රටක පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මක බව එම රටේ සංවර්ධනය මනින සාධකයකි. දියුණු රටවල පොදු ප්‍රවාහන සේවය පවතින්නේ ඉතා උසස් මට්ටමකය. රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය මගින්ද ප්‍රවාහන සේවා සපයන නිසා බොහෝ රටවල පොදු ජනයාට එමගින් සැලසෙන්නේ විශාල සේවයකි.
ඈත අතීතයේ සිටම ලංකාවේ අසුන් පිට යාමෙන් ඇරැඹි මගී ප්‍රවාහනයට රික්ෂෝ, බස් රථ ආදිය එක්වන්නේ ඉංග්‍රීසි පාලන සමය තුළදීය. 1907 වසරේදී කොළඹ සිට හලාවත දක්වා මගීන්ගේ ගමන් පහසුව සලසමින් පෞද්ගලික බස් රථයෙන් ධාවනය වී ඇති අතර එය මෙරට ඉතිහාසයේ ප්‍රථම මගී සේවාවේ ආරම්භය ලෙස සැලකේ.
එසේ ඇරැඹී මේ වනවිට රටේ පොදු ප්‍රවාහන සේවාවේ විශාල දායකත්වයක් හිමිකරගෙන සිටින පෞද්ගලික බස් රථ රැසක් රියැදුරන් නොමැති වීම හේතුවෙන් නිවෙස් තුළ ගාල්කර ඇති බවත් මෙයට පිළියමක් ලෙස ඉන්දියාවේ බස් රථ රියැදුරන් ගෙන්වීම සඳහා වන යෝජනාවක් රජයට ඉදිරියේදී ලබාදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
කොළඹ සහ තදාසන්න නගරවල බස් රථ රියැදුරන් සිය වෘත්තිය අත්හැර වෙනත් වෘත්තීන්වලට යොමුවීම හේතුවෙන් මෙම ගැටලුව මේ වනවිට ඉතා අර්බුදකාරී තත්ත්වයකට පත්වී ඇති බවද ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි. බස් රථ රියැදුරන්ගේ මෙම හිඟය පිළිබඳව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා දේශයට මෙලෙස අදහස් පළ කළේය.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඇති මාර්ග තදබදය එක්ක බොහෝ බස් රථ රියැදුරන් බස් රථ කර්මාන්තයට එක්වීමට ඉතා මැළිකමක් දක්වනවා. මේ හේතුව නිසා කොළඹ ඇති සියලුම මාර්ගවල දිනකට බස් රථ 5ත් 10ත් අතර ප්‍රමාණයක් ධාවනය වෙන්නේ නැහැ. මේක දිගින් දිගටම තිබෙන බරපතළ ප්‍රශ්නයක්. ඒ නිසා අපි තීරණය කළා ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරලා කොන්ත්‍රාත් පදනම යටතේ ඉන්දියාවෙන් රියැදුරන් ගෙන්වන්න. ඒ වගේම මෙලෙස රියැදුරන් ගෙන්වනවානම් ලංගමයට දීලා ලංගමයෙන් පුරුදු කරලා ඒ කාලය නිමවුණාට පස්සේ පෞද්ගලික බස් රථ සඳහා යොදවන්න තමයි අපි තීරණය කරලා තියෙන්නේ. ඉතින් බොහෝ බස් රථ සඳහා විශාල විශාල වශයෙන් ලීසිං වාරික තියනවා. බස් රථ ධාවනය නොකර ඒ මුදල් ගෙවාගන්න බස් රථ හිමියන්ට අමාරැයි. නමුත් කරන්න දෙයක් නැහැ. බස් රථ හිමියන් ලෙස රජය සමඟ හැකි ඉක්මණින් කතා කරලා මේකට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් රියැදුරන් ගෙන්වන්න අපි තීරණය කරලා තියෙනවා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණ විජේරත්න මහතාගේ මෙම යෝජනාව ගැන අනෙක් බස් රථ සංගම්වලින් කළ විමසීම්වලදී ඔවුන් පැවසුවේ මෙසේය.
සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත්
අපේ රටේ පෞද්ගලික බස් රථ සඳහා රියැදුරන්ගේ විශාල හිඟයක් නැහැ. ඉතා අවම රියැදුරු හිඟයක් තමයි පවතින්නේ. එහෙම තිබුණත් අපි කළයුත්තේ විදේශයකින් රියැදුරන් ගෙන්වීම නෙවෙයි. අපේ රටේ රැකියා විරහිත තරුණයන් විශාල පිරිසක් ඉන්නවා. ඒ අයට රියැදුරු පුහුණුව ලබාදීලා විනයානුකූල රියැදුරන් පිරිසක් බිහිකරන්න පුළුවන්. විශේෂයෙන්ම මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම පෞද්ගලික බස් ව්‍යාපාරයට සහ සේවකයන්ට කරන නිගාවක් ලෙස තමයි අපි දකින්නේ. කොහොමත් අපි මේ කාර්යයන් ඉටුකරන්න ගැමුණු විජේරත්න මහත්මයාට ඉඩදෙන්නේ නැහැ.
අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර
ගැමුණු විජේරත්න මහත්තයා මේ කරන්න යන්නේ ඉන්දියාවෙන් රියැදුරන් ගෙනැල්ලා ලංකාවේ ඉන්න රියැදුරන් විනාශ කරන වැඩපිළිවෙළක්. ඉතින් මේකෙන් සිද්ධවෙන්නේ අපේ රටේ ඉන්න රියැදුරන් විනාශ වෙන එක. රියැදුරු හිඟයක් තියනවනම් අපි කරන්න ඕන මේ වෙනත් රටවලින් රියැදුරන් ගෙනවිත් අපේ බස් කර්මාන්තය කඩාවට්ටන එක නෙවෙයි. ඉන්න රියැදුරන් රැකගන්න එක. නව රියැදුරන් විධිමත් ලෙස පුරුදු කරලා සේවයට යොදවන්න ඕන. ගැමුණු මහත්තයා කියනවා වගේ බරපතළ හිඟයක් නැහැ. මේ විදිහට ඉන්දියාවෙන් රියැදුරන් ගෙන්වලා වැඩකරන්න දෙන්නේ නෑ අපි.
දකුණු පළාත් පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති චන්දන සොයිසා
මේ රට කාගෙවත් රටක් නෙවෙයි. අපේ රටේ රියැදුරන් ඕනතරම් ඉන්නවා. එහෙම තියෙද්දි මොකටද ඉන්දියාවෙන් රියැදුරන් ගේන්නේ. මේක කාගෙවත් තෝතැන්නක් වෙන්න ඉඩදෙන්න බැහැ. අඩුපාඩු ඇති ඕනතරම්. නමුත් අපි දැනගන්න ඕන ඒවා පිරිමහගෙන වැඩ කරන්න. නිසි වැටුපක් ගෙවනවනම් බස් රථ රියැදුරන්ට ඔවුන් වැඩට එනවා. ට්‍රැෆික් එක නිසා තමයි මේ රියැදුරන් එළවන්න අකමැති. බස් රථ කර්මාන්තයේ තියන අනෙක් ගැටලුවලට විසඳුම් හොයන්න ඕන මුලින්ම. ඊටපස්සේ තමයි මේ රියැදුරුය. රියැදුරු හිඟයට වඩා බරපතළ ගැටලු තියනවා.
කෙසේ වුවද අද වනවිට ගමනාගමනයේදී ලංකාවේ පොදු ජනයාට සෙත සලසන ප්‍රධාන තැනක් ගෙන ඇත්තේ පෞද්ගලික බස් රථ සේවාවයි. වැඩිපුර බස් රථ ප්‍රමාණයක් ධාවනයට යොදා ඇති නිසාත් ලංකාවේ ඇති සෑම ප්‍රදේශයකම බස් රථ යොදවා ඇති නිසාත් අද වනවිට පොදු ජනයාගේ ප්‍රධානතම ගමනාගමන සේවාව බවට පෞද්ගලික බස් රථ පත්වී ඇත. මේ හේතුවෙන් පෞද්ගලික බස් රථ තුළ තිබෙන තරගකාරීත්වය සහ හුදෙක් වානිජමය ස්වරෑපය නිසා මේ වනවිට පෞද්ගලික බස් රථ සේවාවෙන් පොදු ජනතාවට අපේක්ෂිත අන්දමේ ගුණාත්මක සේවාවක් ලැබෙනවාද යන්න සැක සහිතය. කෙසේ වෙතත් පොදු ජනයාගේ ජනප්‍රියත්වය හිමිකරගෙන ඇති බස් රථ ධාවනයට රියැදුරන් නොමැති වීම කනගාටුවට කරුණකි. එයට වහාම පිළියම් යෙදීම අවශ්‍යය.
♦ හසිත් අංජන