2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

සිරුරේ විස නසන සූදුරු

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 2490

ආයුර්වේදයට අනුව සූදුරු රසකාරකයක් මෙන්ම ඖෂධයක් ලෙසද හැඳින්විය හැක. වසර ගණනාවක පටන් ආහාර රසගැන්වීම සූදුරු විසින් කරනු ලැබේ. ආහාර පිසීමේදී රසය මෙන්ම අලුත් සුවඳක් ද එක් කරයි. පෝෂණය අතින් ඉතා ඉහළ ඖෂධයක් ලෙසින් හැඳින්වෙන සූදුරු ග්‍රෑම් සියයක බොහෝ පෝෂ්‍ය පදාර්ථ අඩංගු වේ. ප්‍රෝටීන් ග්‍රෑම් 17.8ක්ද, කෙඳි ග්‍රෑම් 10.5, මේදය 2 ග්‍රෑම් 22.27, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 44.24ක් අඩංගු වේ. ඊට අමතරව විටමින් බී සහ යකඩ බහුලව පවතී. විටමින් E, විටමින් K අඩංගු රසකාරකයක් ලෙසින් ද සූදුරු හැඳින්විය හැක.

සූදුරැ බොහෝ රෝග සුවපත් කිරීමට උදව් දෙන ඖෂධයකි. විශේෂයෙන් ආහාර හොඳින් දිරවීමටත්, දිරවූ ආහාර ශරීරයට උරාගැනීමටත් සූදුරු උදව් වේ. නිරෝගී ආහාර ජීර්ණ පද්ධතියක් ඇති කිරීමට උදව් වෙන සූදුරු ආහාර ජීර්ණය සහ පරිවෘත්ත ක්‍රියාවලිය නිවැරදිව පවත්වාගෙන යාමට උපකාරි වේ.

සමාජයේ බහුලව දක්නට ලැබෙන කොලෙස්ටරෝල්, දියවැඩියාව වැනි රෝගවලට ද සූදුරු ඉතා ගුණදායක රසකාරකයකි. උදරය පුරවා දැමීම, ආහාර අරුචිය, බඩ පිපීම වැනි රෝග සඳහා ද සූරුදුවලින් ලබාදෙන්නේ ඉතා සැනසිලිදායක ප්‍රතිකාරයකි. සූදුරුවල පවතින අපූරු සුවඳ හේතුවෙන් ආහාර ගැනීමට රුචිකත්වයක් ද ඇති කරයි.

අර්සස් රෝගයේ මූලික හේතුව වන මළබද්ධය නැති කර දැමීමට උදව් කෙරේ. අග්න්‍යාශ ක්‍රියාවලිය මනාව සිදුකිරීමට සමත් වේ. සූදුරුවල ප්‍රතිඔක්සිකාරක හොඳින් අඩංගු වේ. එසේම ආහාරමය කෙඳි ද ශරීරය අත්‍යවශ්‍ය තෙල් ප්‍රමාණයන්ද සූදුරුවල අන්තර්ගතව පවතී.

මෙය පිළිකා වැළැක්වීමට ඉතා ගුණදායක රසකාරකයකි. විශේෂයෙන් ආමාශයේ සහ අක්මා පිළිකා තත්ත්වයක් සඳහා සූදුරු ඉතා ගුණදායක වේ. අක්මාවේ ඇති විෂ නැති කිරීමටද සූදුරැවලට ඇත්තේ ප්‍රබල ශක්තියකි.

එපමණක්ම නොව සිරුරේ පවතින විෂ සූදුරැ මඟින් ඉවත් කෙරේ. එය පිටකරනු ලබන්නේ මළ, මුත්‍රා සහ දහඩිය මඟිනි. මෙහි විටමින් ඊ අඩංගු වන නිසා දිලීර නාශකයක් හා විෂබීජ නාශකයක් ලෙසින්ද උදව් කෙරේ.

සමේ ඇතිවන කැසීම්, පතුල්වල දාඩිය දැමීම සඳහා ඉතා ගුණදායක වන අතර සූදුරැ තම්බා ගත් වතුර ස්නානයෙන් මේ තත්ත්වය මඟහරවා ගත හැකිය. සමට අවශ්‍ය කරනු ලබන බොහෝ ස්වාභාවික පෝෂණ ද්‍රාවණයක් සූදුරැවල පවතී. මේ නිසා හිසකෙස් ඝනකම් වීමට මෙන්ම තට්ටය ඇති වීම වැළැක්වීමටත් සූදුරු උපකාරී වේ. එමෙන්ම ඉස්හොරි වළක්වා ගැනීමට සූදුරු යොදා ගැනේ. මෙය ඉතා සාර්ථක ක්‍රමයකි.

මීට අමතරව සූදුරු ඇදුම සහ පෙනහළු රෝගීන්ට ද ඉතා ගුණදායක වේ. කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහාත් සූදුරැ ආහාරයට එකතු කර ගනී. එමෙන්ම කාන්තාවන්ගේ ඔසප් චක්‍රය ක්‍රමවත්ව පවත්වා ගැනීමට සූදුරැවලට ඇත්තේ ප්‍රබල ශක්තියකි. එවැනි අය සූදුරු තම්බා බීම ඉතා ගුණදායක වේ.