සිග්නල් කන්ද මලික් තුසිත ගුණරත්නගේ අලුත්ම කවි අස්වැන්නයි. කවිය යනු භාවනාවකි. කවියක් තුළ තිබිය යුතු සිත නිවීමේ ගුණය සිග්නල් කන්ද තුළ අඩුවක් නැතිවම පවතිනු ඇතැයි එය කියවන විට දැනේ.
මලක පාට නෑ මල් ලියකම් අතර
විලක නිසල බව නෑ සයුරක ගඟක
මමද පාට නැති මිනිසෙක් බව හැඳින
ඔබද විලක් වූ එකමය හරි පුදුම (17 පිට)
අවට පැතිර පවතින සමාජය රැළි නඟන සැඩ සාගරයක් වූ කල, කාන්තාවකට නිසල විලක්ව සිටිය හැකිද? සත්තකින්ම, එවැනි කාන්තාවෝ සිටිති. පාට නැති මිනිසුන්ට විලක්ව හිඳ, උදේ පාන්දර රතු නෙළුම් මල් පූදන මෙවැනි කාන්තාවන්ට යශෝධරා යන නාමයෙන් ආමන්ත්‍රණය කිරීමට අපි පසුබට නොවෙමු. මලික් තුසිත ගුණරත්න අපට පෙන්වාදෙන සත්‍යතාවය එයයි.
තාත්තාගේ ගෝරණාඩු හඬ
අද මිහිරක්ද මට
අම්මාගේ නිවුණු හඬ
සැනසීමක්ද අද (18 පිට)
තාත්තා තුළ ස්වභාවයෙන්ම පිහිටි පිටතට නොපෙන්වන කරැණා ගුණයත්, අම්මා තුළින් උතුරා ගලායන තාත්තාට නොදෙවැනි උතුම් වූ කරැණා ගුණයත් දෝතට ගෙන කවියා අප දෙසට දිගු කරයි.
මලක් සිහිකොට
මං අඬනකොට
මගෙ දුකට හරහට
අම්මා හිටියෙ සමව ගලකට (58 පිට)
මහ වැසිදාක කමතක බිම්මලක් වුණු
නුඹලා රහට කියනා කම්සැපෙහි රස
ඇයට සදා අවමංගල රැයක් මෙන (74 පිට)
රතු ඇඳුමින් මනාලිය සැරසිය යුතු දිනෙක සුදු ඇඳුමින් සැරසුණ මනාලියක් ගැන නොවේද කවියා මේ පවසන්නේ? ගෘංගාරාත්මක රසයෙන් වෙලී කතා කරන, කවි ගීත ගැයෙන මංගල රුය ඇයට අවමංගල රැයක් වූයේ කාගේ වරදින්ද? ප්‍රශ්නාර්ථයකි.
අපි පොඩි ළමයි වෙනවද නම් කවි පන්තියෙන් ඔහු අතීතයට එබිකම් කරයි.
ඔබ පියුමක්ව පිපුණා
ගෑස්පහ වටරවුමෙ
ගෝනි කරවල බැරල් අතගාගෙන
හමන සුළඟේ
ඔබෙ සුවඳ තිබුණා (40 පිට)
පවත්නා සමාජීය මඩ ගොහොරුවෙන් වහනය වන මඩ ගඳ මොහොතකට අමතක කර කවියා අප එක්තරා යුගයක් වෙත ගෙන යයි. ඒ දහඩිය ගඳ මකන්නට සුවඳ විලවුන් නොගෑ යුගයයි. මිනිසා වෙතින් මානව සුවඳ වහනය වූ යුගයයි.
පොතේ නමට යොදාගත් සිග්නල් කන්ද කවිපෙළ අද සමාජය ගැන අපූරැ ධ්වනිථාර්ථ මතුකරයි.
ටික ටික ඔයාගෙ
සිග්නල් දුර්වල බව
මට කිව්වෙත්
ඔය සිග්නල් කන්දමයි සුධර්මන් (85 පිට)
කවියා අප වත්මනට කැඳවයි. දුරකතනයට ලැබෙන සිග්නල් ප්‍රමාණය මත පදනම්ව ප්‍රේමයේ තරම මනින්නට හුරැවුණු යුගයක ප්‍රේමයේ බිඳවැටීම සිග්නල් අඩුවී යාමකට කවියා සමපාත කරනුයේ සූක්ෂම මෙන්ම උත්ප්රාසාත්මක ගුණයකින් යුතුවය.
සමාජයීය යථාර්ථය පෙන්වාදෙන මලික් තුසිත ගුණරත්නගේ සිග්නල් කන්දෙන් ජීවිතයේ හතරමං හන්දියෙහි ලතවන හිතට, සිග්නල් එකක් ලැබෙනු දැනේ.
සිග්නල් කන්ද මරදාන සූරිය ප්රකාශනයකි.
මදුශාන්ත බණ්ඩාර ඇඹිලිපිටිය