2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

සරසවියෙන් අලුත් පොත් 55ක්

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 114

සරසවි ප්‍රකාශන කළමනාකාර අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ හිටපු සභාපති එච්. ඩී. ප්‍රේමසිරි

සරසවි පොත් ප්‍රකාශකයන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සූදානම් වන්නේ කෙසේද?

මෙවර ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රහය අපි තමයි අරගෙන තියෙන්නේ. අපි උපරිමව පාඨකයන්ට පොත් පහසුවෙන් ලබාගත හැකි පරිදි ක්‍රියාත්මක වෙනවා. ප්‍රදර්ශන කුටි කිහිපයක්ම සංවිධානය කර තිබෙනවා.

පොත් ප්‍රදර්ශනය ඉලක්ක කරගෙනම බොහෝ ප්‍රකාශකයන් පොත් නිකුත් කරනවා නේද?

ඔව්. පොත් ප්‍රදර්ශනයේදී පාඨකයන් අලුත් පොත් ලබාගැනීමට කැමතියි. අපිත් මෙවර නවකතා, කෙටිකතා, කවි, විවිධ විෂයයන්වල පොත් 55ක් පමණ අලුතෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒවා අපේ ප්‍රදර්ශන කුටිවලින් පාඨකයන්ට වට්ටම් සහිතව ලබාගැනීමට පුළුවන්.

ඔබ ආයතනයෙන් නිකුත් කරන පොත් ගැන පැවසුවොත්...?

නවකතා පමණක් නෙවෙයි කෙටිකතා, පරිවර්තන කෘති, අධ්‍යාපනික පොත්, ළමා කෘති, ජ්‍යොතිෂ්‍ය පොත්, කවි, ජනශ්‍රැතිය, මනෝ විද්‍යාව ආදී ක්ෂේත්‍ර රාශියක පොත් පළකර තිබෙනවා. නවකතා පොත් වශයෙන් සුනේත්‍රා රාජකාරැණානායකගේ ශ්‍රී කාන්ත, ප්‍රියංකා අමරතුංගගේ ස්වප්නා, විරාජිනි තෙන්නකෝන්ගේ මකරානන්දය, ශමෙල් ජයකොඩිගේ වීන්ස්ගේ උපත, සිතැඟි පවුල (ජයනි සී. පින්නවල), ස්නේහ සංධ්වනි (නිලුක වැලිසරගේ), දම් වයලට් මලක කඳුල (සෙනරත් බණ්ඩාර සුබසිංහ) සඳහන් කළ හැකියි.

පොත් ප්‍රදර්ශනයේදී වැඩිපුරම විකිණෙන පොත් මොනවාද?

ස්වර්ණ පුස්තක සම්මානය ලබපු පොත් තමයි වැඩියෙන්ම විකිණෙන්නේ. මෙවර ස්වර්ණ පුස්තක සම්මානය ලැබුණේ සරසවි ප්‍රකාශනයක් වන සමන් වික්‍රමආරච්චිගේ %අප්පච්චි ඇවිත්^ නවකතාවටයි. ඒ පොතට ඉහළ ඉල්ලුමක් ඇති වේවි. ඊට අමතරව අවසන් වටයට පැමිණි පොත්වලටත් ඉල්ලුමක් ලැබෙනවා.

ස්වර්ණ පුස්තක සම්මානයට අමතරව රජත පුස්තක සම්මානය ගිය වර්ෂයේදී හඳුන්වා දුන්නා. එයට ලැබෙන ප්‍රතිචාර කෙසේද?

මේ අවුරුද්දේ ඉඳන් කවි, කෙටිකතාවලට අමතරව යොවුන් නවකතාවලටත් රජත පුස්තක සම්මානය පිරිනැමෙනවා. වෙනදාට වඩා කවි, කෙටිකතාවලට යොවුන් නවකතාවලට ලොකු ඉල්ලුමක් නිර්මාණය වෙලා තියෙනවා. සම්මානය ලැබෙන පොත්වලට ඉල්ලුම වැඩියි. තව අවුරුදු 2 – 3ක් යනවිට මේ තත්ත්වය තවත් වර්ධනය වේවි.

ස්වර්ණ පුස්තක නිසා නවකතා පළවීම වර්ධනය වුවත් විශිෂ්ට කෘති පළවන්නේ අඩුවෙන් බවට මතයක් තිබෙනවා.

ඔව්. එහෙම මතයක් තිබෙනවා. එහෙම වෙන්නත් පුළුවන්. මුදල් ත්‍යාගයට රු. 750000ක් ලැබෙන නිසා පොත් ලියා සම්මාන ලබාගැනීමට උත්සාහ කිරීමේ ප්‍රවණතාවකුත් තිබෙන බව පේනවා. සමහර ලේඛකකයන්නම් එහෙම වෙන්නේ නැහැ. සුපුරුදු පරිදි කාලය අරගෙන තම ලේඛන කාර්යය කරගෙන යනවා. උසස් කෘති බිහි කරනවා.

ප්‍රකාශකයන්ගේ සංගමය අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කළා. මේ වනවිට එහි ප්‍රගතිය කෙසේද?

පාසල් ළමයින්ට සහ විශ්වවිද්‍යාල සිසුන්ට ලබාදෙන දරු දිරිය ශිෂ්‍යත්ව අපි අඛණ්ඩව ප්‍රදානය කරනවා. මේ වනවිට සිසුන් රාශියකට එය ලබා දී තිබෙනවා. මෙවර පොත් ප්‍රදර්ශනයේ විවෘත කිරීමේ උත්සවයේදීත් තවත් ශිෂ්‍යත්ව හතක් දුන්නා.

පොත් ප්‍රදර්ශනයට පැමිණෙන නරඹන්නන් ඇවිදිමින් සිටිනවා හැරෙන්නට පොත් ගන්නේ අඩුවෙන් බවට සමහරු පවසනවා නේද?

එහෙමම කියන්න බැහැ. සැණකෙළියක් වගේ තැනකට ඇවිදීමටත් සෙනඟ එනවා තමයි. නමුත් එහෙම කියලා පොත් ප්‍රදර්ශනය අවතක්සේරු කරන එක වැරදියි. පොත් තෝරාගෙන පොත් මිලදී ගන්නා අය ඕනෑතරම් ඉන්නවනේ. සාමාන්‍ය සමාජයේ පැතිකඩක් තමයි ඔතනත් තියෙන්නේ.

ප්‍රදර්ශනයට පැමිණෙන නරඹන්නන් සංඛ්‍යාව වසරින් වසර වැඩිවෙනවාද?

ඔව්. එහෙම වැඩිවෙන බවක් පේනවා. ඉදිරිපත් කර තිබෙන ප්‍රදර්ශන කුටි සංඛ්‍යාවත් මදි වෙනවා. මෙවර අපි සම්පූර්ණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයම ලබාගෙන තියෙන්නේ. ප්‍රධාන ශාලාව ඇතුළේ අධ්‍යාපන ප්‍රදර්ශනයක් අපි වෙනුවෙන් පැවැත්වෙනවා. එහිදී රජයේ අනුමත පෞද්ගලික විශ්ව විද්‍යාල වගේ ආයතනවල ප්‍රදර්ශනයක් පැවැත්වීමට නියමිතයි. ප්‍රධාන ශාලාව ලබාගැනීම නිසා වාහන නවතා තැබීමේ පහසුකමත් අපට ලැබෙනවා.

 කුසුම්සිරි

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00