2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

ස්වර්ණ පුස්තකය ඇත්තටම රත්තරන්ද?

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 251

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරන 11 වැනි ස්වර්ණ පුස්තක සම්මාන උළෙල මෙම 15 සෙනසුරාදා සවස කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

ස්වර්ණ පුස්තක සම්මානය සඳහා ජයග්‍රාහකයන් තෝරා පත්කර ගැනීම අවසන් අදියරට පැමිණෙමින් අවසන් සිංහල නවකතා පහ මේ වනවිට තෝරාගෙන තිබේ. මේ අතරින් ජයග්‍රාහී නවකතාවට රුපියල් 750,000ක මුදලක් ද, අවසාන වටය සඳහා තේරුණු සියලුම නවකතාවලට එකකට රුපියල් 100,000ක් බැගින් ද මුදල් තිළිණ හිමිවන අතර මෙහිදී ලබාදෙන සමස්ත මුදල් තිළිණ ප්‍රමාණයේ වටිනාකම රැපියල් ලක්ෂ 12.5ක් වේ.

2018 සම්මාන සඳහා පළමු වවටයේ විනිශ්චය සඳහා 2017 වසරේදී ප්‍රකාශයට පත් වූ නවකතා 125ක් සුදුසුකම් ලබා තිබුණි. අවසන් ජයග්‍රාහකයන් තෝරා ගැනෙන්නේ තුන්වන වටයේ විනිශ්චයෙන් පසුවයි.

මෙවර අවසන් වටයේ විනිශ්චය සඳහා තේරී පත්වී තිබෙන ප්‍රශස්ත නවකතා පහ අතරට සමන් වික්‍රමාරච්චි විසින් රචිත අප්පච්චි ඇවිත් (සරසවි ප්‍රකාශකයෝ), දර්ශනා ෂම්මි විජේතිලක විසින් රචිත අසනග වැසි (සුසර ප්‍රකාශකයෝ), ජයතිලක කම්මැල්ලවීර විසින් රචිත චක්‍ර (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය), විමල් උදය හපුගොඩආරච්චි විසින් රචිත යකඩ සිල්පර (ෆාස්ට් පබ්ලිෂින්), සහ පද්මිණී සෙනෙවිරත්න විසින් රචිත වරණ (විදර්ශන ප්‍රකාශකයෝ) යන නවකතා ඇතුළත් වේ.

මෙවර පළමු වටයේ විනිශ්චය සඳහා 12 දෙනකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් සහභාගී වූ අතර මෙහිදී ඉදිරිපත් වූ නවකතා 125 කියවා සිය විනිශ්චය ලබාදිය යුතු විය. මොවුන් විසින් තෝරා පත්කර ගත් හොඳම නවකතා 12ක් ඉන්පසුව විනිශ්චය සඳහා පස්දෙනකුගෙන් යුතු විනිශ්චය මණ්ඩලයකට ඉදිරිපත් කෙරුණු අතර ඔවුන් විසින් තෝරාපත් කරගත් හොඳම නවකතා පහ අවසන් වටයේ විනිශ්චය සඳහා 5 දෙනකු සමන්විත උත්තරීතර විනිශ්චය මණ්ඩලයකට ඉදිරිපත් කර තිබේ.
මෙම සම්මාන ප්‍රදානය ඇති කළේ ග්‍රන්ථ කතුවරැන් දිරිමත් කරමින් ඔවුන් තුළින් ඉහළම නිර්මාණ බිහිකර කියවීම වර්ධනය කරවීමටයි* යනුවෙන් සම්මාන ප්‍රදානය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයෙහි සභාපති විජිත යාපා මහතා සඳහන් කළේය.

නමුත් එය ගුණාත්මක පිබිදීමක් ද යන්න මෙතෙක් ස්වර්ණ පුස්තක ප්‍රශස්ත කෘති, ජයග්‍රාහී කෘති හා ඒ ගොන්නට ඇතුළත් නොවූ කෘති සසඳමින් පර්යේෂණයක් කර සොයාගත යුතු කරැණකි. බොහෝ ලේඛකයන් මේ සම්මානය ඉලක්ක කරගෙන වර්ෂයකට එක බැගින් නවකතා ලියූ බවට චෝදනාවක් ද එල්ල වී තිබේ. මාර්ටින් වික්‍රමසිංහ, කේ. ජයතිලක වැනි විශිෂ්ට ලේඛකයන් නවකතාවක් ලිව්වේ වර්ෂ කිහිපයකට වරකි. ඔවුහු එක් නවකතාවක් ලිවීම සඳහා වර්ෂ ගණනාවක් ඒ ගැන අධ්‍යයනය කරමින් අත්පිටපත කපා කොටා සංස්කරණය කරමින් කල් ගත කළහ. එහෙත් අද සමහර ප්‍රවීණයන් අතින් පවා බිහිවෙන සමහර කෘති හදිස්සිනේ ලියූ බව පැහැදිලිවම පෙනෙන අවස්ථා තිබේ. සමහරු කරන්නේ පරිගණක ඔස්සේ ටයිප් කළ පළමු අත්පිටපතම මුද්‍රණය සඳහා ප්‍රකාශයට යැවීමයි. රාජ්‍ය සම්මානලාභී, ස්වර්ණ පුස්තක ප්‍රශස්ත කෘති ලියූ ප්‍රවීණ ලේඛිකා කැත්ලීන් ජයවර්ධනට අප කතා කළේ සාහිත්‍ය වසන්තයත් සමඟ බහුලව නිකුත් වන නවකතා සහ ස්වර්ණ පුස්තකය ගැන ඇයට දැනෙන අදහස දැන ගැනීමටයි.

හැමදාම සැප්තැම්බර් මාසය ළංවෙන කොට දන්නා කියන අය මගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. මේ සැරේට පොතක් ලිව්වේ නැද්ද කියලයි ඒ අය අහන්නේ මේ ප්‍රශ්නය එක අතකින් හාස්‍යජනකයි. තව පැත්තකින් කනගාටුදායකයි. ඒත් ඉතින් අද දවසේ යථාර්ථය තමයි ඒ. අද අපට කියවන්න ලැබෙන ස්වතන්ත්‍ර නිර්මාණ බහුතරයකින් මේ තත්ත්වයේ ප්‍රතිඵලනය දකින්න ලැබෙනවා කියන එකයි මගේ අදහස. කුසලතාව එහෙම නැත්නම් අපූර්වත්වය වර්තමාන නවකතාවකින් මම විඳලා තියෙන්නේ ඉතාම කලාතුරකින්. විවිධ ශිල්ප හරඹ, විවිධ ආකෘති එක්ක ගනුදෙනු කරන නූතනවාදී (එසේ යැයි කියන) ලේඛක ලේඛිකාවන්ගේ නවකතාවක් වුණත් හුඟක් වෙලාවට අපිව අල්ලගන්නේ නෑ. මම හිතන්නේ ඒක තමයි සරල හා නිවැරදිම වචනේ. අල්ලා ගැනීම... නැත්තේම ඒක.

අවුරුදු පනහකට කලින් මාර්ටින් වික්‍රමසිංහ, ජී. බී. සේනානායක, කේ. ජයතිලක, ගුණදාස අමරසේකර වැනි ලේඛකයන් ලියූ පරණ පොතක් අතට අරන් මැද්දෙන් පෙරළා බැලුවත් දිගින් දිගට කියවාගෙන යන උත්තේජනයක් අදටත් ඇතිවෙනවා කියලයි මට නම් හිතෙන්නේ. මීට හේතුව ඔවුන් පෑන අතට ගත්තේ ලියන්න තරම් වැදගත් දෙයක්, අපූරු වස්තු බීජයක් තිබුණ නිසා වීම කියලයි මම කල්පනා කරන්නේ. අද තත්ත්වේ ඊට වෙනස්. පොත් වසන්තයට පොතක් එළිදක්වන්න ඕන කියන අදහසිනුයි දැන් මේ වැඩේ කෙරෙන්නේ.

සාහිත්‍යය නොතකා හැරුණ කාලයක සාහිත්‍යයට උත්කර්ෂවත් කලඑළියක්, පිළිගැනීමක් ලැබුණේ ස්වර්ණ පුස්තක සම්මානය නිසයි කියන එක අපට පිළිගන්න වෙනවා. ඒත් සාහිත්‍යයේ ප්‍රගමනයට ඒක හේතු වුණා ද කියන එක නම් තරමක ප්‍රශ්නයක්. මම හිතන විදිහට ස්වර්ණ පුස්තක වගේම වෙනත් සාහිත්‍ය සම්මාන උත්සව සංවිධායකයනුත් මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු වෙන්නේ සාහිත්‍ය සම්ප්‍රදානයන් (නිර්මාණ සාහිත්‍ය වගේම විචාර පැත්තෙනුත්) කරපු අය කියලයි. බැලූ බැල්මට නම් එහෙම අය අවමයි.

සම්මානයෙන් පිදුම් ලබන කෘතිය පාඨක රසවින්දනයට හේතු නොවනවා නම් පාඨකයා අවදි නොකරනවා නම් අනුක්‍රමයෙන් පිරිහෙන්නේ කියවීමේ රැචියයි. මේ තත්ත්වය භයානක විදිහට වර්ධනය වෙමින් පවතින බවකුයි මට නම් පෙනී යන්නේ. එය ප්‍රිති උත්සව පැවැත්වීමට වඩා ගැඹුරින් සලකා බැලිය යුත්තක්.

ස්වර්ණ පුස්තක ජයග්‍රාහී කෘතිය තෝරාගන්නේ එළඹෙන සෙනසුරාදා රාත්‍රියේ සම්මාන ප්‍රදානයට මද වේලාවකට පෙරදීය. ප්‍රශස්ත කෘති අතරට පැමිණි ලේඛකයන් හැමෝම තමන්ට සම්මානය ලැබෙනු ඇතැයි සිතා සිටිනා බව අපි දනිමු. ඒ අතර එම කෘති කියවූ පාඨකයන්ද තම තමන් කැමති පොතට සම්මානය ලැබෙනු ඇතැයි සිතාගෙන සිටිති. සම්මානය තමන් කැමති පොතට නොලැබුණු විට ඊට එරෙහිව මූණූ පොතෙන් මෙන්ම පුවත්පත් හරහා ද විරුද්ධ මත ප්‍රකාශ කරති. අවි හරඹ පාති.
මේ තත්ත්වය තවදුරටත් දැනගැනීමට අපි කතා කළේ සම්මානනීය ලේඛකයකු වන අනුරසිරි හෙට්ටිගේටය.

ස්වර්ණ පුස්තකයට නිර්දේශ වෙලා තිබෙන නවකතා පහෙන් මම දැනට කියවලා තියෙන්නේ නවකතා තුනයි. ඒ නිසා කෘති පහ ගැන අදහසක් පළ කරන්නේ නැහැ. සම්මානය ලැබෙනතුරැ පොත් ගැන අදහසක් පළකිරීම සුදුසුත් නැහැ.

ස්වර්ණ පුස්තක සම්මානය ගැන කිව්වොත් මේ සම්මානයට මොනතරම් විවේචන තිබුණත් බොහෝ දෙනෙක් තේරුම් අරන් තිබෙනවා මේ සම්මානය නිසා නවකතාව සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් ඇති වුණා කියලා. සම්මානයට පාත්‍ර වන කෘති පහ වටා අලුත් පාඨක පිරිසක් එක්රොක් වෙනවා. එහි ගුණාත්මක පක්ෂය ගැන තවම අධ්‍යයනයක් කරලා නැහැ. විකිණෙන පොත් සියල්ලම කියවනවද කියන එක ගැන අදහසක් මට නැහැ. නමුත් පොත් අලෙවි වීම පිළිබඳව විශාල ප්‍රගතියක් තිබෙන බව පේනවා. මේ වර්ෂයේදීත් සම්මානයට නිර්දේශ වූ පොත් අරභයා යම් කතිකාවක් නිර්මාණය වෙලා තිබෙනවා.

නමුත් සම්මාන සමීක්ෂකයන්ගේ තීන්දු ගැන පසු විපරමක් නැතිවීම ගැටලුවක්. ලංකාවේ ස්වාධීන සම්මාන සමීක්ෂකයන් ඉන්නවාද කියන ප්‍රශ්නය මට තිබෙනවා. ප්‍රකාශකයන්ගේ සංගමයට වගකීමක් තිබෙනවා සම්මානයට පොත් තේරූ සමීක්ෂකයන්ගෙන් ප්‍රශ්න කිරීමේ අවස්ථාව ලබාදීමට. මුලින්ම ඒ සඳහා උත්සාහයක් ගත්තත් ඒක අසාර්ථක වුණා. සමීක්ෂකයන් එයට මුහුණ දීමට ඇති මැලිකම නිසා. ලංකා ලේඛක සංගමය සාහිත්‍ය සංකථන ඔස්සේත් මෙයට උත්සාහ කළත් සමීක්ෂකයන් මෙන්ම ලේඛකයන් ද එයට සහභාගී වීමට උනන්දු වුණේ නැහැ. 

සම්මානයෙන් එළියේ තිබෙනවා ඉතාම හොඳ කෘති. නමුත් ස්වර්ණ පුස්තකයට කර්තෘ ප්‍රකාශන ගන්නේ නැහැ. දැන් ස්වර්ණ පුස්තකය ඒ තත්ත්වයෙන් ඉවත් විය යුතුය. සමහරැ මොකක්හරි ප්‍රකාශක නමක් දාලා පොත් ගහනවා. මේක රැවටීමක්. මේ රැවටීමට හසු නොවිය යුතු බවයි මගේ ඉල්ලීම.

ලංකාවේ පර්යේෂණාත්මක මට්ටමේ නවකතා ඕනෑ තරම් පළවෙනවා. නමුත් ඉන් බොහෝ ඒවා මුල් වටයෙන් හෝ දෙවැනි වටයෙන් හැලිලා යනවා. සම්මානය දෙනවා වගේම සම්මානයෙන් පස්සේ කතිකාවක් ද අවශ්‍යයි.

 කුසුම්සිරි

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00