2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

අමුඅමුවේ සූරාගන්නා එප්පාවල පොස්පේට් නිධිය

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 412

මේ භූමිය තුළ ඛණිජ සම්පත් එමටය. වැලි කැටයේ සිට මැණික දක්වා මේ භූමිය තුළ හැදෙන්නේ ලෝකයේ කිසිදු රටකට දෙවැනි නොවන ලෙසටය. නිසි ලෙස ඛණිජ සම්පත් ප්‍රයෝජනයට ගන්නේ නම් අද රට මෙලෙස ණය උගුලක හිරවෙන්නේද නැත. එහෙත් මොකක්දෝ අවාසනාවකට ඇති තරම් සම්පත් තිබියදීත් අපි ලෝකයටම ණය වෙමින් නාසය අසල ණය ගොහොරුවේ එරී සිටිමු. මේ නිසා ජාවාරම්කරුවන් විසින් කුණු කොල්ලයට අපේ ඛණිජ සම්පත් විකුණගෙන කන්නේ රටටත්, මේ බිමටත් කිසිදු පල ප්‍රයෝජනයක් නැති කරමිනි.

අප අද කියන්නට යන්නේ එවැනිම ඛණිජ ජාවාරමක් ගැනය. මෙය ලෝකයේ වටිනාම මෙන්ම ලෝකයේ දිනෙන් දින වටිනාකම වැඩිවන රත්තරන් හා සමාන දෙයකි. ඒ එප්පාවල පොස්පේට්ය. ලෝකයේ ප්‍රධාන පෙළේ පොස්පේට් නිධි දහයකට ආසන්න ප්‍රමාණයක් තිබුණත් දැනට ලෝකය පිළිගන්නා හොඳම පොස්පේට් නිධිය එප්පාවල පොස්පේට් නිධිය බව සඳහන් වේ. සාමාන්‍යයෙන් පොස්පේට් යොදාගෙන පොහොර නිෂ්පාදනය කරන අතර එහිදී රසානික විෂ ද්‍රව්‍යයක් වන කැඩ්මියම් අඩංගු ප්‍රමාණය ගැන විශේෂ අවධානයක් යොමු කරයි. උතුරු මැද පළාත තුළ වකුගඩු රෝගය පැතිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මේ කැඩ්මියම් රසායනයයි. එහෙත් එප්පාවල පොස්පේට්වල කැඩ්මියම් රසායන ද්‍රව්‍යයේ අන්තර්ගතය දශම 005 ක ප්‍රමාණයක් පමණි. එම ප්‍රමාණය ඉතාම සෞඛ්‍යාරක්ෂිත අවම ප්‍රමාණයක් බවට වටහාගෙන ඇත. එවන් වටිනාකමක් ඇති පොස්පේට් නිධියකින් රජය හෝ මෙරට ජනතාව ප්‍රයෝජන ගන්නවාද? එය අපට ඇති ගැටලුවකි.

නැත. ලෝකයක් මවිත කළ මේ නිධියෙන් ප්‍රයෝජන ගන්නේ අපවත් රජයවත් නොව රටේ පොහොර අධිකාරිය බලහත්කාරයෙන් අල්ලාගත් බහුජාතික සමාගම් පමණි. ඔවුන්ගේ යටතට අසුව ඇති මේ නිධානයෙන් ඔවුන් රිසි සේ සූරාගෙන කන්නේ අනාගතයට තබා වර්තමානයටවත් දෙයක් ඉතුරු නොකරමිනි.

දැනට මෙම එප්පාවල සහ අවට ප්‍රදේශය තුළ පෞද්ගලික සමාගම් විසින් සිය බලය පවත්වාගෙන යන්නේ කිසිදු තැකීමකින් තොරවය. අවශ්‍ය පොස්පේට් රජයෙන් සොයාගෙන පසුව සමාගම්වලට විකිණීම සාමාන්‍ය ක්‍රමවේදය වුණත් දැන් දැන් පෞද්ගලික සමාගම් මාෆියාකරුවන් එම භූමියේ කඳවුරු බැඳගෙන කටයුතු කරන්නේ මේ නිධියේ තනි අයිතිය බුක්ති විඳිමිනි. සාමාන්‍යයෙන් පරීක්ෂණවලට අනුව මෙම පොස්පේට් භූමිය පිටතින් සහ අභ්‍යන්තරයේ පිහිටා ඇත. එවිට විධිමත් විද්‍යාත්මක ක්‍රමය වන්නේ අවශ්‍ය පොස්පේට් භූමිය මතුපිටින් ලබා ගැනීමය. එවිට අභ්‍යන්තරයේ ඇති පොස්පේට් කාලයත් සමග වර්ධනය වී ඒවාද මතුපිටට එනු ඇත. එහෙත් පුදුමය නම් මෙම සමාගම් මැදිහත් වී සිදුකරන හානිය නිසා කිසිදු සොයා බැලීමකින් තොරව පොළව අභ්‍යන්තරයේ කැණීම් සිදුකිරීමය. එම කැණීම් හේතුවෙන් පොළව මතුපිට මෙන්ම අභ්‍යන්තරයේ ඇති පොස්පේට් විනාශව ගොස් අනාගතයට නැවත ප්‍රයෝජනයක් ගැනීමට නොහැකිවන තැනට වැඩ සිදුවීමය. මේ නිසා විවිධ ස්ථානවල විශාල වළවල් හාරා ඇති අතර බැලු බැල්මට ඒ ක්‍රමය අවිධිමත් ආකාරයට සිදුවන බව හඳුනා ගත හැක.

මේ කියන්නට යන්නේ පොස්පේට් නිධිය පිළිබඳව අසන්නට ලැබෙන ඛේදනීය කතාවලින් තවත් එක් කතාවකි. එක් විදෙස් ඉන්ජිනේරැවරයෙක් මේ ගැන පරීක්ෂණ සිදුකිරීම සඳහා පසුගිය කාලයේ එප්පාවල ප්‍රදේශයට ගොස් ඇත. එසේ යන අතරතුර ඔහුත් සමඟ ගිය මෙරට රජයේ නියෝජිතයාට හැකි ඉක්මනින් වාහනය නවතන ලෙස දන්වා තිබේ. දුවීලි වලි පිරී ඇති එම ප්‍රදේශය තුළ කාපට් ඇතීරීමක් එම අවස්ථාවේ සිදුකෙරෙමින් පැවතී ඇත. එම ඉන්ජිනේරැවරයා වාහනයෙන් බැස කාපට් අතුරන්නට සුදානම්ව තිබූ මාර්ගයේ ඇන තබාගෙන එක් අතක් ඔළුවට ගසාගෙන මහත් කනගාටුවෙන් සිට ඇත. එවිට මෙරට රජයේ නියෝජිතයා කුමක් වීද යන්න විමසා ඇති අතර ඉන්ජිනේරැවරයා පවසා ඇත්තේ එම මාර්ගය සැකසීමට යොදාගෙන ඇත්තේ පොස්පේට් බවය. එකී පොස්පේට් හඳුනා නොගැනීම නිසා මහා අපරාධයක් සිදුවී ඇති බවත් ඔහු පවසා තිබේ. පසුව සොයා බැලීමේදී කිලෝමීටර් තුනක් මාර්ගය සඳහා අතුරා ඇත්තේ පොස්පේට් බව සොයාගැනීමට හැකි විය.

එසේ නම් මෙවැනි දෙයක් වනතෙක් කිසිවකු දැන සිටියේ නැද්ද? එම ස්ථානයේ බලධරයෙක් නැද්ද? මේ ආකාරයෙන් රටේ ඛණිජ සම්පත් අමු අමුවේ විනාශ වනතෙක් එම සමාගම්, රජය මර නින්දේද යන්න සැකයක් ඇත. පුදුමය නම් එවැනි අපරාධයක් වී තිබියදිත් රජයට තවමත් මෙම සම්පතින් ප්‍රයෝජන ගෙන මුදල් උපයා ගැනීමේ විධිමත් ක්‍රමවේදයක් නොතිබීමය. එයින් මුදල් ගැරීමේ අවස්ථාව ලබාදී ඇත්තේ මෙරට බහුජාතික සමාගම්වලටය.

කෙසේ වෙතත් දැනට බහුජාතික සමාගම්වලින් පෙන්වා දී ඇති පරිදි පොස්පේට් නිධියේ ආයු කාලය වසර 30කි. එහෙත් පුදුමය නම් මෑතක රජය විසින් සිදුකර ඇති පරීක්ෂණවලට අනුව තහවුරු වී ඇත්තේ මෙම නිධිය තව අවුරුදු අනූවක් ආයු වළඳන බවයි. කෙසේ වෙතත් ඒ වනතුරු පැවැත්ම තීරණය වන්නේ එහි කැණීම් සිදුකරන ආකාරයට අනුවය. නමුත් දැනට සිදුවන ආකාරයට අනුව තව අවුරුදු දහයක්වත් මෙම නිධියෙන් ප්‍රයෝජන ගැනීමට හැකියාවක් ඇතිද යන්න සැකයක් පවතී.

පොස්පේට් මාෆියාව පසුපස ඉතිහාසයේ සිට පවතින දේශපාලන අධිකාරියේ මැදිහත් වීම නිසා මෙම ඛේදවාචකයට අදවන විට මුහුණ දෙන්න සිදුවී තිබේ. විධිමත් ක්‍රමවේදයක් වෙනුවට අත යට ගනුදෙනු නිසා මෙම නිධිය ක්‍රමයෙන් පෞද්ගලික සමාගම් විසින් සිය යටතට ගෙන ඇත. එය කොතරම්ද කියතොත් වෙනත් ආයෝජකයකු, ඉංජිනේරුවරයකු මේ පොස්පේට් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනවා නම්  දෙවතාවක් සිතන තැනට පත්කර ඇතැයි සඳහන්ය. ඒ සමාගම් කිහිපයකට මේ නිධියෙන් මතුව ඇති වාසනාව නිසාය.

කෙසේ වෙතත් මෙහි ඛේදවාචකය නම් මේ පොස්පේට් හරහා නිපදවන පොහොරවල ප්‍රමිතිය ඉතා පහළ මට්ටමක පැවතීමය. ඒ ප්‍රමිතිය මනින්නට කවුරුත් නැත. ඒ වෙනුවට බහු ජාතික සමාගම් තම හිතුමතේ පොහොර, නිෂ්පාදනය කරන්නේ රටට කුණු රොඩු ලබාදෙමිනි. එහෙත් අවාසනාවකට ඒ ගැන හොයන්නට කෙනෙක් නැත.

මේ අතර තවත් කාරණයක් තිබේ. ලෝකයටම වටිනා පොස්පේට් අද වනවිට රජයේ නියෝගයක් පරිදි පිටරට පටවන්නේ නැත. එය යහපත් තීරණයකි. එසේනම් මෙම පොස්පේට් බහුජාතික සමාගම්වලට ලබාදෙන්නේ නියමිත ජාත්‍යන්තර මිල ගණන් යටතේද? නැත දන්නා තරමින් එසේ නැත. දන්නා තරමින් එම මිල ගණන් රටේ සාමාන්‍ය මිල ගණන් යටතේ සිදුකෙරේ. එසේ නම් විශාල ණය කන්දක සිරවී ඇති රටක් මේ ආකාරයෙන් අයාලේ ජාතික සම්පත් අපතේ යන්නට දෙන්නේ මන්ද?

එපමණක් නොවේ. මේ අයාලේ යන ක්‍රමවේදය හේතුවෙන් එම ප්‍රදේශයට සිදුවී ඇති පරිසර හානිය ද සුළු පටු වන්නේ නැත. හැම තැනම ඉවක් බවක් නැතුව කපන ලද වළවල් නිසා ප්‍රදේශයේ මදුරැ ගහනයද ඉහළ ගොස්ය. වැහි වතුර පිරුණු පසු ඒවා මරු කපොලු බවට පත් වෙයි. එහෙත් ඒ ගැන තැකීමක් නැත.

කෙසේ වෙතත් දැන්වත් මේ ජාතික සම්පත ප්‍රයෝජන ගැනීම සඳහා ක්‍රමවේදයක් සැකසිය යුතුය. හිටපු දේශපාලනඥයන් මෙයින් යැපෙන්නට කටයුතු කළා විනා මෙයින් රටට වාසියක් අත්පත් කර ගැනීමේ ක්‍රමවේදයක් සැකසුවේ නැත. දැන් එකී අභියෝගය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට පැවරී ඇත. ඒ අභියෝගය සිදුකළ හැකි ද යන්න ගැටලුවකි. ඒ මේ බහුජාතික සමාගම් නිසාය. ඒ නිසා මේ ජාවාරම්කරුවන්ගෙන් මිදී අපටම විශේෂ වූ ක්‍රමවේදයක් යටතේ අනාගතය තෙක් මෙම ජාතික සම්පතින් ප්‍රයෝජන ගන්නේ කවදාද? නැති නම් විනාශ වන්නට දෙනවාද? තීන්දුව රජය සතුය.

 අමිල කළුබෝවිල