මීට වසර ගණනාවකට පෙර සිට පුරාණ පොත්පත්වල ප්‍රමේහ රෝග පිළිබඳව තොරතුරු සඳහන්ව ඇත. ප්‍රමේහ වර්ගීකරණය, එසේම එම රෝගවල සාධ්‍ය අසාධ්‍යතාවය හා ප්‍රතිකාර විධි පිළිබඳව පැහැදිලිව දත්ත සටහන් කර ඇත. ප්‍රමේහ හට ගැනීමට හේතු සහ රෝගය හටගන්නා ආකාරය (සම්ප්‍රාප්තිය) පිළිබඳව ද පැහැදිලි විවරණයක් එම පොත්පත් පරිශීලනයෙන් ගත හැක.
ඉපැරණි ආයුර්වේදයේ සඳහන් ආකාරයට ආයුර්වේද වෛද්‍යවරයාට ප්‍රමේහ මුල් අවස්ථාවේ හඳුනාගෙන රෝගියාට ප්‍රතිකාර ලබා දීම තුළින් මධුමේහය දක්වා වර්ධනය වීම වළක්වාගත හැක. ඒ සඳහා ආයුර්වේද ඖෂධ හා විහරණ ක්‍රම භාවිතා කරනු ලබයි.
වර්තමානයේදී ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකය පුරා බෝ නොවන රෝග ව්‍යාප්තිය ඉතා සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතී. මේ අතුරින් දියවැඩියා රෝගය ද ප්‍රධාන තැනක් ගනී. කුඩා දරුවන්, තරුණ, මහළු, පිරිස මෙන්ම ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව බහුලව මෙයට ගොදුරු වනු දැකිය හැකිය. මේ නිසා ඇති වී තිබෙන සමාජ ව්‍යාකූලත්වය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් වේ. රටේ පැවැත්මට ජනතාවගේ ශාරීරික, මානසික, නිරෝගී බව ඉතා වැදගත් සාධකයකි. නමුත් මෙම රෝග තත්ත්ව හේතුවෙන් ඒ සියල්ල අඩාල වේ.
දියවැඩියාව නිසි පරිදි පාලනය නොවීම හෘද රෝග, අධි රුධිර පීඩනය, කොලොස්ටරෝල වැඩිවීම නිසා අවසානයේදී අංශභාගය වැනි භයානක රෝග තත්ත්වයක් හට ගැනීම, ස්නායු දුර්වලතා ඇතිවීම, වකුගඩු රෝග හට ගැනීමට ද බොහෝ ඉඩකඩ ඇත.
දියවැඩියා රෝගයක් පෙරළීම නිසා පවුල් සංස්ථාව තුළද විවිධ ගැටලු ඇතිවිය හැක. ලිංගික ජීවිතේදී ඔවුන් මුහුණ දෙනු ලබන ගැටලු නිසා පවුල් සංස්ථාව බිඳ වැටීම, මානසික පීඩාවන්, පෞරුෂය කඩා වැටීම් ආදිය විශාල වශයෙන් දක්නට ලැබේ. ඒ පිළිබඳව අවබෝධයක් ලබා දි එවැනි තත්ත්වයක් වළක්වා නිරෝගී ජනතාවක් බිහි කිරීමට ආයුර්වේද වෛද්‍යවරු නිරතුරුවම උත්සාහ ගනිති. නමුත් බොහෝ දෙනා මේ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාගැනීමට මැලිකමක් දක්වති.
දියවැඩියාව නිසා කාන්තාවන්ට ඇතිවන බලපෑම්
දියවැඩියාව නිසා ස්නායුවලට බලපෑම් ඇතිවීමෙන් කාන්තාවන්ට ලිංගිත උත්තේජන ලබා ගැනීමේ හැකියාව අඩුවන අතර, එමඟින් ලිංගික ක්‍රියාවලියේදී අපහසුතා ඇතිවේ. සුරාන්තයට පත් වීමක් ද සිදු නොවේ.
එසේම ආර්තවභාවය අතරතුර පසුවන කාන්තාවන්ට දියවැඩියාව ඇති වුවහොත් රුධිර සීනි මට්ටමේ ක්ෂණික වෙනස්කමක් සිදුවිය හැකිය. ක්ෂණික රුධිරගත සීනි මට්ටම අඩු වීම නිසා දැනෙන අපහසුතාවය හේතුවෙන් ලිංගික එක්වීම තුළින් සතුටට වඩා වේදනාවක් දැනේ.
එමෙන්ම දියවැඩියාව පවතින විට කාන්තාවන්ට දිලීර ආසාදන, මුත්‍රා වර්ග ආසාදන ආදිය ඇතිවීමට වැඩි ඉඩක් ඇති අතර එමඟන් ලිංගික සංසර්ගය දැඩි අපහසුතා ඇති කරයි.
පිරිමින්ට ඇතිවන බලපෑම
පිරිමි පාර්ශවයට දියවැඩියා ඇතිවීම හේතුවෙන් ටෙස්ටොස්ටෙරෝන් (Testosterone) හෝමෝන මට්ටම අඩුවෙන අතර එමඟින් ලිංගික කාර්යයට බලපෑම් ඇති කරයි.
එසේම රුධිර සැපයුම නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් ලිංගික අවයවයන්ට අවශ්‍ය පරිදි රුධිර සැපයුමක් නොලැබීමත්, ලිංගික ක්‍රියාවලියේදී මොළය හා පවත්වාගත යුතු සම්බන්ධතාවය නොමැතිවීමත් නිසා ලිංගික ක්‍රියාවලියහි අසමත් වීමත් ඇතිවේ.දියවැඩියාව නිසා සිහින් රැධිර නාලිකාවලට හානි සිදුවීම, ස්නායුවලට හානි සිදුවීම නිසා මෙසේ සිදු වේ.
පොදුවේ ගත් කල දියවැඩියා රෝගියකුට නිතර වෙහෙසකර බවක් ඇති වීම ස්වභාවයයි. මීට අමතරව රෝගී වීම නිසා මානසික සෞඛ්‍යය බිඳ වැටීම හේතුවෙන්ද විවිධ ගැටලු පැන නැගීම සිදුවේ. තමා පිළිබඳව ඇතිවන අවතක්සේරුව, කාංසාව, හුදෙකලා බව, ආත්මාභිමානය ගිලිහීම වැනි විවිධ මානසික ගැටලු පැන නැගීමට ඇති ඉඩකඩ වැඩිය.
මෙසේ ඇතිවන්නා වූ තත්ත්වයන් පිළිබඳව නිසි අවබෝධය ඇතිවීම මඟින් රෝගියාට මානසිකව ඇතිවන සීමාව අවම කරගත හැකිය.
මේ සඳහා ප්‍රධානම පිළියම වන්නේ දියවැඩියාව පාලනය කිරීමයි. ඒ සඳහා නිසි වෛද්‍ය උපදෙස් කළ යුතුය. සෑම විටම නියමිත රුධිරගත සීනි මට්ටමක් පවත්වා ගත යුතුය. එය ඖෂධවලින් පමණක් සිදු කළ නොහැකිය.
ඖෂධ මෙන්ම ආහාර විහරණ, ක්‍රියාශීලී ජීවන රටාවක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. එවිට ලිංගික ජීවිතයේදී පැන නගින ගැටලු පමණක් නොව දියවැඩියාව නිසා හටගත හැකි සියලුම සංකූලතා වළක්වා ගත හැකි වනු ඇත. විශේෂයෙන් මෙවැනි රෝගීන් දුම් පානය හා මත්පැන් පානය නතර කිරීම අනිවාර්යය වේ.
මානසික ආතතිය දුරු කරගැනීම සඳහා භාවනා සිදු කිරීම, පොත්පත් කියවීම, ගීතවලට සවන් දීම, යෝගා අභ්‍යාසවල නිරත වීම වැනි කාර්යයන් සිදු කළ හැක.
ආයුර්වේද ඖෂධීය ප්‍රතිකාර මඟින් දියවැඩියාව ඉතා හොඳින් පාලනය කළ හැකි අතර එමඟින් සංකූලතා මඟහරවා ගත හැකිය. ලිංගික ජීවිතයේදී සිදුවන සංකූලතා සඳහා ද ආයුර්වේදයේ ඖෂධ ප්‍රතිකාර ඇති අතර දියවැඩියා හා එයින් ඇතිව සංකූලතා මගහරවා ගැනීම සඳහා සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගන්න.
කුමුදුනී ද සිල්වා
ආයුර්වේද වෛද්‍ය
B.A.M.S (කොළඹ විශ්වවිද්‍යාලය)
සෙත්සුව ආයුර්වේද රෝහල