අපව ආක්‍රමණය කළෝ කවරහුදැයි විමසූ විට අපට එකවර සිහියට නැගෙන්නේ පෘතුග්‍රීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ජාතිකයෝය. ඉංග්‍රීසි ජාතිකයෝ මේ රට අපටම කරගන්නට ඉඩ දී 1948 දී ඉවත්ව ගියෝය. අපව පෙළුෑ ආක්‍රමණිකයන්ට එරෙහිව අපි අරගල කළෙමු. උන්ට එරෙහිව රණ ගී ගැයුවෙමු. උන් ඉගැන්වූ බයිලාවෙන්ම උන්ට එරෙහිව බයිලා ද ගැයුවෙමු. එහෙත් අපගෙන් වැඩි දොසක් නොඅසා අපේ වනාන්තරවලට, අපේ වගාබිම්වලට පමණක් නොව අපේ ගෙවත්තෙන් දොරකඩට පවා පැමිණ ඔච්චම් කරන ආක්‍රමණිකයන්ගේ ප්‍රහාර අපි ඉවසා වදාරා සිටිමු. මෙතෙක් වේලා කියන්නට උත්සාහ ගත්තේ අපව ආක්‍රමණය කරන ආගන්තුක ශාක හා සත්ත්ව වර්ගයා ගැනයි. මිනිස් ආක්‍රමණිකයා විනාශ කරන්නට මාන බැලුවේ අපේ සංස්කෘතියයි. අපේ ජන ජීවිතයයි.
ශාක හා සත්ත්ව ආක්‍රමණික ගණයාද එල්ල කරන තර්ජන ඊට දෙවැනි නොවේ. පළමුව එම ශාක හා සත්ව ගණයා ආක්‍රමණය කරමින් ඉන්නේ අපගේ ජෛව විවිධත්වයයි. අපට ආවේණික සත්ව හා ශාක ප්‍රජාවයි. ආගන්තුක ශාක ද අපේ වගාබිම් හා ගම්බිම්වලට වැද, කෘෂිකර්මාන්තයට විනකොට, සතා සීපාවාටද තර්ජනය කොට හානි කරන්නේ අපේ ආර්ථිකයටයි. අපේ සුපුරුදු ජන ජීවිතයටයි. මිනිස් ආක්‍රමණිකයා නික්ම ගිය පසුවත් ඔවුන්ට බැණවදින්නට බොහෝ දෙනා සිටියත් විදෙස්වලින් ආ ශාක හා සත්ව ආක්‍රමණිකයාට එරෙහිව යුද වදින්නේ ඒ ගැන සංවේදී වූ අතළොස්සක් පමණකි. මෙරට පැතිරෙන්නට පටන්ගත් දා පටන් මෙකී ආක්‍රමණිකයන් කර ඇති ආර්ථික හානිය ගණන් බැලුවද, කර ඇති පාරිසරික හානිය නම් ගණන් බැලීමත් උගහටය.
මෙකී ආගන්තුක ශාකවලින් කිහිපයක් අපේ රටට ගෙන්වාගෙන ඇත්තේ අපේ ජීවිත පටන්ගන්නට පෙර කාලයක වුවත් ඒවා රට පුරා පැතිරී ගොස් ඇත්තේ අප ජීවත් වූ වකවානුව තුළයි. අපේ ජීවිත කාලය තුළද (මෑතකදී) ගෙන්වාගත් හෝ හොරෙන් මෙරටට ආ ආගන්තුක ශාක ගණයාද සිටිති.
“හඳුන්වාදීමකින් හෝ අහම්බෙන් තම ස්වාභාවික වාසස්ථානයෙන් බැහැර ප්‍රදේශයක ව්‍යාප්ත වී, එහි ජෛව විවිධත්වයට තර්ජනයක් ඇතිකරන ජීවී විශේෂ ආගන්තුක ආක්‍රමණශීලී විශේෂ ලෙස හැඳින්වේ. ගෝලීය පරිසර පදනම සහ එක්සත් ජාතීන්ගේ වැඩසටහන යටතේ, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයට අයත් ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයෙන් නිකුත් කරන පත්‍රිකාවක ආක්‍රමණශීලී ආගන්තුක විශේෂ හඳුන්වා දී ඇත්තේ එසේය. ඉහත කී ශ්‍රී ලාංකික ආයතනයට අදාළ පරිසරවේදීන් හඳුනාගත් ප්‍රධාන ආක්‍රමණික ශාක වර්ග 20කුත් සත්ව වර්ග 8කුත් එම පත්‍රිකාවල සඳහන් වේ.
ගෙරිහංකඩ එලාගන්න මෙරටට ආ පරංගියා මෙන් කපටිකමෙන් මෙම ශාක හා සත්ව ගණයා මෙරටට රිංගාගෙන පැමිණ නැතත්, එළුබෙටි, ගොමබෙටි අස්සේ සැඟවී ඇතැම් ඒවායේ බීජ මෙරටට පැමිණ තිබේ. එහෙත් බොහෝ ශාක බ්‍රිතාන්‍ය පාලනය පැවති කාලයේ විවිධ අවශ්‍යතා සඳහා මෙරටට හිතාමතාම ගෙන්වාගත් ඒවාය. (දේදුනු ට්‍රවුට්) නම් මාළුවා සුද්දා මෙරටට ගෙනවිත් කඳුකර ජලාශවල බෝකර ඇත්තේ විනෝදයට මාළු බාන සුද්දාගේ ඇමට පහසුවෙන් හසුකරගන්නටය. නිදහසින් පසු අපගේම පාලනය පැවති කාලයේද, ඉපිල් ඉපිල්, කන කරාබු වැනි ආක්‍රමණික ශාක විවිධ අවශ්‍යතා උදෙසා ගෙන්වාගෙන තිබේ. බොහෝ ආක්‍රමණික මත්ස්‍ය වර්ග, විනෝදයට ඇතිකර, එපා වූ පසු ස්වාභාවික ජලපහරවලට මුදාහැරීම හේතුවෙන් ඒවායේ බෝවුණු ආක්‍රමණිකයන්ය.
සංදේශවල සඳහන් පස් පියුමෙන් සැදි විල් වෙනුවට කොළඹ අවට අප දුටුවේ (මෑතදී ඒවා ශුද්ධ පවිත්‍ර කරන තුරු) සැල්වීනියා හා ජපන්ජබරවලින් ගහණ ජලාශයන්ය. සැල්වීනියා ජලාශවල බෝවී ගියේ දිනකට වර්ග අඩි ගණනින් වැනිය හැකි වේගයෙනි. දින දෙකකට වරක් දෙගුණවීම ජපන්ජබරවල ලක්ෂණයකි. අප කුඩා කාලයේ දුටු නිලට දිලුණු කොළඹ අවට කෙත්වතු, කාලයක් පුරා පුරන් වී තවත් ආක්‍රමණික ශාකයක් වූ වෙල්ආතාවලින් ඒවා වැසී ගියේය. ලොකු කොස් ගස් තිබුණු ඉඩම්වල දැන් උසට උසේ, ගිනිකූරු හෙවත් හවරිනුග හෙවත් ඇල්ස්ටෝනියා ගස්ය. රත්නපුරයට යන පාර දෙපස දැන් වඳකරගන්නට බැරි තරම් පර (දියපර) ගස්ය. දන්නා සැම හිස් ඉඩමක්ම අහක බැලූ සැණින්, ගිනිතණ (රටතණ) හෙවත් මානා පඳුරැවලින් වැසී යයි. ඉහත කීවේ ඇස් පනාපිට, අපේ කාලය තුළදීම ආක්‍රමණික ශාකවලින් පරිසරය වැසීගිය සැටිය. එහෙත් රට පුරා වනාන්තරවලත්, ගම්බිම්වලත්, ජලධාරාවලත් මේ හා සමානවම ආක්‍රමණික ශාක හා සත්ව ගණයා පැතිර තිබේ.
රටක සොබාවික පරිසර පද්ධතිය යටකරගෙන මෙම ආක්‍රමණික ශාක බෝවන්නේ ඒවායේ ඇති විශේෂ ප්‍රජනන ලක්ෂණ නිසාය. තමන් ප්‍රභවය ලද රටේ අනෙක් ශාක හා සමතුලිතව පාඩුවේ වර්ධනය වන එම ශාක ආගන්තුක රටේදී ආක්‍රමණශීලී ලෙස වේගයෙන් බෝවෙන්නට ගනී. ආගන්තුක රටේදී ඉක්මනින් ගස මෝරා මල් හටගෙන පල දරා අලුත් පරිසරයේ බීජ පතුරුවා හරී. අලුත් පරිසරයේ තද නියඟය වැනි කටුක පරිසරයක් වේ නම් එම කටුකත්වයද මෙම ආක්‍රමණිකයෝ හොඳින් දරාගනිති. අලුත් පරිසරයේ ඇති අනෙකුත් ශාක විනාශය කරා යන රසායනිකද වරෙක මේවායින් නිකුත් වේ.
1904 දී ජපන්ජබර පැළෑටියක් මෙරට රාජකීය උද්භිද උද්‍යානය මගින් පළමු වරට ගෙන්වා ඇත්තේ සුදු නෝනා කෙනකුගේ වුවමනාවට (Lady Blakeගේ) බව කියැවේ. මේවායේ හටගන්නා දම් පැහැති මලට ආකර්ෂණය වූ සුදු නෝනා එහි සෞන්දර්යට හසුවෙද්දී අප අසුවී ඇත්තේ ජලධාරා, කෙත්බිම්, කෙත්බිම් වනසන වසංගතයකටය. දකුණු අමෙරිකාව නිජබිම කරගත් මෙම ආක්‍රමණික ශාක දැන් රටවල් 50කට පමණ තර්ජන එල්ල කරමින් සිටී.
සැල්වීනියාද මීට දෙවැනි නැත. දකුණු බ්‍රසීලයත්, උතුරු ආර්ජන්ටිනාවත් නිජබිම කරගත් සැල්වීනියා 1930 දී මෙරටට ගෙනැවිත් ඇත්තේ විද්‍යාත්මක අවශ්‍යතාවකට බව වාර්තා වේ. 1943 වනවිට මේවා කුඹුරුවල පැතිරෙනවා පෙනෙන්නට ගත් බව සඳහන්ය. ලෝක යුද්ධ සමයේදී ජපනුන් රවටන්නට මේවා ගෙනැවිත් ඇති බවද ඇතැම් තැනක කියැවේ.
ජලතලාවල සෞන්දර්ය මැකීගොස් ඒවා දුටු නෙත් හිමි සිත් තුළ කවි සිතුවිලි පහළවීම අවුරාලීමට වඩා බලවත් හානියක් මෙම ජලජ පැළෑටි දෙවර්ගයෙන් සිදුවී තිබේ. ජලමාර්ගවල ගමනාගමනය මේවායින් වැළකෙන්නේය. මේවා ඇති තැනක රෑ ගණ අඳුරේ තබා දවාලකවත් ඔරුවක පාවෙන්නට නොහැකිය. ඕලු නෙළුම් ආදී සියලු පස් පියුම් යටකරගෙන මේවා පැතිරුණු විට ගඟුල් තොටිල්ලේ ඔරුව හබල් ගා යනවා බොරුය. කබරගොයාට නම් උගේ සුරතලී සොයාගෙන මේවා අතරින් යන්නට බාධාවක් නැත. එවිට දැනෙන්නේ කලින් දැනුණු චමත්කාරය නොව ජුගුප්සාවකි. විදුලි බලය ජනනය කරන ජලාශයක මේවා පැතිරුණ විට පාඩුව මනින්නට වෙන්නේ මෙගා වොට් වලින්ය. අවුරුදු පතා මේවා ඉවත් කරන්නට යන වියදම මිලියන් ගණනාවකින් කියා නිමකරගන්නට බැරිවනු ඇත. ඉවත් කරගත් ජපන්ජබර හා සැල්වීනියාවලින් තැනූ කොම්පෝස්ට් පොහොරවල නම් ගුණයක් ඇති බව සනාථ වී තිබේ. සැල්වීනියා කා දමන්නට මෙරටට ගෙන ආ Cyrtolagons කුරුමිණියාටත් කා හමාර වන්නට බැරි තරම් වේගයෙන් අප රටේ සැල්වීනියා පැතිරෙන බව පෙනී යයි.
තෙත් කලාපයේ පුරන් වූ කුඹුරුවල ව්‍යාප්ත වූ වෙල්ආතා නම් ශාකය මීටත් වඩා කරදරකාර ආක්‍රමණිකයෙකි. හැත්තෑ ගණන්වල මුල් කාලයේ කොළඹ අවට ප්‍රදේශවල හොඳින් වී වගාවේ යෙදුණු කුඹුරු ඉඩම් රාශියක මේ වනවිට වෙල්ආතා වැවී තිබේ. පසුගිය වසරවල පැවති පුරන් කුඹුර අස්වැද්දීමේ වැඩපිළිවෙළවලදී මේවා ඉවත් කරන්නට ගොවීන්ගේ ශ්‍රමයත්, රජයේ මුදලුත් නොසෑහෙන්නට වියදම් වී තිබේ. මඳ සුළඟට වැනෙන නිල්ල ගැහුණු ගොයම් වෙනුවට තම කුඹුරු ඉඩම්වල වෙල්ආතා වැවෙන්නට ඉඩ හල උදවියට එම කුඹුරු ඉඩම්වල අගය මතක් වූයේ නාගරික සංවර්ධන කටයුතු උදෙසා ඒවා රජයට පවරාගන්නා විටදීය. ප්‍රශ්නයේ තව පැත්තක් බැලිය යුතුය. තෙත් කලාපයේ ඇතැම් කුඹුරු ඉඩම්වල වී වගාකොට සහල් නිෂ්පාදනය කරනවාට වඩා මුදලක් කඩෙන් හාල් මිලදී ගෙන කෑමෙන් ඒවා අයිතිකරුවන්ට ඉතිරිකරගත හැකි විය.
ගඳපාන නැතහොත් හිඟුරු කියනවාට වඩා බාලොලියා කී විට ඇත්තේ හරිම සුන්දරත්වයකි. “බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා” යනුවෙන් ගීයක යොදාගෙන ඇත්තේ ඒ වචනයේ ඇති ගීතවත් බවත් මලේ ඇති සුන්දරත්වයත් නිසාමය. Lantana camara යනුවෙන් උද්භිද විද්‍යාවේදී හඳුන්වන මෙම ශාකය 1826 දී රාජකීය උද්භිද උද්‍යානය වෙත වෙනත් රටකින් ගෙනැවිත් ඇත්තේ මලේ ලස්සන නිසාමය. එහෙත් ඒ සියලු සුන්දරත්වයන් ඇතුළත ඇත්තේ ආක්‍රමණශීලී බවකි. උඩවලවේ වනාන්තර ප්‍රදේශයේ අනෙක් ආවේණික ශාක මැඩගෙන මේවා පැතිරෙන්නට ගැනීම නිසා එහි වෙසෙන අලින්ට පවා ආහාර හිඟවෙන්නට ගත් වග වාර්තා වී තිබේ. උඩවලවේ කලාපයෙන් මේවා වඳකරන්නට මහත් වියදමක් දරන්නටද සිදුවිය.
ගාල්ල කළුතර හා රත්නපුර යන ප්‍රදේශවල ස්වාභාවික වෘක්ෂලතා මැඩගනිමින් වැඩී ඇති දියපර ශාකය 1882 බ_නායි රටෙන් මෙරටට ගෙන ආ ශාකයකි. ජාවා, සුමාත්‍රා හා බෝර්නියෝ ආශ්‍රිත දූපත් මේවායේ නිජබිම ලෙස සැලකේ. දියපර ශාකය අපට වදකාර ආක්‍රමණිකයෙක් වූවාට එහි නිජබිමවලට එය තවමත් අහිංසකයෙකි. බ_නායි රාජ්‍ය තම රටේ ජාතික පුෂ්පය ලෙස සලකන්නේ දියපර මලයි. එරටේ මුදල් නෝට්ටුවලද මේ මලේ රූපයක් ඇත.
මේ වනවිට මෙරට ගෙවතු, මහාමාර්ග, හිස් ඉඩම්, දුම්රිය මාර්ග වසා පැතිර යන්නකි ගිනිතණ හෙවත් මානා පැළෑටිය. වියළි කලාපයේ ලැව්ගිනි පතුරවා හරින්නටද මෙම ශාකය සමත් වෙයි. තෙත් කලාපයේත්, වියළි කලාපයේත් කිසිම වෙනසක් නැති ඕනෑම හිස් ඉඩමක ඉක්මනින් පැතිර යන මෙම තෘණ වර්ගයේ ප්‍රභේද කිහිපයක් හෙක්ටයාර් 35000ක් පමණ මේ වනවිට වසාගෙන සිටී. මෙම ගිනිතණ, රටතණ ආදී නම්වලින් හඳුන්වන මානා වර්ගය 1801 – 1802 කාලයේ ගොවිපොළකට ගෙන ආ බවත්, ඉන්පසු ගවයන් හා අශ්වයන්ට සත්වාහාරයක් ලෙස ජනප්‍රිය වීම නිසා බෝකරගත් බවක් පෙනේ. ගවයන් ආහාරයට ගන්නේ මේවායේ ළපටි දලුය. මේරූ ශාක පත්‍ර බුදින්නට උන් ඒ හැටි කැමති නැත. දැන් රටේම ඉන්නා ගවයන්ටත් කා නිමාකළ නොහැකි තරම් තැන තැන ඵලදායී බිම්වල මෙම රටතණ හෙවත් මානා වර්ගය පැතිරී තිබේ.
1978 සුළි සුළඟෙන් පසුව, සුළං මුවාකරන වැටියක් ලෙස පැළ කරන්නට අගය ඇති පැළෑටියක් බව පෙන්වාදෙමින් ඉපිල් ඉපිල්වල ගුණ වරුණ පුවත්පත්වල පළවූවා මතකය. කදිම සත්ව ආහාරයක් ලෙසද ඉපිල් ඉපිල් යෝග්‍ය බවට එම පුවත්පත් දැන්වීම්වල යෝජනා කොට තිබුණේය. මෙය අපේ කාලය තුළදීම මෙරටට ගෙනැවිත් අපේ කාලය තුළදී ආක්‍රමණිකයකු බවට පත්වූ ශාකයකි.
දැන් අපට හිරිහැරයක් වී ඇති බොහෝ පැළෑටි හිතාමතාම ගෙන්වාගත් ඒවා වුවද පාතීනියම් මෙරටට පැමිණ ඇත්තේ හොර රහසේය. 1987 කාලයේ මෙරටට පැමිණ, උතුරු නැගෙනහිර නැවතී සිටි ඉන්දියානු හමුදාවට, ආහාර පිණිස ගෙන ආ එළුවන්ගේ බෙටිවලින් පාතීනියම් බීජ පැමිණ ඇතැයි සැක කෙරේ. පාතිනීයම් ශාකය පැතිරෙන්නට ගත්තේද බහුල වශයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවලය. රටේ ජනයාගේත් ගොවීන්ගේත් උනන්දුව නිසාත්, අදාළ ආයතන මෙම පැළෑටිය ගැන ජනයා දැනුවත් කිරීම නිසාත්, මෙය පැතිරෙන්නට ඉඩ නොදී බොහෝදුරට වර්ධනය කරන්නට හැකි වී තිබේ.
පොළොව මතුපිට හෝ ස්වාභාවික ජලදහරා මතුපිට සිදුවන මෙකී ආක්‍රමණ නෙතට දිස්වන ඒවාය. එහෙත් ජලාශ, ගංදිය ඇතුළත සිදුවන ජීවී ආක්‍රමණ, අපට පෙනෙන්නේ නැත. ඉහත කී ලෙස අපගේ දේශීය, අපට ආවේණික මසුන් විනාශ කරමින්, ආක්‍රමණිකයන් බවට පත්ව ඇති මත්ස්‍ය වර්ගයා සුරතලයට ටැංකිවල ඇතිකළ මසුන්ය.
ඉන් එක මාළුවකු ගැන නොකියාම බැරිය. සුරතලයට ඇතිකරන මසුන් ඇති මාළු ටැංකිවල ඉන්නා අවලස්සන මාළුවකු වූ ටැංකිසුද්දා ඔබ දැක ඇතිවාට සැක නැත. ඌ ඇත්තෙන්ම කරන්නේ මාළු ටැංකියේ වීදුරුවල බැඳෙන පෙඳ පාසි ආදිය කා ටැංකිය පිරිසුදුව තබාගැනීමයි. උන් දෙවර්ගයකි. එක තැන රැඳෙන කම්මැලි මාළුවකු ලෙස පෙනුණද ස්වාභාවික ජලපහරවලට එකතු වී ඇති මේ මත්ස්‍යා කර ඇත්තේ ගං පතුලේ රැඳී තිබෙන අපට ආවේණික මසුන්ගේ බිත්තර හෙමිහෙමිහිට උලාකෑමයි.
අපි කුඩා කාලයේ වෙලක ඇති ඇළක බැලුවත්, ගංදිය පතුලක බැලුවත් නානා වර්ගයේ ලස්සන දේශීය මත්සයෝ පෙනෙන්නට සිටියහ. එහෙත් දැන් ඒ අපේම මත්සයන් බොහෝදුරට වඳවී ඇත්තේ මෙම ආක්‍රමණික මත්සයන් විසින් උන් විනාශ කර ඇති නිසාවෙනි.
ලස්සනට තරම් අප වෙන කිසිදෙයකට රැවටී නැත. බොහෝවිට අප රැවටී ඇත්තේ මෙම ආක්‍රමණික ශාක හෝ සත්ව ගණයාගේ පිටින් පෙනෙන සුන්දරත්වයටයි. එසේත් නැතහොත් බාහිරින් පෙන්වන ගුණාංගවලටයි. එම නිසා අප ගෙවත්තේ වවන පිට දේශවලින් ගෙන ආ විසිතුරු පැළ, පමණට වඩා බෝවන්නේ නම් ඒවා සොබාවික පරිසරයට මුදානොහැර පාලනයකින් යුතුව තබාගන්නට අපි පුරුදු විය යුතු වෙමු. ටැංකිවල ඇතිකරන විසිතුරු මසුන්ද සොබාවික ජලපහරවලට මුදානොහැර තබාගත යුතුය.
අපට මතක ඇති කාලයක සිදුවූ සුන්දර දේ ගැන කතා කරන්නා සේම සුන්දර නොවූ පරිසරයට හානිකර දේ ගැනද කතා කිරීමෙන් අනාගත දරුවාට අතිසුන්දර පරිසරයක් සාදා දෙන්නට හැකි දැනුවත්භාවය අපට ලබාගත හැකිවේ.
සියල්ල සොබාවිකව වෙනස් වන්නේය. සියල්ල අපට හිතකර ලෙස වෙනස් වන්නේ අප සොබාවික පරිසරය ගැන දැනුවත් වූ තරමටය. සොබාවික පරිසරය සමඟ මිත්‍රශීලී වූ තරමටය.
♦ සමන් පුෂ්ප ලියනගේ