නිතර සිදුවන ග්‍රහයන්ගේ චලන ස්වභාවය ජීවීන්ගේ පැවැත්ම කෙරෙහි ඍජුවම බලපැවැත්වුවත් එය අභිබවා යන්නට තරම් මිනිසාගේ මනස ශක්තිමත්ය. මිනිස් මනස තරම් ප්‍රබල තවත් දෙයක් මිහිපිට නොමැත. සියලුම ග්‍රහ බලපෑම් මිනිසාගේ බුද්ධියට යටත් කළ හැකිය. මිනිස් ජන සමාජයක ඔවුන්ගේ ක්‍රියාකාරකම් හරහා පරිසරයක් නිරතුරුවම නිර්මාණය කරමින් සිටියි. සංස්කෘතිය, දේශපාලන පක්ෂ, පාර්ලිමේන්තුව, මැතිවරණ, නීති, ව්‍යවස්ථා යන මේවා මිනිසාගේ නිර්මාණයන්ගෙන් කිහිපයකි. මැතිවරණයකින් බලයට පත්වන දේශපාලන පක්ෂයක පිරිසක් පාලකයන් හැටියට ජනතා සේවය සඳහා පාර්ලිමේන්තුවට යාම එහි සම්මතයකි. නිර්මාණය කරගත් ව්‍යවස්ථානුකූලව නියම කරගත් දිනයක මැතිවරණ පැවැත්වීමද සකස් කරගත් නීතියට අනුව සිදුවන්නකි. මිනිසුන් විසින් ගොඩනගන ලද එවැනි පරිසරයකට ග්‍රහයන්ගෙන් නිරන්තරව ගොඩනැගෙන පරිසරයෙන් ලැබෙන සංඥා නිසා එහි පැවැත්ම කෙරෙහි යම් යම් බලපෑම් ඇතිවන ආකාරය දකින්නට හැකි විද්‍යාවක් වන්නේද ජ්‍යොතිෂයයි.
රටක සිදුවන දුර්භීක්ෂ, ප්රචණ්ඩකාරීත්වය, ආර්ථික අර්බුද, කෝලාහල, උද්ඝෝෂණ හා වැඩවර්ජන, මේ ආදී දේ සිදුවන්නේ එම රටෙහි ජීවත්වන ජනතාව නිර්මාණය කරගත් පරිසරය හා ග්‍රහයන්ගේ සංඥා අතර ඇති සම්බන්ධයකින් බව ජ්‍යොතිෂයට අනුව කිව හැකිය. මේ වනවිට ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා දේශපාලන පොරපිටියට අවතීර්ණ වන අයගේ නාමයෝජනා ලබාගන්නට ඇති සුදුසුකම නම් මූල්‍යමය වත්කම පමණි. රටක් යහමඟට ගැනීම සඳහා ඔහුට ඇති හැකියාව කෙරෙහි කිසිදු සුදුසුතාවයක් අවශ්‍ය නැත. ජනතාවද එවැනි දේශපාලන පක්ෂවලට බෙදී ගහමරාගනිමින් අනේකවිධ දුක් විඳිමින් එය ඇති එකම සැප යැයි සිතමින් කල් මරති. ඒ ශ්‍රී ලංකාවේ වර්තමාන ජන සමාජය විසින් නිර්මාණය කර ඇති පරිසරය වේ. එය කොතරම් දුරට යා හැකිද යන්න අවිනිශ්චිතය.
ගොවිතැන හා කර්මාන්ත මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් සමඟ කෝපය, සල්ලාලකම, ප්රචණ්ඩත්වය හා උද්ඝෝෂණ ආදියට නිවේදකත්වය දක්වන්නේ අඟහරු ග්‍රහයාය. වසර 48කට පසු වැඩිම කාලයක් අඟහරැ තම උච්ච රාශියේ 2018 මැයි මාසයේ සිට නොවැම්බර් දක්වා වූ කාල පරාසයෙහි ගතකිරීම නිසා අපේ රටේ කෘෂිකර්මාන්තයේ හෝ වෙනත් කාර්මික අංශයේ විප්ලවයක් ඇතිවූවාද, නොඑසේ නම් උද්ඝෝෂණ, ප්‍රචණ්ඩකාරී කැරළි කෝලාහල ආදිය ඇතිවූවාදැයි අවබෝධ කරගත් කල්හි, ජන සමාජය විසින් පවත්වාගෙන එනු ලැබූ පරිසරයට අඟහරු ග්‍රහයා දැක්වූ සහයෝගය කොයි ආකාරයෙන්ද යන වග වැටහෙනු ඇත.
සම්මත කරගත් කාලයකදී පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වන්නට සැලසුම් කර තිබුණත් ජනතාවගේ උද්ඝෝෂණ හමුවේ හෝ විධායකයේ අණ පරිදි ඕනෑම අවස්ථාවක මහ මැතිවරණය පවත්වන්නට හැකියාවද ඇත. එහිදී පවතින ග්‍රහචාරය එයට දායකත්වයද සපයයි. ඒ අනුව 2019 සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන මොහොතේ පවතින ග්‍රහචාරය සහ වත්මන් ජනාධිපතිගේ හා අගමැතිගේ වර්ෂපල් කේන්දර සටහන් උපයෝගී කරගනිමින් ඒ පිළිබඳව බොහෝ කරුණු අනාවරණය කරගන්නට හැකිවේ.
රනිල් වික්‍රමසිංහ මහතාගේ 70 වැනි ජන්ම දිනය සමරණ මොහොතේ ග්‍රහ බලය ඉතාමත් දුර්වල බවක් ඇති කරයි. 2019 මාර්තු 24 උපන් දිනය සමරණ මොහොතේ පවතින ග්‍රහ චාරය සැලකිල්ලට ගෙන අනාවැකි කියන තාජික ජ්‍යොතිෂ ක්‍රමයට අනුව වර්ෂාධිපති ගුරු ග්‍රහයා එතුමාගේ උපන් කේන්දරයේ නීච වී ඇත. එසේම දළ වශයෙන් දිනකට කලා 5ක් ගමන් කරන මුන්ථ ස්පූඨය 12 වැන්නේ සෙනසුරැ සමඟ සංයෝගවද ඇත. මෙයින් කියවෙන්නේ 2019 වර්ෂය එතුමා ආවේගශීලීව කටයුතු කරන අතර කලකිරීම් ඇතිවීම මෙන්ම එතුමාට බොහෝ දෙනාගෙන්ම විරෝධතාවයන් ඇතිවන බවයි. මෙම ග්‍රහචාරයට අනුව තත්ත්වයේ පහත වැටීම් සිදුවනවා පමණක් නොව චෝදනා අපවාද විඳින්නටද සිදුවෙයි. එසේම රජ සහමය හා 10 වැන්න අධිපති අතරේ %ඊශර්ප^ නම් යෝගය පැවතීම බලය අහිමිකරන බවක්ද පෙන්වයි.
2018 සැප්තැම්බර් 3 වැනි දිනට ජනාධිපති සිරිසේන මහතාගේ 68 වැනි වර්ෂ උදා කේන්දර සටහනට අනුව ඉතා ප්‍රබල ග්‍රහ පිහිටීමක් විය. වර්ෂාධිපති රවි ඉතා බලවත්ව 10 වැනි භාවයේ හෙවත් රාජ්‍ය බලය නිවේදනය කරන භාවයේ තැන්පත් වී ඇති අතර වර්ෂාධිපති රවි ග්‍රහයා රාජ්‍ය සහම අධිපති ගුරු ග්‍රහයා සමඟ ඉත්ථශාල යෝගයක් පවතින නිසා ජනතා ආකර්ශනය හා තම බලය වර්ධනය කරගැනීමට සමත් වෙයි. යහපත් ප්‍රතිචාරද, සතුරන් පරාජය කිරීමටද, උසස්වීම්ද, දරුවන්ගේ දියුණුවද ගෙන දෙන වසරකි. 2018 සැප්තැම්බර් සිට 2019 සැප්තැම්බර් දක්වා බලපවත්වන එම ග්‍රහචාරය තුළ අවාසනාවකට ඇත්තේ මුන්ථ අධිපති කුජ ජන්ම කේන්දරයේ නීචවීමයි. ඒ හේතුවෙන් බොහෝ කරදර මධ්‍යයේ ජයග්‍රහණ අත්කරගන්නට හැකිවෙයි.
2019 සූර්ය සංක්‍රාන්ති මොහොතේ පවත්නා ග්‍රහචාරයේ නැකැත් අධිපති බුධ නවවැන්නේ නීචවීම රටේ අවුල් වියවුල් බොහෝ ඇතිකරන අතර බුද්ධිමතුන් රට හැරයාමේ වැඩි ප්‍රවණතාවයක්ද දක්නට ලැබෙයි. දේශපාලන ක්ෂේත්රයේ අලුත් චරිත බිහිවන කාලයක් ඉදිරියේදී දැකගන්නට ලැබෙනු ඇත.
සාමවිනිසුරු ජ්‍යොතිෂ විඥානාචාර්ය ඩබ්ලිව්. තිලක් ද සිල්වා