ නොකී පිරිස ගැන කතා අසන්නටය.  “නෑ කවදාවත් නෑ” කියා ඒ පැනයට පිළිතුරු දුන් ඔහු තවත් අපූරු කතාවක් අපට හෙළිකළේය. 

මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය ධීරයන් පිරිසක් සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන්ට හසුවූ පුවතක් 2011 වසරට ආසන්න කාලයකදී මෙරට තුළ ආන්දෝලනයක් ඇති කළ වග ඔබට ඇතම් විට මතක තිබිය හැකිය. මේ පිරිස අනුර මහතාගේ මිතුරන් බව ඔහු පවසයි. 

“අපිත් ඒ කාලේ සෝමාලියාව පැත්තට ගියා. ඔය සිදුවීම වෙනකොට මම සෝමාලියාවේ ඉඳන් රස්සාව කරගෙන ගොඩ එනවා. ඒ ගොල්ලෝ රස්සාව කරන්න යනවා. අපි යාළුවෝ. කිට්ටු කරලා අයිස්, බඩු මුට්ටු හුවමාරු කරගෙන ආවේ. එයාලා මිරිස්සේ කට්ටිය සුදු මල්ලි කියලා. අන්තිමට එයාලව අහුවුණා. එක්කෙනෙක් නැතිවුණා” 

මේ කතාව ඔහු පවසන විට අපට අවබෝධ වූයේ  අනුර මහතා ද මේ භයානක සිදුවීමෙන්  ගැලවී ඇත්තේ වාසනාවකට බවයි. කෙසේ නමුත් ඔහුට ඒ ගැන වගක් නැත. මුහුදු ගමනේ මුහුදු මංකොල්ලකරැවන් මුණ නොගැසෙනු නමුත් තවත් දෙස් විදෙස් මිතුරන් ඔහුට හමුවී ඇත. බේරැවලින් මුහුදු යන අනුර මහතාට මිරිස්ස ධීවර වරායේ බොහෝ මිතුරෝ වෙති. ඔවුන් හමුවී ඇත්තේ මහ මුහුදේදීය. මුහුදේදී හමුවන මිනිස්සුන්ගේ සහෝදරකම්, ඊර්ෂ්‍යාවන් ගැනත් මුහුදු සංස්කෘතියක් පිළිබඳවත් ඉදිරියේ දී අපි ඔබට කියමු. 

(මහ මුහුද මැදදී බේරුවල අනුරට හමු වූ බොම්බායේ ශිවා ගැන කතාව ලබන සතියට).

 චමිඳු නිසල් ද සිල්වා 

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00