2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

තරුණකම රකින අස්ථි සවිමත් කරන ජෙලටින්

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1166

ජෙලටීන් ලෙසින් හඳුන්වනු ලබන්නේ වර්ණයකින් තොර වූ සතුන්ගේ අස්ථිවලින් හටගන්නා කොලජින් වර්ගයකි. මෙය ආහාර සඳහාත් ඖෂධ සඳහාත් යොදාගනී. නමුත් බොහෝවිට ජෙලටීන් භාවිත කරනු ලබන්නේ ආහාර සඳහාය. විශේෂයෙන් ජෙලි, ජෙලි යෝගට්, මාෂ්මොලෝස් වැනි අතුරුපස සෑදීමේදී ජෙලටින් වැඩි වශයෙන් යොදාගනී.

මෙය සමට ඉතා ගුණදායක ආහාරයකි. ජෙලටීන්වල සිරුරේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලවලින් සමන්විත මූලික ප්‍රෝටීනයක් අඩංගු වේ. සිරුරේ මුළු ප්‍රෝටීන් ප්‍රමාණයෙන් 25%ත් 30%ත් අතර ප්‍රමාණයක් මෙම ජෙලටීන් මගින් නිපදවනු ලබයි.

ජෙලටීන්වල පවතින ඇදෙන සුළු බව සමේ සෛල අලුත්වැඩියා කිරීමට ඉතා වැදගත් වේ. වර්තමානයේදී පවතින දූෂිත පරිසරය හා විෂ සහිත ආහාර හේතුවෙන් සිරැරේ අනවශ්‍ය විෂ ද්‍රව්‍ය එකතු වේ. මේ නිසා ඉතා ඉක්මනින් වයසට යාම පෙන්නුම් කරයි. නමුත් ජෙලටීන් මගින් එම තත්ත්වය වළක්වාගත හැක. 

වයස අවුරුදු 30න් පසුව බොහෝවිට ශරීරයේ කොලජින් ක්ෂයවීම ආරම්භ වේ. මේ නිසා මේ කාලයේදී වැඩිපුර ජෙලටීන් ප්‍රමාණයක් ආහාරවලට එකතු කර ගැනීම ඉතා වැදගත් වේ. 

ජෙලටීන් යොදවා කරන ලද පර් යේෂණයකට අනුව තරුණ බව රැකගැනීමට කොලජින් නිපදවන සෛල මූලික හේතුවක් වන බව සොයාගෙන තිබේ. සම රැලි ගැසීම වැළැක්වීමට ජෙලටීන් උපකාරී වේ. ජෙලටීන්වල ප්‍රෝලයින් නම් ඇමයිනෝ අම්ලය අන්තර්ගතව පවතී. එය තරුණ බව රුකගැනීමට උපකාරී වේ.

ජෙලටීන්වල සිරුරට අත්‍යාවශ්‍ය ඛනිජලවණ අන්තර්ගතව පවතී. මෙය දත්, නිය සහ හිසකෙස්වලට ඉතා සුදුසු වේ. ජෙලටීන්වල ඛනිජලවණවලට අමතරව කැල්සියම්, පොස්පරස්, මැග්නීසියම් බහුලව පවතී. මෙහි පවතින ග්ලයිසීන් නම් අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලය හේතුවෙන් සිරුරට ඇතුළුවන විෂ ඉවත් කිරීමට උපකාරී වේ. එමෙන්ම තරබාරුව මට්ටු කිරීමටද ජෙලටීන්වලට හැකියාවක් පවතී.

මෙය ආහාර දිරවීම පහසු කරයි. ජෙලටීන් මගින් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ස්‍රාවය උත්තේජනය කරයි. මෙමගින් ආහාර දිරවන ස්‍රාවය වැඩිකර හොඳින් අවශෝෂණය කර මනා පෝෂණයක් ලබාදෙයි.

අස්ථි ශක්තිමත් කරලීමට උපකාරී වේ. ජෙලටීන්වල කොන්ඩ්‍රෙයිටීන් අඩංගුවීම හේතුවෙන් ආතරයිටීස්වලදී ඇතිවන වේදනා, සන්ධි තදවීම් අඩුකර කාටිලේජ නිසි ලෙස පවත්වාගැනීමට උපකාරී වේ. මේ නිසා ආතරයිටීස් රෝගීන්ට ජෙලටීන් ආහාරයක් ලෙසින් වැදගත් වේ.

මීට අමතරව මානසික ආතතිය අඩුකරයි. සිරුරේ සමතුලිතතාවය ඇතිකරයි. තුවාල සුවකිරීමටද ඉතා වැදගත් වේ. අසාත්මිකතා සමනය කරයි. මාංශපේෂීවල නිරෝගීභාවය ඇතිකරයි.