යහපාලන ආණ්ඩුව පත්වී අවුරුදු තුනක් මේ වනවිට ඉක්ම ගොස් ඇත. පටන් ගත් දා සිට මෙකී යහපාලන ආණ්ඩුව අහපු බැණුම්වල ප්‍රමාණය ගත්විට ඉතිහසයේ කිසිම ආණ්ඩුවක් මෙතරම් දොස් අසා නැතැයි කෙනකුට කිව හැක. දවසින් දවස ඉදිරියට යාම වෙනුවට දවසින් දවස ආණ්ඩුව පිරිහෙන තැනටම තල්ලු වුණේ කාගේ වරදක් නිසා දැයි ඇසුවහොත් දිය හැකි පිළිතුර වන්නේ ජනපති අගමැති ඇතුළු සමස්ත ආණ්ඩුවම මේ තත්ත්වයට වගකිව යුතු බව කියාය.
මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතු වී ඇත්තේ දුර්වල ආණ්ඩු බිහිවීම නිසා බව ජනාධිපතිවරයාම පසුගියදා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කීවේය. එසේ නම් දුර්වල ආණ්ඩු හැදුවේ කව්ද, එයට වගකිව යුත්තේ කවුද යන්න මේ කාට කාටත් වඩා රටේ ජනතාව දන්නා දෙයකි. ඒ නිසා ඒ ගැන අමුතුවෙන් කතා නොකර මේ කියන්නට යන්නේ මේ යහපාලන ආණ්ඩුවේ වැරදි ගොන්නකින් නිතර සිදුවන වරද, කිහිපයක් ගැනය.
මාළුවා නහින්නේ කට නිසා, කට ඇරියොත් ඉවරයි, කට නම් චාටර් වැනි යෙදුම් ඉතිහාසයේ පුරාම කීවේ මේ කටේ තියෙන වැදගත්කම තහවුරු කිරීම සඳහාය. සමාන්‍යයෙන් කට පරිස්සම් නොකරගතහොත් බොහෝ වේලාවට බොහෝ දේවල් වරදින්නට වැඩි වේලාවක් ගත වන්නේ නැත. විශේෂයෙන් යහපාලන ආණ්ඩුවටද ඒ දේම සිද්ධ වුණේ තොරතෝංචියක් නොමැතිව හෙල්ලූ කතා සහ ප්‍රකාශ නිසාය.
විශේෂයෙන් මේ යහපාලන ආණ්ඩුව පටන් ගත් දා සිට නොනවත්වා කතාකළ පුද්ගලයකු වූයේ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල්, සරත් ෆොන්සේකා මහතාය. ඔහු ඉතිහාසයේ පටන්ම කට නිසා වැඩ වරද්දා ගත් අයකු, ලෙස සටහන් වී තිබුණේය. ඔහුට හමුදා නිලධාරියකු ලෙස රටක් ආදරය කළත් අවසානයේ දේශපාලනය පැමිණ සිදුකළ යම් යම් ප්‍රකාශ නිසා, හිරේ විලංගුවේ පවා වැටෙන්නට විය. කෙසේ වෙතත් ඔහු යහපාලන රජයේ පිහිටෙන් දියවන්නාව තරණය කළත් ඔහුගේ කටට බ්‍රේක් තිබ්බේ නැත. ඔහු හැමෝටම එකම ආකාරයට බැණ වැදුණු අතර නීතිය හා සාමය අමාත්‍ය ධුරය ලබා නොදුන් නිසා ජනාධිපතිවරයාට පවා ඔහු එළිපිට දොස් කීවේය. ඔහු කෙළින්ම කීවේ තමන්ට දෙන්න ගිය අමාත්‍යධුරයට ජනාධිපතිවරයා කකුලෙන් ඇද්දා යැයි කියාය. බොහෝ දෙනා ජනාධිපතිවරයා විවේචනය කිරීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකළ අතර අවසානයේ අග්‍රාමාත්‍යවරයා කැඳවා ඔහුට අවවාද දී තිබිණි. එයින් පසු ඔහු නිශ්ශබ්ද විය.
එහෙත් වැඩිකල් ගියේ නැත. ඔහුගේ ඉතිහාසය රැඳී තිබෙන යුධ හමුදාවට බැණ වදින්නට පටන් ගත්තේය. හේතුවක් නොමැති වුණත් ඔහු කීවේ යුද හමුදාවේ බලය යුධ හමුදාපතිවරයා විසින් අඩාල කරමින් සිටිනා බව කියාය. මේ නිසා ජාතික ආරක්ෂාව අනතුරේ බවත් කීවේය. වසර තිහක යුද්ධයක් නිමකළ සෙන්පතියකු විසින් මෙවැනි ප්‍රකාශ කිරීම හරහා ජාත්‍යන්තරයට රට අනාරක්ෂිත බව හෙළි කරනවා හැරෙන්නට වෙන දෙයක් දැනෙන්නේ නැත. ඒ නිසා ඔහු කළ ප්‍රකාශය බරපතළ ප්‍රකාශයක් විය. එපමණක් නොව රාජපක්ෂ සමයේදී මීට වඩා ආරක්ෂාව, හොඳට තිබුණු බවද කීවේය. මෙම ප්‍රකාශ හරහා තව තවත් රට කෙරෙහි විදේශිකයන්ගේ විශ්වාසය බිඳී යෑම හැර වෙන දෙයක් වෙන්නේ නැත.
ඔහු අවසානයේ යුධ හමුදාපතිවරයා ඉඩි අමීන් වැනි අයකු බවටද චෝදනා කළේය. දිගින් දිගටම යුධ හමුදාවට ප්‍රහාර එල්ල කළ, නිසා ඔහුට යුධ හමුදාවෙන් පිළිතුරු ලිපියක්ද යොමු කෙරිණි. එහෙත් එයටද සරත් ෆොන්සේකා මහතා ප්‍රහාර එල්ල කළේය. අවසානයේ අද වනවිට ඔහු දරන ෆීල්ඩ් මාර්ෂල් ධුරය ඉවත් කරන තැනට පවා පත්ව ඇත. ඒ නිසා ඔහුට කට පරිස්සම් කර ගන්නා ලෙසට ඉහළින් පවා දන්වා ඇත.
ඊට පසුව වැඩේ වරද්දා ගත්තේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකය. රන්ජන් රාමනායක මහතා ප්‍රසිද්ධියේ අධිකරණයත්, විනිසුරුවරුනුත් විවේචනය කළේය. ඔහු දිගින් දිගටම අධිකරණ පද්ධතියේ බහුතරයක් දූෂිත බව කිව්වා පමණක් නොව එයට මේ අය වගකිව යුතු බවද ප්‍රසිද්ධියේ කීවේය. මේ නිසා අධිකරණ පද්ධතිය ඔහුත් එක්ක පමණක් නොව යහපාලන රජය සමඟද හිත් නොහොඳ විය. අවසානයේ ඔහුට විරුද්ධවද අධිකරණයේ නඩු පැවරනු ලැබීය. මේ වනවිට අධිකරණයේ නඩුව විභාග වෙමින් පවතී. එහෙත් නියෝජ්‍ය අමාත්‍යවරයා තව තවත් අධිකරණය විවේචනය කරමින් සිටින්නේ තමන්ව හිරේ විලංගුවේ දැම්මත් එම විවේචනය නවත්වන්නේ නැති බව දන්වමිනි.
ඔහුගෙන් පසුව ඊළඟට කට වරද්දා ගත්තේ රාජ්‍ය ඇමැතිනි විජේකලා මහේෂ්වරන් මහත්මියය. ඇය රජයේ උත්සවයකදී ප්‍රසිද්ධියේ කීවේ නැවත එල්.ටී.ටී.ඊ. සංවිධානය ආවොත් හොඳ යැයි කියාය. මෙය රටේ ත්‍රස්තවාදයට උල්පන්දම් දීමක් බවත් රට දෙකඩ කිරීමේ අදහසක් බවත් එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලබාදෙන දිවුරුමට පිටින් යාමක් බවත් කියා ඇයට විරුද්ධ පක්ෂයෙන් මෙන්ම ආණ්ඩු පක්ෂයෙන්ද විරෝධතා එල්ලවිය. ඇය පාර්ලිමේන්තුවෙන් ඉවත්කරන ලෙසටද යෝජනා ආවේය. අවසානයේ කථානායකවරයා විසින් නීතිපතිවරයාට දන්වා නීතිපතිවරයා පොලිස්පතිවරයා ලවා පරීක්ෂණයක් ආරම්භ කළේය. එම පරීක්ෂණ වාර්තාව නීතිපතිවරයාට යොමු කිරීමෙන් පසුව ඇයට විරුද්ධව මේ වනවිට නඩු පැවරීමට තීන්දු කර ඇත. ඒත් කට නිසාය.
ඊට කලින්ම කට වරද්දාගත් අයකු වුයේ රවී කරුණානායක හිටපු අමාත්‍යවරයාය. ඔහු බැඳුම්කරේ සිද්ධියේදී සාක්ෂි සහිත “කාරණා දන්නේ නෑ, මතක නෑ කියන්නට” ගොස් වරද්දා ගත්තේය. අවසානයේ සියලු චෝදනා ඔහුගේ ඇඟට කඩා වැටුණු අතර අමාත්‍යධුරයත් අත්හැර දමා යන්නට සිදුවිය. දැන් ඔහුද ඉන්නේ වැට උඩය. නඩු පිට නඩුය.
කාටත් හිනායන ප්‍රකාශ ලබාදෙන පුද්ගලයා ලෙස බස්නාහිර පළාත් මහ ඇමැතිවරයා පත්ව සිටී. ඔහු 650000 ක පුටු ගේන්නට ගොස් වැඩේ අනාගත් විට කීවේ එය 650000 ක් නොවන 640000 ක් බවය. පසුව පළාත් සභාවට කෝටියක දොරක් දමා ඇති බව පසුව අනාවරණය විය. එහෙත් ඔහු කීවේ එය කෝටියක් නොව ලක්ෂ 83 ක් බවය. මේ හතර හිනා යන කතාය. ඒත් කට නිසාය.
මේ ආකාරයෙන් කට වරද්දා ගත් අය බොහොමයක් මේ ආණ්ඩුවේ සිටිති. ඇතැම් අය ලොක්කන්ය. කියන්නේ එකක්ය. වෙන්නේ තවත් එකක්ය. මේ නිසා රටේ පිරිස් බණින්නේ මේ ආණ්ඩුවේ කාටවත් නිශ්චිත මතයක් නැති බවය. කෙසේ වෙතත් ආණ්ඩුවේ අභ්‍යන්තරික ප්‍රශ්න එළියට ගෙන විසඳීමට ගොස් අනාගත් අවස්ථා අනන්ත අප්‍රමාණ ඇත. සාමාන්‍යයෙන් ආණ්ඩුවක සාමුහික වගකීම සීයට සීයක් තිබිය යුතු වුවත් මේ ආණ්ඩුවට සීයට එකක්වත් නැත. ආණ්ඩුවේම පිරිස් ප්‍රහාර එල්ල කරන්නේ ආණ්ඩුවටමය. මෙයින් සිදුවන හානිය කිසිවකුට වැටහෙන්නේ නැත.
කෙසේ වෙතත් තොරතෝංචියක් නැතිව සිදුවන මේ කතාවලට ආණ්ඩුවේම පිරිස් දෙන සහතිකය වන්නේ මෙය ප්‍රජාතන්ත්‍රවාදය බවය. ප්‍රජාතන්ත්‍රවාදය ලෙස ඔවුන් හඳුන්වන්නේ මෙය නම් ආණ්ඩුවක් සිදුකිරීමට ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව ලෝකෙටම උදාහරණයක් ලෙස යහපාලන ආණ්ඩුව පෙන්විය හැක. ඇයි හැමදාම ප්‍රශ්න පිට ප්‍රශ්නය. ඒ සීමාවක් නැති කතා නිසාය.
කෙසේ වෙතත් මේ ආණ්ඩුව තුළ අමාත්‍යවරු කිසිදු ආණ්ඩුවක නොවූ පරිද්දෙන් එළියට පැමිණ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වැඩසටහන් විවේචනය කරති. විශේෂයෙන් ඇතුළත කතාකොට විසඳා ගතයුතු ප්‍රශ්න ඔවුන් එළියට ගෙනවිත් පෙන්වන්නේ රහස් නොමැති බවත් කියන්නට තියෙන දේ යකාට වුණත් කියන බවත් පෙන්වීමටය. එහෙත් ජනතා මුදල් අයාලේ යනවිට, මුදල් ඇස්තමේන්තු දමා වාහන ගෙන්වන විට, කෝටි ගණන් සැප ගන්න මුදල් එහා මෙහා යනවිට ඒක හොඳ නෑ, හරි නෑ, මේක වැරදියි කියන්නට කිසිවකු ඉදිරිපත් වන්නේ නැත. ඒ තියා ඒ ගැන බලන්නේද නැත. එහෙත් රටේ අදාළම නැති ප්‍රශ්නවලදී ඇතැමුන් හැසිරෙන ආකාරය පුදුම සහගතය.
ඇතැම් ඇමැතිවරුන්ගේ ප්‍රකාශ සීයට සීයක් ඇත්‍තය. එහෙත් ඒ දේවල් රටට කියා තේරැමක් තිබේද? නැත. සමස්ත පාලනය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ජනතාව නියෝජනය කරමින් පුද්ගලයකු යැවූ විට ඔහු හෝ ඇය පාර්ලිමේන්තුවේදී වල්පල් දොඩවා එළියට පැමිණ සියලු දෙනාටම ප්‍රහාර එල්ල කරන්නේ ජනතාව පුදුමයට පත් කරමිනි. ඉන්පසු ජනතාව ඒ සිද්ධිය පිළිබඳ අවධානය යොමු කරන අතර එහෙත් ඒ වන විට අපිටත් හොරා ආණ්ඩුව වැරදි පාරේ ගොස්ය. ඒ නිසා ඇතැම් සිද්ධි ගැන අපට පවා ප්‍රශ්න මතු කරන සිද්ධිය.
කෙසේ වෙතත් මේ යහපාලන රජය අද වනවිට රජයේම, ආමාත්‍යවරුන්ගේ ප්‍රකාශ නිසා විවිධ, තැන්වල හිර වී ඇත. එපමණක් නොව විවිධ තැන්වල පටලැවී ඇත. ඇතැම් සිදුවීම් මෙකී ප්‍රකාශ හේතුවෙන් පමණක් ඇති වූ ඒවාය. ඊට හොඳම උදාහරණය සයිටම්ය. නිවැරදි දේ ප්‍රකාශ නොකර, විවිධ දෑ කීමත්, කියූ වැඩ වෙනුවට වෙනත් වැඩ කිරීමත් නිසා මේ වනවිට එයද බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව ඇත.
කෙසේ වෙතත් මේ වැරැද්දෙන් ආණ්ඩුව කවදා ගොඩ එයිද එය නිවැරදි කරගනීද? එය වැදගත් ප්‍රශ්නයකි. එම වැදගත් ප්‍රශ්නය තුළ ආණ්ඩුවේ පැවැත්මද ඉදිරියේ තීන්දු වනු ඇත.
♦ ගයාන් ගාල්ලගේ