2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

ඕනෑවට එපාවට කරන පරිවර්තන වැහිවැහැලා

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 151

ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද

ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද පර්වර්තන ක්ෂේත්‍රයට එළඹුණේ ළාබාල වියේදීමය. මේ වනවිට ඇය පරිවර්තන කෘති රාශියක් එළිදක්වා තිබේ. ලෝරා ඉංග්ලර් වයිල්ඩර්, ඉනිඩ් බ්ලයිටන්, කෙවින් බෘෘක්ස්, ට්‍රැසි චෙවලියර්, කාලිඩ් හුසේයිනි ඇතුළු ලේඛකයන් රාශියකගේ කෘති සිංහලට හැරවූ ඇයගේ නවතම ව්‍යායාමය හුසේයිනිගේ Sea Prayer පරිවර්තනයයි.

ඔබේ අලුත්ම පරිවර්තනය ගැන මුලින්ම අපිට කිව්වොත්

Sea Prayer කියන පොත සමුද්ද යාතිකාව යන නමින් තමයි මම පරිවර්තනය කළේ. ලෝකයේ අනෙක් රටවල මුල් කෘතිය නිකුත්වන දිනයටම සමගාමීව ලංකාවෙත් එම පරිවර්තනය නිකුත් කළේ. මම හිතන විදිහට එවැනි අවස්ථාවක් අප රටේ සිදුවුණු පළමු අවස්ථාව තමයි මේ.

ඊට අමතරව තවත් සුවිශේෂී කටයුත්තක් මෙහිදී සිදුවෙනවා නේද?

ඔව්... Sea Prayer කෘතියෙන් ලැබෙන කර්තෘ භාගය එහි කර්තෘ වූ කාලිඩ් හුසෙයිනි (Khaled Hosseini) එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමට සහ කාලිඩ් හුසේයිනි පදනමට පරිත්‍යාග කරනවා. එම පදනමත් සරණාගතයින්ගේ සුබසිද්ධිය සඳහා වැඩකරන ලාබ නොලබන ආයතනයක්. ඉතින් මේ ආයතන දෙකට හුසෙයිනිගේ කර්තෘ භාගය සම්පූර්ණයෙන්ම පරිත්‍යාගය කරනවා. අපිත් අවසරය ගෙන කර්තෘ භාගය ගෙවන නිසා අපෙන් ලැබෙන මුදලුත් මෙයට එකතු වෙනවා. මේ නිසා මේ සත්කාරයට අපිත් හවුල්කරුවන් වෙනවා.

එකම දිනයේ මෙම පරිවර්තනය සිදුකිරීමට එහි අත් පිටපතක් ලබාගත යුතු වෙනවා නේද?

ඔව්... ඒ වෙනකොට ඔවුන්ගේ පොතක් නිකුත් කරලා තිබුණේ නැහැනේ. ලිපියක් විදිහට ලියවුණු Sea Prayer කෘතියෙන් කියවෙන්නේ, පසුදා පාන්දර රටින් පිටවීම සඳහා බෝට්ටුවක් එනතුරු බලා සිටින සිරියානු ජාතික පියෙක් නින්දේ පසුවන සිය පුතුට කියන කතාවයි. මෙය කෙටි ගද්‍ය රචනයක්. මරණීය යුද කලාපයක් බවට පත්වන්නට පෙර සිරියාවේ ඔවුන් ගතකළ නිස්කලංක ජීවිතය ගැනත්, ඒ භයංකාර මුහුදු ගමන පිළිබඳව තමා තුළ ඇති සංත්‍රාසය ගැනත් මේ පියා දරුවාට පවසවා. කාලිඩ් හුසේයිනි Sea Prayer සඳහා ප්‍රස්තුතය කරගෙන ඇත්තේ 2015 වසරේ සිරියාවේ සිට යුරෝපයේ රැකවරණය පතා පලායන අතරේ මධ්‍යධරණී මුහුදේ ගිලී ගොස් පසුව තුර්කි වෙරළ තීරයට මළසිරැර ගසාගෙන ආපු තුන් හැවිරිදි සරණාගත සිඟිත්තා වුණ ඇලන් කුර්දිගේ කතාවයි.

රටවල් කිහිපයකින් මේ පොත පරිවර්තනය කරනවාද...?

ඩෑන් විලියම්ස්ගේ සිතුවම්වලින් අලංකාර වී ඇති Sea Prayer භාෂා තිහකට පමණ පරිවර්තනය වෙලා තියෙනවා. ලංකාවත් ඇතුළුව චීනය, ඕස්ට්‍රේලියාව, රුසියාව, එංගලන්තය වැනි රටවල්වලින් පොත නිකුත් කෙරුණා. ඊට අමතරව කැනඩාව සහ තවත් රටවල් කිහිපයක් මෙම පොත නිකුත් කළා.

Sea Prayer ලියූ කාලිඩ් හුසෙයිනිගේ අනුවේදනීය කතා රටාව ඔබට සිංහලට පරිවර්තනය කිරීමේදී අභියෝගයක් වුණාද..?

හුසෙයිනිගේ මුල් පොත් තුනම මම පරිවර්තනය කරලා තිබුණා. සරැංගල් ලුහු බඳින්නා නමින් එක් පොතක් 2006 වසරේදී පරිවර්තනය කළා. ඒ වගේම මනරම් හිරැ දහසක් සහ කඳුකරය දෝංකාර දුනි කියන අනෙක් පොත් දෙකත් මම සිංහලයට පරිවර්තනය කළා. මුල්ම පොත කරද්දී මට ලොකු අභියෝගයක් වෙන්න ඇති. හැබැයි දෙවැනි සහ තුන්වන පොත් පරිවර්තනය කරද්දී ඔහුගේ රචනා ශෛලිය පිළිබඳව මට අවබෝධයක් තිබුණා.

බහුලව බිහිවන අපේ පරිවර්තන පොත් ගැන මොකද හිතෙන්නේ?

අද වෙනකොට පරිවර්තන පොත් බහුලව මුද්‍රණය වෙනවා තමයි. මගේ මුල්ම පරිවර්තන පොත නිකුත් කළේ 1999 වසරේදී විතර. ඒ වෙද්දී මෙපමණ පොත් සංඛ්‍යාවක් පරිවර්තනය වෙලා තිබුණේ නැහැ. හැබැයි මම අවුරුදු 18ක් පමණ හිටියේ විදෙස් ගතවෙලයි. ඒ නිසා ලංකාවේ පරිවර්තනය වුණු පොත් කියවන්න මට ලැබුණේ බොහෝම සීමිතව ප්‍රමාණයක්. ඒ අතරින් කිහිපදෙනෙක් මේක කැපවීමෙන් කරන කටයුත්තක් කියලා මට පේනවා. ඔවුන්ට හොඳ ලිවීමේ ශෛලියකුත් තියෙනවා. ඒ අතරින් ඇතැමුන් අවුරුද්දකට පොත් වැඩිපුර මුද්‍රණය කරන්න තිබෙන කැමැත්ත නිසාම ඕනෑවට එපාවට පරිවර්තනය කරනවා. පරිවර්තනයක් එහෙම කරන්න බැහැ. ඒකට ලොකු කැපවීමක් මහන්සියකුත් අවශ්‍යයි.

 දිශානි ජයමාලි කරුණාරත්න