2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

සූරියවැව බිස්නස් කම්බස් කරන ඩේලි පේමන්ට් ජාවාරම

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 248

සූරියවැව, කිරිඉබ්බන්ආර, සෙවනගල, තණමල්විල, තිස්සමහාරාම, දෙබරවැව ඇතුළු අවට ප්‍රදේශ රැසකම මේ වනවිට ක්‍රියාත්මක අයොථා මූල්‍ය ක්‍රම රුසක් හේතුවෙන් ඊට හසු වු ව්‍යාපාරිකයෝ  රැසක්ම මේ වනවිට දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති. මේ හේතුව නිසා වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන ආ ව්‍යාපාර නොදැනුවත්වම බංකොලොත් වී තිබේ. නිසි ක්‍රම වේදයකින් තොරව විවිධ පුද්ගලයන් විසින් තම තමන්ට හිතු හිතූ පදිරි සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් ඉලක්ක කර ක්‍රියාත්මක වන මෙම අයථා මුල්‍ය ක්‍රමය මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකටම මහා පිළිලයක් බවට පත්ව තිබේ. එපමණක් නොව ණය මුදල් ලබාගත් පුද්ගලයන්ට එය ගෙවා ගැනීමට නොහැකි වූ තැන ඔවුන් සතු දේපළ, ව්‍යාපාරද ඔවුන්ට අහිමි වූ අවස්ථා අපට වාර්තා විය. එමෙන්ම අධික පොලී යටතේ ලබාගෙන ඇති මෙම ණය මුදල් ගෙවා ගත නොහැකි වූ තැන සිය තරුණ බිරින්දෑවරු මෙන්ම ඇහැට කනට පේන ගැහැනු දරුවන්ද බිලිගන්නට යෝජනා ගෙන ආ අවස්ථා රැසක්ද වාර්තා වීය. මෙම සිදුවීම් ජාලය සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකි මේ.

අද වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව, මත්තල, ලුණුගම්වෙහෙර, තිස්සමහාරාමය, දෙබරවැව, කතරගම, මිද්දෙණිය, වලස්මුල්ල ඇතුළු ප්‍රදේශ රැසකටම මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයට අයත් කිරිඉබ්බන්ආර, සෙවනගල, තණමල්විල, බලහරුව, හම්බේගමුව ඇතුළු ප්‍රදේශ රැසකටම මෙම වසංගතය බෝ වී හමාරය. “ඩේලි පේමන්ට්“ ලෙස හඳුන්වන මෙම අයථා මුදල් ක්‍රමය නිසා මෙම ප්‍රදේශවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපරිකයන් රැසකගේ ව්‍යාපාර බංකොලොත් වී තිබේ. රටක් ලෙස නිසි ක්‍රමවේදයකින් යුතු පාලන ක්‍රමවේදයක් තිබියදී විවිධ පුද්ගලයින් කළු සල්ලි එළියට දමා සිදුකරන මෙම ව්‍යාපාරය නිසා අසරණ වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ය.

“ඩේලි පේමන්ට්” නිසා අසරණ වූ සූරියවැව අඩි 100 පාරේ මධ්‍ය පරිමාණ වාහන සඳහා සේවා සපයන ආයතනයක් පවත්වාගෙන ගිය චමින්ද මහතා අපත් සමග පැවසුවේ මෙවන් අදහසකි.

වසර 20ක් විතර කාලයක් ඉඳන් තමයි මම මේ ව්‍යාපාරය කරගෙන ගියේ. මගේ වැඩපොළේ ගෝලයන් 12 දෙනෙක් වැඩ කළා. ව්‍යාපාරයෙන් ලැබූ ලාභයෙන් මම වෑන් එකක් ගත්තා. කැබ් එකක් ගත්තා. ගෙයක් හැදුවා. මෙහෙම කරගෙන යනකොට මට මේ ව්‍යාපාරය සඳහා අවශ්‍ය උපකරණ ටිකක් මිල දී ගැනීමට සිදු වුණා. ඒ අනුව ඒ සඳහා මම ප්‍රදේශයේ රාජ්‍ය හා පුද්ගලික බැංකු කිහිපයකටම ගියා. නමුත් ඒ එකකින්වත් මට අවශ්‍ය ණය මුදල ගන්න බැරි වුණා. පසුව මා සන්තකයේ තිබු මුදල් ටිකක් යොදවලා ඉතිරි මුදල් සඳහා චෙක් පතක් දීලා අදාළ බඩු ටික මම ගත්තා. එහෙම යද්දී මට චෙක්පත් සඳහා ගෙවීමට ප්‍රමාණවත් මුදලක් නොමැති වුණා. මේ වෙලාවේ තමයි මට ඩේලි පේමන්ට් කරන කෙනෙක් හමු වුණේ. එයා කිව්වා අයියේ මම ඔයාට ලෝන් එකක් දෙන්නම් කියලා. බැංකුවකින් ලෝන් එකක් ගන්නවට වඩා හරිම පහසු ක්‍රමයක් වුණා ඒක. ඇපයක් තියලා දවසින් ලෝන් එක ගන්න පුළුවන් නිසා මම ඒක ගත්තා. මුලින්ම මම රුපියල් ලක්ෂ 02ක් ගත්තා. ලක්ෂ දෙකෙහි වාරිකය දිනපතා ගෙවිය යුතුයි. ඒ දින 60ක් තුළ ගෙවා අවසන් කළ යුතුයි. රුපියල් ලක්ෂ දෙක සඳහා දිනක වාරිකය වුණේ රුපියල් 3800යි. දින 60 මේ ලක්ෂ දෙක ගෙවා අවසන් කළ යුතුයි. දින 60ක් අවසන් වන විට සම්පුර්ණ මුදල රුපියල් 228000යි. දින හැට සඳහා පොලි මුදල රුපියල් 28000යි. නිසි දිනය වන විට ගෙවා අවසන් කරගත නොහැකි වුණොත් ඒ සඳහා වැල් පොලියක් එකතු කරනවා. දින 60ක් අවසන් වෙනකොට මට ගෙවා ගන්න පුළුන් වුණේ රුපියල් 188,000ක් විතරයි. තව රුපියල් 40,000ක් ගෙවා ගන්න බැරි වුණා. මේකට මේ අය වැල් පොලියක් එකතු කළා. 40,000 ගෙවන්න මට තව දින 30ක් දුන්නා. ඒ දිනකට රුපියල් 1850ක වාරිකයක් සමඟ. ගෙවා ගන්න බැරි වුණේ රුපියල් 40,000යි. මේක ගෙවන්න දින 30ක් දුන්නේ ඒකට තවත් රැපියල් 15500ක මුදලක පොලියකුත් එක්කයි. 

මේ විදියට දිගින් දිගටම ගෙවාගන්න බැරි වෙන මුදල් සඳහා වැඩි පොලි මුදලක් ගෙවන්න වුණා. ගත්තේ රුපියල් ලක්ෂ දෙකක ණය මුදලකුයි. නමුත් ගෙවා අවසන් වන විට එම මුදල දෙගුණයක් විතර වෙලා. බලනකොට දිනපතා මගේ ව්‍යාපාරයෙන් ලැබෙන ලාභයෙන් කොටසක් ඩේලි පේමන්ට් කරන අයට මම දීලා. කර කියාගන්න දෙයක් නැති වුණා. මම සේවකයන් 12 දෙනාගෙන් දෙන්නෙක් නතර කළා. 10 දෙනෙක්ගෙන් වැඩ කරගෙන ගියා. 

නමුත් ඒ වෙනකොට ඩේලි පේමන්ට් නිසා මම හොඳටම හිරවෙලා තිබුණේ. මොකද ගත්ත ණය මුදල පියවා ගන්න බැරිවෙනකොට තව වෙන කෙනකුගෙන් ණයට ගත්තා. අද මගේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම බංකොලොත් වෙලා ඉවරයි. නමට විතරයි මගේ ව්‍යාපාරය කරගෙන යන්නේ. සේවකයන් 12ක් වැඩ කළ මගේ ආයතනයේ අද ඉන්නේ සේවකයන් දෙන්නයි. ඒ දෙන්නටත් පඩි ගෙවා ගන්නේ අමාරුවෙන්. 

දැන් මේ ඩේලි පේමන්ට් කරන අය කියන කියන විදියට මට නටන්න වෙලා තියෙනවා. දවසක් දෙකක් වාරික ගෙවාගන්න බැරි වුණ ගමන් අමුතු විදියට මේ අය ඒ සඳහා පොලී එකතු කරනවා. මේ අය එක්ක කොච්චර කතා කළත් වැඩක් නෑ. මේ අයට කිසිම හිතක් පපුවක් නෑ. ලක්ෂ හතක් ණයට දීලා ඒක පොලී කරලා ලක්ෂ පහළොවකට ආසන්න මුදලක් අපි නොදැනුවත්වම අපෙන් ගන්නවා. දැන් අපි මේ ණය උගුලේ හිර වෙලා ඉවරයි. මේ අය කියන මුදල් දැන් අපි ගෙවන්න ඕනේ. නැත්නම් ඇපයට තියලා තියෙන ඉඩමේ ඔප්පුව මේ අය වෙන කෙනකුට විකුණනවා කියනවා. 

හම්බන්තොට සූරියවැව පාරේ පදිංචි සිසිර රත්නායක මහතා පැවසුවේ මෙවන් අදහසකි.

මන් ගෝලයන් 6 දෙනකු සමඟ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා. මගේ අවට ඉන්න හිතවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනකු තමන්ගේ ව්‍යාපාර වැඩිදියුණු කරගන්න කියලා ඩේලි පේමන්ට් ක්‍රමයට මුදල් ගත්තා. ඒ හැම එකකටම ඇප වුණේ මම. ඒ අය රුපියල් ලක්ෂ 70ක් විතර දවසින් දවස එක එක අයගෙන් ඩේලි පේමන්ට් අරන් ව්‍යාපාර වැඩිදියුණු කළා. නමුත් මේ අයගේ ව්‍යාපාර එක සැරේටම කඩා වැටුණා. ඒ ඩේලි පේමන්ට් ක්‍රමයට මුදල් ගත්ත නිසයි. ව්‍යාපාරය දියුණු කරන්න කියලා ණය මුදල් ගත්ත මේ අයට අන්තිමට වුණේ ව්‍යාපාරය දියුණු කරන්න නෙමේ ව්‍යාපාරයෙන් ලැබෙන මුදල්වලින් ඩේලි පේමන්ට්කාරයන්ව නඩත්තු කරන්නයි. අද වෙනකොට ඩ්ලි පේමන්ට්වලට ඇප වෙලා මම ලක්ෂ 70ක ණය කාරයෙක් වෙලා ඉවරයි. හැමදාම ණයකාරයෝ මාව හොයාගෙන ගෙදරට එනවා. මේක නිසා මම දැඩි ලෙස මානසික පීඩනයට ලක් වුණා. 

මම ඒ අයට කිව්වා පොඩි කාලයක් ඉවසන්න. මේ අයට ව්‍යාපාරය දියුණු කරගන්න අවස්ථාව දෙන්න කියලා. ඊට පස්සේ ණය පියවන්න කටයුතු කරන්නම් කියලත් මම කිව්වා. නමුත් වැඩක් නෑ. ඒ අය කරන්නේ නොගෙවා ඉන්න දවස ගානේ ඒ මුදල් සඳහා වැල් පොලිය එකතු කරනවා. ලක්ෂ 10 ගත්ත කෙනාට ලක්ෂ ලක්ෂ 16ක් 17 ගෙවන්න වෙලා. 

ඒ විතරක් නොමේ මේ ඩේලි පේමන්ට් ක්‍රමයට මුදල් ගන්නකම් මේ අයගේ උගුල ගැන කිසිවෙක් දන්නේ නෑ. මුලින්ම බැලුවම නම් හරිම සුන්දර වැඩක් කියලයි පේන්නේ. ගෙවාගෙන යනකොට තමයි මේකේ රඟේ තේරෙන්නේ. ඩේලි පේමන්ට් ගත්ත හැම ව්‍යාපාරිකයෙක්ම අද අමාරුවේ වැටිලා.

යාළුවන්ට ඇප වෙච්ච නිසා මේ වෙනකොට මගේ ගෙදරට රැයක් දවාලක් නැතිව විවිධ අය එනවා මුදල් ඉල්ලගෙන. මේ එන අය කිසිම තෙතමනයක් තියෙන අය නෙමෙයි. පහුගිය දවසේ මගේ ගෙදරට 10ක් විතර ආවා. ඒ අවේ පිස්තෝලයකුත් අරගෙන පළාතේ අපරාධවලට සම්බන්ධ කෙනෙක් එක්කයි. ඒ විතරක් නෙමේ මන් නැති අවස්ථාවල මගේ බිරිඳට පවා අයුතු යෝජනා ගේනවා. මේ සියල්ල නිසා අද මගේ ව්‍යාපාරයත් විනාශයට ගිහින්. අද මගේ ළඟ ඉන්නේ එක සේවකයයි. ව්‍යාපාරය නමට විතරයි පවත්වාගෙන යන්නේ.

ඩේලි පේමන්ට් අරන් ව්‍යාපාර අහිමි වු පුද්ගලයකුගේ බිරිඳක් ද පසුගිය දින අපට හමු විය. මේ ඇය කියු කතාවයි.

මගේ මහත්තයා යාළුවකුගෙන් රුපියල් ලක්ෂයක් විතර අරගෙන කඩයක් කරගෙන ගියා. මෙහෙම ටික දවසක් යනකොට කඩේ බිස්නස් එහෙම හොඳට තිබුණා. පස්සේ පස්සේ චෙක්වලට කඩේට බඩු ගත්තා. මේ අතරේ රුපියල් ලක්ෂ 15ක ලෝන් එකකුත් දැම්මා. කොහොම හරි කාලයක් සරැවට බිස්නස් එක කරගෙන ගියා. සූරියවැව හා අවට සියලුම දෙනා නිතර නිතර මහත්තයා හමුවෙන්න ආවා. කට්ටිය මහත්තයගෙන් අතමාරැ පවා කරගත්තා. කොහොම හරි මෙහෙම යනකොට මහත්තයා කඩේ බඩු ගත්ත චෙක් ගෙවන්න ඩේලි පේමන්ට් ක්‍රමයට මුදල් ගත්තා. 

මේවා දිගින් දිගටම ගෙවාගන්න බැරිව හිර වුණා. අන්තිමට මේ රෝල යන්න ඕන නිසා මහත්තයා විවිධ අයගෙන් ණයට මුදල් ගත්තා. අන්තිමට හැමදේම බංකොලොත් වුණා. ණය මුදල් ගෙවා ගන්න බැරිව මහත්තයා අසරණ වුණා. අන්තිමට මහත්තයා කඩේ වහලා දමලා අනුරාධපුර යාන් ඔය වැලි කපන්න ගියා. ඒ ගියෙත් තියෙන ණය මුදල් ගෙවා ගන්න ඕන නිසයි. යාන් ඔය මහත්තයා වැලි කපන්න ගිය තැන ෆෝන්වලට සිග්නල් නෑ. ඉතින් සතියකට දවසක් වගේ තමයි මහත්තයා අපිට කෝල් එකක් දුන්නේ. මේ නිසා ඩේලි පේමන්ට් ක්‍රමයට මහත්තයට මුදල් දුන් අය කළබල වෙලා මහත්තයා හැංගිලා කියලා එයාව මරන්න හෙව්වා. නිතර නිතර මහ රෑ ගෙදරට මිනිස්සු කඩා පැන්නා. ගෙදර හිටියේ මමයි මගේ පොඩි දරුවෝ දෙන්නයි විතරයි. 
මේ අතරේ දෛණිකව ඩේලි පේමන්ට් කරන අය ගෙදරට ආවා. ඒ යන එන අය මට අවස්ථා කිහිපයකදීම අතවර කරන්න හැදුවා. සමහර අය දෛණික වාරිකය ගෙවන්න බැරි නම් ඒ වෙනුවට මගෙන් ලිංගික අල්ලස් පවා ඉල්ලුවා. කොහොම හරි මෙහෙම දවස ගෙවුණා. මේ අතරේ දවසක් රූ 11ට විතර ගෙදරට හය හත් දෙනෙක් එක සැරේටම ආවා. මම එදා පුදුම විදියට බය වුණා. ඒ අය ඇවිත් කිව්වා අපිට ලැබෙන්න තියෙන මුදල්වලට මේ ගේ ගන්නවා කිව්වා. ඒත් මම ඒ වෙලාවේ කිව්වා මේ කඩෙයි ගෙයයි ගන්න. මහත්තයා ආව ගමන් සල්ලි දිලා ගේ බේරගන්නම්. එතකම් මට මේ ගෙදර ඉන්න දෙන්න කියලා ඉල්ලුවා. නමුත් ඒ අය මගේ කිමට ඇහුම්කන් දුන්නේ නෑ. අන්තිමට මේ අය බලහත්කාරයෙන් වගේ මාවයි දරැවෝ දෙන්නයි ගෙයින් එළියට දැම්මා. 

මෙම අයථා මුල්‍ය ක්‍රමය සම්බන්ධයෙන් අපි කරැණු සොයා බැලුවෙමු. එහිදී දැකිය හැකි වූයේ සූරියවැව හා තදාසන්න ප්‍රදේශ කිහිපයකම පුද්ගලයන් මෙම ඩේලි පේමන්ට් මුදල් ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි. පහසුවෙන් ණය මුදල් ගන්න අප අමතන්න ලෙස සඳහන් හෑන්ඩ් බිල් බෙදා හරිති. පසුව ලැබෙන දුරකතන ඇමතුම අනුව අදාළ ස්ථානයට යන මෙම ඩේලි පේමන්ට් කරන පුද්ගලයෝ ඒ අය සඳහා අවශ්‍ය ණය මුදල ලබා දීම සිදු කරති. ඒ සඳහා පුද්ගල ඇපයක්, හිස් කොළ දෙකක් සහ ණය මුදල ලබා ගන්නාගේ හා ඇපකරුගේ අත්සන ද ලබා ගනියි. ඊට අමතරව පුද්ගල ඇප නැති අය සඳහා ඉඩම් ඔප්පු, වාහන බලපත්‍ර ආදිය ඇප ලෙස තබා ගනියි. මෙලෙස ලබා දෙන ණය මුදල දෛනිකව පැමිණ එකතු කරනු ලබයි. දින 10ක් ගෙවා ගත නොහැකි වූ විට පළමුවෙන්ම ඒ සඳහා රැපියල් 1000ක දඩ මුදලක් ද ඊට එකතු කරයි. අදාළ ණය මුදල ගෙවීම සදහා ලබා දුන් නියමිත කාල සිමාව ඉක්ම වූ විට පොලිය හා ඉතිරි මුදල එකතු කර ඒ සඳහා ද නැවත වැල් පොලියක් ද එකතු කර නැවත ගෙවීම සඳහා කිසියම් දින ගණනක් ලබා දෙයි. මේ විදියට දිනෙන් දින පොලියට වැල් පොලි එකතු කිරීම නිසා ව්‍යාපාරිකයා නොදැනුවත්වම අසරණ වෙයි. අන්තිමට වන්නේ ව්‍යාපාරය බංකොලොත් වීමයි. 

මෙම ඩේලි පේමන්ට් කරන බොහෝ දෙනා ප්‍රදේශයේ ගණන්කාරයන් ද යාළු කරගෙන සිටිති. ණය මුදල් ගෙවීම පැහැර හරින අවස්ථාවලදී ඒ අයගේ සහාය ගැනීමට ද ක්‍රියා කරති. ඇතැම් අය ගල් කටස් භාවිතා කර ණය මුදල් ආපසු ගත් අවස්ථා ද එමටය. මේ කිසිවක් සම්බන්ධයෙන් පැමිණිලි නොකිරීම ද විශේෂත්වයකි. බහුතරයක් ඩේලි පේමන්ට් කරන අය පොලිස් නිලධාරීන් සමඟ ද කිට්ටු සම්බන්ධයක් පැවතීම ඊට හේතුව බව ව්‍යාපාරිකයෝ කියති. 

 සූරියවැව නුවන් ජයසේකර

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00