වර්තමානයේදී බෝ නොවන බොහෝ රෝග රැසකට ඉතා ගුණදායක ධාන්‍යයක් මෙන්ම ඖෂධයක් ලෙසින්ද කව්පි හැඳින්විය හැක. කව්පි කෝප්පයක ඇති ගුණය ගත්කල ප්‍රෝටීන් ග්‍රෑම් පහළොවට වැඩිවේ. කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 40, ශක්තිය කිලෝ කැලරි 22.5, කෙඳි ග්‍රෑම් 11.3, විටමින් බී මිලිග්‍රෑම් .28, යකඩ මිලිග්‍රෑම් 4, මැග්නීසියම් මිලිග්‍රෑම් 75, පොස්පරස් මිලිග්‍රෑම් 2ක් ද අන්තර්ගත වේ. මීට අමතරව තවත් බොහෝ පෝෂ්‍ය පදාර්ථයන් කව්පිවල අඩංගුව පවතී.
කව්පිවල වතුරේ දියවන කෙඳි වැඩිපුරම ඇති අතර මෙම කෙඳි කොලොස්ටරෝල් වටා ජෙලටින් වැනි සංයෝගයක් බැඳී කොලොස්ටරෝල් ශරීරයට උරා ගැනීමට වළකාලයි.
කව්පිවල පවතින කෙඳි ස්වභාවය නිසා ආහාරයට ගැනීමෙන් පසුව ශරීරයට සීනි උරා ගැනීම අඩු කෙරේ. කව්පි මඟින් මොළයේ ක්‍රියාකාරීත්වය මනාව පාලනය කෙරේ. මතක ශක්තිය වැඩි කිරීමට උදවු කරයි. විශේෂයෙන් කුඩා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලදී උදවු කරනා ඉතාමත් ප්‍රයෝජනවත් ආහාරයක් ලෙසින් කව්පි හැඳින්විය හැක.
මතක ශක්තිය අඩුකමින් ඇතිවන්නා වූ ඇල්ෂයිමර් රෝගීන්ට මෙන්ම ඩිමෙන්ෂියා රෝගීන්ට ද කව්පි ඉතා ගුණවත් ආහාරයකි. මෙමඟින් එවැනි රෝග අවස්ථා පාලනය කිරීමට ඉතා උපකාරී වේ. කව්පිවල පවතින වැඩි ප්‍රෝටීන් පදාර්ථ හේතුවෙන් නිර්මාංශ අයට ඉතා ගුණදායක ධාන්‍ය වර්ගයක් ලෙසින් හැඳින්විය හැක. සිරුරේ පරිවෘත්ත ක්‍රියාව මනාව පවත්වාගෙන යාමට උපකාරී වේ.
අධික රුධිර පීඩනය ඇති, අධික තරබාරු පුද්ගලයන්ට ද කව්පි ඉතාමත් සුදුසු ධාන්‍ය වර්ගයකි. ජලයේ දිය නොවන ආහාරමය කෙඳි සැලකිය යුතු ප්‍රමාණයක් කව්පිවල අන්තර්ගතව පවතී. මෙමඟින් මළ හොඳින් පිට කිරීමට උදවු දේ. මළබද්ධය ඇති රෝගීන්ට මෙය ගුණදායක වේ. මෙහි අඩංගුව පවතින ප්‍රතිශක්තිකාරක මඟින් ශරීරයේ ලෙඩරෝගවලට ඔරොත්තු දෙන පරිදි ප්‍රතිශක්තිය වර්ධනය කරයි. හිසකෙස්, සම මෙන්ම නියපොතුවලට ගුණදායක වේ.
දිනකට කව්පි කෝප්ප එකහමාරක් පමණ ගැනීමෙන් ආහාර මාර්ගය හොඳින් පිරිසිදු කෙරේ. විෂ ඉවත් කරයි. මහ බඩවැලේ පිළිකා අවදානම අඩු කරයි. කුඩා දරුවන්ට, ගැබිණි මව්වරුන්ට, ක්‍රීඩකයන්ට කව්පි ඉතා ගුණදායක වේ. ආර්තවහරණයෙන් පසු රෝග තත්ත්වයන් ඇති කාන්තාවන්ට මෙය ඉතාමත් සුදුසු ධාන්‍ය වර්ගයකි. ඉරුවාරදය ඇති රෝගීන්ට මෙන්ම හිසකෙස් වැඩීමටත් ඉතාමත් සුදුසු වන කව්පි සන්ධිවල නම්‍ය ක්‍රියාකාරීත්වයට ද මනා රුකුලක් ලබා දේ. එපමණක්ම නොව ඇදුම රෝගීන්ටත් ඉතා ගුණදායක වූ ධාන්‍යයක් ලෙස කව්පි හැඳින්විය හැක.