ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර - ස්වර්ණ පුස්තක විනිශ්චය මණ්ඩල ප්‍රධානී
කටන්දර, කතන්දර, ජන කතා, බණ කතා ආදී ගද්‍යයෙන් බැඳුණු කතා කලාව පෙරදිග අපරදිග සාහිත්‍ය සංස්කෘතීන්හි විද්‍යමාන වන බැව් අපි බොහෝ දෙන දන්නෙමු. එහෙත් නවකතාව, හුදු කතන්දරයක්මද? නවකතා කලාවට අනන්‍ය ලක්ෂණ පවතීද? නිර්වචන, අර්ථ නිරූපණ රාශියක් උපයා සපයාගත හැකි නොවේද? මනුෂ්‍ය ජීවිතයේ ඉසියුම් තැන්, ප්‍රකට ස්ථාන ස්පර්ශ කරමින් සිද්ධි, අවස්ථා, චරිත නිරෑපණ, සංකේත, වර්ණනා සංවාද මගින් සැකසෙන ආකෘතියක රසබර හරබර අන්තර්ගතය නිර්මාණය වූ නවකතා ලෝකයේ මහරු ජනකාන්ත කලාංගයක් නොවන්නේද? මාර්ටින් වික්‍රමසිංහයන් සඳහන් කොට ඇත්තේ, ඉතා දිගු වසර ගණනක් ජීවත් වීමෙන් කෙනෙකු ලබන පරිචය ජීවිතාවබෝධය, උසස්, ගැඹුරු, රසාලිප්ත නවකතාවක් පරිශීලනය කිරීමෙන් උකහා ගත හැකි බවයි.
ස්වර්ණ පුස්තක සම්මාන ඇගයීම් සඳහා 2018 වසරේදී ද වට ගණනාවකින් පාඨක, විචාර, ප්‍රතිචාර, විවරණ මගින් නවකතා පහක් තෝරාගෙන එක් කෘතියක් ජය ලබා තිබේ. එම නවකතා සිය පරිකල්පනය උත්කර්ෂයට මෙහෙයා කළ ගෙත්තම්, වියමන්හි හිමිකරැවන් කෙරෙහි සුබාසී පළ කරන්නෙමි. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය අප කෙරෙහි තැබූ විශ්වාසයට, ලබාදුන් වගකීමට එය ඉටු කරලීමට අපි අවංකව ක්‍රියා කරන්නෙමු. ගෞරවය ප්‍රසාදය පළ කරන්නෙමු.
සිංහල භාෂා භාවිතය, අද විපරිණාමයට පත්වෙමින් පවතී. සිංහල බසේ ශ්‍රැති අර්ථ සුරම්‍යතාවය, එහි උද්දීප්තියට හානි ද පැමිණෙමින් පවතී. අනන්‍යතාව, ඇද පලුදු වෙමින් ඇත. ජීවන හා සමාජ දර්ශනය, සැමතින් ම දිස්වන උස් මිටිකම් පරතරය මිනිසා හා රට පරිසරය අර්බුදයකට ලක් වී නොතිබේද? නවකතාකරුවෝ විවිධ විෂයය පථ අවලෝකනය කරති. එම නිර්මාණ සාධනීය ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ වී ඇත්තාක් මෙන් ම, නිශේධනීය අවගමනයක්ද අපට හැඟෙයි. මෙය අතිශයෝක්තියක් නොවෙයි. කෙසේ වුවද සාහිත්‍ය සමාජ ව්‍යුහයේ වර්ධනයට අපමණ මෙහෙවර සලසන බැව් අපි කවදත් පිළිගත්තෙමු.
(ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදී කළ දේශනය ඇසුරිනි)