ඛණිජ තෙල් සඳහා හඳුන්වා දී ඇති මිල සූත‍්‍රය මෙරට පොදු ජනතාවට විනයක් වී හමාරය. සූත‍්‍රය හඳුන්වා දුන් දිනයේ සිට අද දක්වා හතර වතාවක් ඉන්ධන මිල ගණන් වැඩි කර තිබේ. මිල සුත‍්‍රය යෝජනා කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. ඛණිජ තෙල් සංස්ථාවේ අලාභ පියවා ගෙන රජයේ අය වැය හිඟය පාලනය ඉන්ධන මිල සූත‍්‍ර යෝජනාවේ අරමුණ විය. ආණ්ඩුව ප‍්‍රශ්න විසඳාගෙන තිබේ. වත්මන් ආණ්ඩුව බලයට පත් කළ ජනතාව ගැටලු රැසකට මුහුණ පා සිටිති. පුරවැසියන්ගේ එදිනෙදා ප‍්‍රශ්නවලට සහන සැලසීම ආණ්ඩුවක වගකීමකි. මෙරටට ආනයන කරන ඉන්ධන ස්ථාවර මිලකට සැපයීමට අපොහොසත් වීම දුර්වලතාවයකි.
ගෙවුම් ශේෂය සම්බන්ධ අර්බුදයක් මතු වූ අවස්ථාවේදී ආණ්ඩුව තාවකාලික විනිමය සංචිතයක් මෙරටට ඉල්ලා සිටි අතර එය අනුමත කළ මූල්‍ය අරමුදල රජයේ ආදායම වැඩි කරගැනීම සඳහා වහා පියවර ගත යුතු බව නිර්දේශ කළේය. ඛනිජ තෙල් මිල සූත‍්‍රය එයින් එකකි. විදුලිය මිල සූත‍්‍රය, සහනාධාර අඩු කිරීම, බදු නැංවීම, පෞද්ගලීකරණය හා ආයෝජන හිතකර ප‍්‍රතිපත්ති සකස් කිරීම වැනි තවත් යෝජනා මූල්‍ය අරමුදල ඉදිරිපත් කර ඇත. විනිමය සංචිතය වාරික වශයෙන් ලබා දුන් මූල්‍ය අරමුදල එය නිකුත් කරන වාරයක් පාසා අරමුදල නියම කරන ලද නිර්දේශ අනුගමනය කරනවාදැයි සොයා බලයි. මූල්‍ය අරමුදලේ බලපෑම ඉතාම තියුණු මුහුණුවරක් ගෙන ඇති බව මෙයින් අනාවරණය කරයි. ජනතාව ජීවත් කරන්නට බලයට පැමිණි ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවනත වී තිබේ. එය ඉතා නරක ස්වභාවයකි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රවීණ ස්වාධීන නියෝජිතයකු වන ජුවාන් පබ්ලෝ නොබෝදා මෙරටට පැමිණි අතර ඔහු විදේශ ණය හා මානව හිමිකම් ගැන අවධානය යොමු කරන විශේෂඥයකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ‍්‍රී ලංකාවට පනවා ඇති පීඩනය සාධාරණ නැති බව හෙතෙම පෙන්වා දී තිබේ. බලශක්ති හා කෘෂි අංශයේ සහන අඩු කිරීම සහ තෙල් මිල සූත‍්‍රය මෙරට ධීවර, කෘෂිකාර්මික අංශයෙහි ජන කොටස්වලට හා ග‍්‍රාමීය ජනතාවට තදින් බලපා ඇති බව ඔහු අවධාරණය කරයි. දරුණු කොන්දේසි වෙනුවට දළ දේශීය නිෂ්පාදිතය වැඩි කරගත හැකිව තිබුණි. ආණ්ඩුව එසේ කර නැත. ආරක්ෂක වියදම් අඩුකරගෙන හෝ ණය ලබාගෙන ඇති සංවිධාන සමඟ නැවත ඒවා ප‍්‍රතිව්‍යූහගත කිරීමකින් පොදු ජනතාවට අත්වන පීඩනය අවම වනු ඇති බව එක්සත් ජාතීන්ගේ නියෝජිතයා පෙන්වා දී ඇති වැදගත් කරුණකි. ලෝකයේ වෙනත් තැනකින් එන පිටස්තරයන් මෙරට ජනතාව ගැන සිතන තරමට මෙරට මැති ඇමැතිවරුන් ජනතාව ගැන තකන්නේ නැත. පනවන ඕනෑම මිලකට ඉන්ධන මිල දී ගෙන ආණ්ඩුව කියන ආකාරයට ජීවත්වනු ඇතැයි අපේක්ෂා කරන බව පෙනේ.
ආණ්ඩුව සිය වියදම කළමනාකරණය කර ගත යුතුය. මෙරට නිෂ්පාදන නංවන වැඩපිළිවෙළක් අනුගමනය කරන්නට අවශ්‍යය. ආයෝජන වැඩි කරගත යුතුය. කර්මාන්ත හා සේවා බහුලවන විට ආදායම වැඩිකරගත හැකිය. අනවශ්‍ය වියදම අඩු කරගැනීම වෙනුවට ජාත්‍යන්තර ප‍්‍රදානක ආයතනවල ණය ගැනීමට නැඹුරු වූ වත්මන් ආණ්ඩුව ‘‘නීල හරිත ආර්ථිකයක්’’ මතු පිටින් පෙන්වන නමුත් ජනතාව මත බරපතළ සූත්තර පනවන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. විශාල ආර්ථික සහ සමාජ පරිවර්තනයක් අපේක්ෂා කළ පොදු ජනතාව ආණ්ඩුවේ වැඩට පිළිවෙළ අසාර්ථක බව පිළිගනිමින් සිටිති. අලුත් දර්ශනයක් ඉදිරිපත් කරන්නට අසමත් වූ වත්මන් ආණ්ඩුව පරණ ව්‍යූහයේ කොටු වී ඇත. එය අවාසනාවන්ත තත්ත්වයකි. තම පෞද්ගලික වැටුප්, දීමනා හා වරප‍්‍රසාද වෙනුවෙන් නිර්ලජ්ජිතව පෙනී සිටින මෙරට දේශපාලනඥයෝ සිය අසාර්ථකත්වය මහජනතාව වෙත පවරන්නට පටන්ගෙන සිටිති. ඛණිජ තෙල් මිල සූත‍්‍රය එකී බරපතළ අසාර්ථකත්වයේ කදිම පිළිබිඹුවකි. අධික බදු පැනවීමෙන් එය වඩාත් අවලස්සන කර තිබේ.
ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නිවේදනය අනුව පෙට‍්‍රල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 86.10කි. ඩීසල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 81.74 ක් වී තිබේ. මෙම මිල ගණන් සුළු වෙනස්කමක් බව පිළිගත යුතු නමුත් ඉතාම දරුණු හෝ රටකට දරා ගත නොහැකි මිලක් නොවේ. අදට වසර දහයකට පෙර රට තුළ යුද ගැටුම් පැවැති වකවානුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉතාම ඉහළ තැනක පැවැති බව මෙහිදී මතක් කළ යුතුය. එවකට බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 160 ක් විය. එකල රට තුළ අලෙවි කරන ඉන්ධන මිල ඉහළ මටට්මක තිබුණ බව ද ඇත්තකි. නමුත් අද ලෝක වෙළඳපොළේ පවතින මිලට වඩා එදා දෙගුණයක් වැඩි ඉහළ පැවැති බව අමතක කළ යුතු නැත. වරින් වර කරන මිල උච්ඡාවචනය වෙනුවට සාමාන්‍ය මිල මට්ටමක් මෙරට පාරිභෝගිකයන්ට පවත්වාගෙන ගියේය. මිල සූත‍්‍රය අනුව මෑත මාස හතර එනම් මැයි 10 සිට සැප්තැම්බර් 10 දක්වා හතර වතාවක් මෙරට අලෙවි කරන තෙල් මිල නංවා තිබේ. සාධාරණ සාමාන්‍ය මිල වෙනුවට ඇත්ත මිල පෙන්වීම සුදුසු බව මූල්‍ය අරමුදල ආණ්ඩුවට ඒත්තු ගන්වා ඇති නමුත් වරින් වර කරන මිල වෙනස්කම්වල බලපෑමක් වශයෙන් රට තුළ නිතිපතා සිදුවන භාණ්ඩ හා සේවා මිල විකෘතිය දරුණු පීඩනයක් ඇති කර තිබේ.
ඉන්ධන ආනයනය මත නඩත්තු යැපෙන ශ‍්‍රී ලංකාව වැනි රටවල් තෙල් මිල හමුවේ අර්බුදයක බව පිළිගත යුතුය. ලෝක වෙළඳපොළේ සිදුවන සුළු මිල වැඩිවීම් දරාගත හැකි ආකාරයේ මූල්‍ය ආරක්ෂණ පද්ධතියක් රටට අවශ්‍යය. අඩු වශයෙන් මෙරටට ඉන්ධන ආනයනයේදී රජය අය කරන බදු අඩු වැඩි කරන යාන්ත‍්‍රණයක් නුසුදුසු මන්දැයි සොයා බැලිය යුතුය. රටට ඉන්ධන ගෙන්වන විට බදු වර්ග හතරක් අය කෙරේ. ලෝක වෙළඳපොළේ මිලට තෙල් අලෙවි කරන කතාව මිත්‍යාවකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියමය ලෝක වෙළඳපොළේ මිලට විකිණීමය. ආනයන බදු, එක්සයිස් බදු, වරාය හා ගුවන්තොටුපොල සංවර්ධන බදු හා ජාතිය ගොඩනැගීමේ බදු අය කරන්නේ ඇයි? නියම මිලට විකුණන බව කියන ආණ්ඩුව පෙට‍්‍රල් ලීටරයකින් රු. 66.57 ක් බදු අය කර රු. 5.54 ක ලාභයක් ලබන බව අනාවරණය වී තිබේ. මෙරටට ගෙන්වන විට රු. 86.98 ක් වන ඩීසල් ලීටරයකින් රු. 34.30 ක් බදු අය කර තවත් රු. 2.16 ක් ආණ්ඩුව ලාභ ලබන බව සඳහන් කර ඇත. බදු ඉවත් කළහොත් රුපියල් 77.48 කට පෙට‍්‍රල් මෙරට විකිණිය හැකි බව ඛනිජ තෙල් අමාත්‍යවරයා ඉකුත් වසරේ දෙසැම්බර් 08 වැනිදා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. අද මිල ගණන් අනුව එය රුපියල් කිහිපයකින් වැඩි විය හැකි අතර ආණ්ඩුව පතුරවන ලෝක වෙළඳපොළේ මිල යැයි කරන සඳහන් අසත්‍යයක් බව එයින් තවදුරටත් පැහැදිලිය.
විනිමය සංචිත දුර්වල බව ප‍්‍රකාශ කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තාවකාලික ණය සංචිතයක් ලබා ගත් වත්මන් ආණ්ඩුව කිසිම ලජ්ජාවක් රහිතව එම විනිමයවලින් මැති ඇමැතිවරුන්ට අති සුඛෝපභෝගී වාහන ආනයනය කරමින් සිටින බව පෙන්වා දිය යුතුය. පසුගිය මාස හය තුළ වාහන ආනයනය ඉතාමත් අවශ්‍යයෙන් පාලනය කළ යුතු විදේශ විනිමය සුපිරි වාහන ආනයනයට වැය කරන අතර ඒවායේ වියදම අධික බදුවලින් පියවමින් සිටී. මැති ඇමැතිවරු අති නවීන වාහන බදු රහිත ආනයනයට පියවර ගන්නා විට ඒවා අනුමත කරන නිලධාරීහු ද බදු රහිත පහසුව යටතේ වාහන ගෙන්වන බව පෙනේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු අනුව මෙම වසරේ මුල් මාස හය තුළ වාහන ආනයනය පමණක් කලින් වසරේ සමාන කාලයට වඩා සියයට 121 කින් ඉහළ ගොස් තිබේ. උග‍්‍ර විනිමය හිඟයක සිටිය දී වාහන ආනයනයට කරන ඩොලර් වියදම මහ බැංකු අධිපතිවරයාගේ කනස්සල්ලට ද හේතු වී තිබුණි.
ශ‍්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ කිසිම රටකට බොරතෙල් මිල වෙනස්වීම දරා ගත නොහැකිය. ඉන්දියානු විරෝධතා පසුගිය දින කිහිපය තිස්සේ දැකගත හැකිවිය. ජර්මනිය, හයිටි, මෙක්සිකෝ, යුරෝපා රටවල වැසියන් ද ඉන්ධන මිල අඩු කරන සේ විරෝධතා දක්වනු දැකගත හැකි විය. ජනතාව වෙත මිල කෙළින්ම පවරනු වෙනුවට ගත හැකි විකල්ප ක‍්‍රියාමාර්ග ගැන ලෝක නායකයන් අවධානය යොමු කරන බව පෙනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි හැර වෙනත් අදහසක් මෙරට පාලකයන්ට නැත.
♦ ගාමිණී සරත් ගොඩකන්ද
වෙන්න යන දේ?
► ඉන්ධන මිල සූත‍්‍රය හඳුන්වා දුන් 2018 මැයි මාසයේ සිට සැප්තැම්බර් 10 වැනිදා කරන ලද මිල සංශෝධනය දක්වා අවස්ථා හතරක දී මෙරට අලෙවි කරන තෙල් වර්ග මිල වැඩි කර ඇත. පෙට‍්‍රල් මිල රුපියල් 13 කින් හා ඩීසල් මිල රුපියල් 14කින් වැඩිවී ඇති බව දැක්වෙයි.
► ඉන්ධන මිල වැඩිවීම එදිනෙදා ජන ජීවිතයට බලපාන ප‍්‍රශ්නයකි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට යන වියදම ඉහළ යාම වැලැක්විය නොහැකිය. කෘෂිකාර්මික ප‍්‍රදේශවල සිට භාණ්ඩ ප‍්‍රවාහනය කරන ලොරි ඒවායේ ගාස්තු නැංවීම පදනම් කරගෙන සියළු ආහාර ද්‍රව්‍ය මිල වැඩි විය හැකිය.
► පාසල් සිසු ප‍්‍රවාහන සේවා සිය ගාස්තු සියයට පහකින් වැඩි කරන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.
► ඔක්තෝම්බර් 01 දා සිට දුම්රිය ගාස්තු සියයට 15 කින් නංවන බව දක්වා ඇත. දුම්රිය සේවයේ අලාභ පියවා ගැනීම හා ඉහළ යන ඉන්ධන මිලට විකල්පයක් වශයෙන් මෙම ගාස්තු සංශෝධනය සිදුවනු ඇත.
► බස් ගාස්තු සියයට දහයකින් නැවිය යුතු බව සමස්ථ ලංකා බස් සමාගම් සම්මේලනය නිවේදනය කර තිබේ. කැබිනට් මණ්ඩලය සියයට 12.5 කින් බස් ගාස්තු වැඩි කිරීම පසුගිය මැයි මාසයේ දී අනුමැතිය දුන් අතර එය වාර්ෂිකව සිදුවන ගාස්තු සංශෝධන එකඟතාවය අනුව සිදුවිය.
► ජල ගාස්තු වැඩි කිරීම ගැන අමාත්‍යංශ අවධානය යොමු වී ඇත. පවතින නියඟය සමග ජල පරිභෝජනය සියයට විස්සකින් ඉහළ ගොස් තිබේ. ජලය පිරිසිදු කිරීමේ හා බෙදාහැරීමේ පිරිවැය පාලනය කරගැනීම දුෂ්කර බව වාර්තා වෙයි. දිස්ත‍්‍රික්ක දහ හතක වැසියන් ලක්ෂ දෙකමාරක් ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටිති. ජලය සොයමින් යතුරුපැදි හා කුඩා වාහනවලින් ගමන් කිරීම සුලබ දර්ශනයකි. ජලය සොයා යන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට ඉන්ධන මිල වැඩි කිරීම තවත් බාධකයක් වී තිබේ.
► වී අස්වැන්න ලැබෙමින් පවතින කලාපවල වී කිලෝ තුන් දහසක් බැගින් මිල දී ගැනීමට රජය පියවර ගෙන ඇත. මෙම වී ප‍්‍රවාහනය සඳහා වියදම දෙගුණයකින් වැඩිවී ඇතැයි ගොවීහු මැසිවිලි නගති. ගොවිපොළේ සිට අලෙවි මධ්‍යස්ථානය දක්වා ප‍්‍රවාහනයට වාහන හිමියන් නොසිතන මිල අය කරන අතර තෙල් මිල වැඩිවීම හෙයින් අන් විකල්පයක් නැති බව වාහන හිමියෝ දක්වන බව අනාවරණය වෙයි.
► ඉන්ධන මිල ගණන්වල නිතර සිදුවන වෙනස්කම දෛනික ව්‍යාපාර මෙහෙයුම්වලට බලපා ඇති අතර වාර්ෂික පිරිවැය ඇස්තමේන්තු අවුල්වීම කර්මාන්ත හා සේවා අංශවලට බලපා ඇති බව ප‍්‍රධාන පෙලේ කර්මාන්තකරැවෝ දක්වති.