කොල්ලුපිටියේ Holybelly අවන්හල ගැන ගොඩක් දේවල් අහලා තිබුණට එතැනට ගොඩවෙන්න වෙලාවක් ලැබුණෙම නැහැ. ඒත් පහුගියදාක කොහොම හරි වෙලාවක් හදාගෙන මේ අපූරු තැනට මම ගියා. ඒක ඇත්තටම මටම කියාපු තැනක් වගේ. මම ආස කරන හැම කෑම ජාතියක් වගේම එතැන තිබුණා. බර්ගර්ස්, සැන්ඩ්විච්, පෑන් කේක්, කෝපි වගේ හැමදෙයක්ම.
මේ අවන්හලේ හිමිකාරිනිය වන ෂෙහන්කා කියන විදිහට එයා කැමති විවිධ ආහාර රටාවන්ට අයත් කෑම බීම පොඩි ලාංකික ට්විස්ට් එකක් සමඟ පිළිගැන්වීම තමයි Holybelly අවන්හලේ අරමුණ. විවිධ රටවල්වල ඇය සංචාරය කිරීමේදී ඈට මුණගැසුණු ආහාර අනුව තමයි මෙතැන මෙනුව පිළියෙල වෙලා තියෙන්නෙ.
මෙතැන තියෙන විශේෂත්වයක් තමයි මිල ගණන් සාධාරණ වගේම ගොඩක් ලොකු පෝර්ෂන් එකක් ලැබෙනවා. ඒක ඇත්තට සතුටුදායක දෙයක්. ඒ නිසා මෙතැන තියෙන හැම කෑමක්ම වගේ මම රස බැලුවා. කොහොම වුණත් මගේ හිත නැවතුණේ hot butter cuttlefish ළඟ කිව්වොත් හරියටම හරි. ඒ තරම් රස hot butter cuttlefish දීසියක් මම ජීවිතේට කාලා නැහැ. චීස් සහ බේකන් මැදට දාපු ඉස්සෝ දීසියකුත් මම කාලා බැලුවා.
ෂෙහන්කා මට මෙනුවේ නැති කෑමකුත් හදලා දුන්නා. ඒ තමයි spicy seafood fusilli. ඒක කොච්චර රසවත්ද කියනවා නම් මේ ලියන වෙලාවෙත් මගේ කටට කෙළ උනනවා. Chocolate mess pancake කියන්නෙත් මෙතැන පිළිගන්වන තවත් රසවත් කෑමක්.
දැනගන්න ලැබුණු විදිහට පෑන් කේක්ස්, Malaysian prawn noodle, hot butter cuttlefish, lampreys සහ the Jaffna crab curry තමයි මෙතැන වැඩිම ඉල්ලුමක් තියෙන ආහාර වර්ග.
ධනූ
ඡායාරූප - You’re my favorite