ආණ්ඩුවේ අවිධිමත් බදු ප්‍රතිපත්තිය නිසා ව්‍යාපාරිකයන් මෙන්ම පාරිභෝගික ජනතාවද මහත් අපහසුතාවට පත්ව සිටින බව හැම පැත්තෙන්ම වාර්තා වේ. ආණ්ඩුව භාණ්ඩවල බදු ඉහළ නැංවීමේදී බොහෝවිට ක්‍රියා කරනුයේ කිසිදු සංවේදීභාවයකින් හෝ නම්‍යශීලී ප්‍රතිපත්තියකින් නොවන බව බොහෝ දෙනාගේ අදහසය. එසේම යම් භාණ්ඩයක බදු ඉහළ නැංවීමෙන් සිදුවන විකල්ප ප්‍රතිඵල ගැනද ආණ්ඩුවට පූර්ව නිගමනයකට පත්වන්නට නොහැකිව සිටින බවත් පෙනේ.
අද වනවිට ඇතැම් අත්‍යවශ්‍ය මෙන්ම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවලද බදු ඉහළ දැමීම හේතුවෙන් ඒවායේ මිල ඉහළ යාම නිසා ආණ්ඩුවට එරෙහිව විශාල ජනමතයක් ගොඩනැගෙමින් පවතී. මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගන්නා ඇතැම් දේශපාලනඥයන් එයින් වාසි ලබාගැනීමට කටයුතු කිරීම නිසා ආණ්ඩුව ජනතා ප්‍රසාදයෙන් ඈත් වෙමින් සිටින බව පසුගිය කෙටිකාලයේදී උද්ගත වූ සමහර සිද්ධි අනුව පෙනී යයි.
ආණ්ඩුවේම සමහර ඇමැතිවරුන් පවසන්නේ මුදල් ඇමැතිවරයා තමන් පවා දැනුවත් නොකර තම විෂයන්ට අදාළව විවිධ මූල්‍යමය තීරණ ගන්නා බවය. මෙම තත්ත්වය මත තමන්ද මහජන අප්‍රසාදයට පත්වන අතර තම විෂය පථයට අදාළ තීරණ ගැනීමේදී ගැටලුවලට මුහුණපෑමට සිදුව ඇති බව ඔවුහු පෙන්වා දෙති.
ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ මුදල් ඇමැතිවරයා ක්ෂණිකව බදු ඉහළ නැංවීමට ගන්නා ඇතැම් තීරණ කිසිදු විචක්ෂණශීලීභාවයකින් තොරව ගන්නා බව පෙනී යන බවය. මේ තත්ත්වය මත විටෙක පැනවූ බදු තවත් සුළු කාලයකින් වෙනස් කිරීමට මුදල් ඇමැතිවරයාට සිදුව තිබේ. ආනයනය කරන රෙදි සඳහා පැනවූ සියයට 15ක වැට් බද්ද සති දෙකක් යාමට පෙර සියයට 5 දක්වා අඩුකරන්නට මුදල් ඇමැතිවරයාට සිදුවී තිබිණ. එසේම සීනි කිලෝවක ආනයන බද්ද රුපියල් 17.50කින් ඉහළ නැංවූ අතර අනතුරුව එල්ල වූ විරෝධතා නිසා ඉන් රුපියල් 4ක් යළි අඩුකර තිබේ. අල, ලූනු, පරිප්පු ආදියේ ආනයන බදුද විටින් විට වෙනස් කිරීමට ආණ්ඩුවට සිදුව ඇත.
මෙලෙස කරන බදු පැනවීම්වලින් ජනතාව අපහසුතාවට පත්වීම හැරුණු විට පෞද්ගලික ව්‍යාපාරිකයන්ද හිතුවක්කාර ලෙස කරන මිල වැඩිකිරීම් නිසාද භාණ්ඩ මිල යළිත් ඉහළ නැගීමේ අනතුරක් ඇතිවී ඇත. ආසන්නතම උදාහරණය වන්නේ ප්‍රීමා සමාගම ආණ්ඩුවේ අවසරයකින් තොරව තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් පහකින් ඉහළ නැංවීමය. මෙහි ප්‍රතිඵලයක් ලෙස පාන් ඇතුළු වෙනත් පිටිවලින් නිෂ්පාදිත ආහාරවල මිලද රුපියල් පහකින් වැඩිවිය. සතියක පමණ කාලයකින් පසු නින්දෙන් අවදි වූ කලෙක මෙන් ක්‍රියාත්මක වූ ආණ්ඩුව තිරිඟු පිටි මිල පැරණි මට්ටමට ගෙනෙන ලෙස සමාගමට බලකළ අතර මිල වැඩිකර විකුණන්නේ නම් නීති මගින් ක්‍රියාකරන බවට තරවටුවක්ද කළේය. ඒ අනුව පිටි කිලෝව රුපියල් පහකින් අඩුකළද මුලින් ඉහළ නැංවූ ආහාර ද්‍රව්‍යවල මිල පහළ බැසීම සිදුවෙමින් පවතින්නේ ඉතාම මන්දගාමී ලෙසය.
සීනි මිල ඉහළ යාම පිළිබඳවද අසන්නට ලැබෙන කතාව ලෙහෙසියෙන් නොසලකා හැරිය හැක්කක් නොවේ. සීනි කිලෝවක බදු මුදල රුපියල් 17.50කින් ඉහළ නැංවීමට පෙර ප්‍රකට ව්‍යාපාරිකයන් තිදෙනෙක් දින 45කට ආසන්න සීනි තොග ආනයනය කර ඇති බව පසුගියදා පැවැති පාරිභෝගික සේවා අධිකාරියද සම්බන්ධ වූ රැස්වීමකදී අනාවරණය විය. මේ පිළිබඳ සාකච්ඡා වූ බව සීනි ආනයනකරැවන්ගේ සංගමයේ සභාපති පැරුකුම් අබේසේකර පවසයි.
මෙම තිදෙනා සීනි මෙට්‍රික් ටොන් 60,000කට අධික ප්‍රමාණයක් හදිසියේ ගෙන්වා ඇති අතර මොවුන් බදු ඉහළ දැමීමට පෙර ඒ බව දැන සිට ඇතැයි සැක පහළ වී ඇත. රටට දින 30කට අවශ්‍ය වන සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 42,000ක් 45,000ක් අතර වේ. මේ අනුව සීනි කිලෝවකින් රුපියල් 10ක් ලාභ තබාගෙන අලෙවි කළහොත් ඔවුන් ලබන ලාභය රුපියල් මිලියන 600කි. මේ ජාවාරම පිළිබඳ සොයාබලා නිසි පියවර ගන්නා ලෙස සීනි ආනයනකරුවෝ ජනාධිපති කොමිසමට පැමිණිලි කරමින් ඉල්ලා සිටියහ.
දැනට සීනිවලට අයකරන බද්ද කිලෝවකට රුපියල් 13.50 වන අතර මේ නිසා මෙයට පෙර කිලෝව රුපියල් 90 වූ සීනිවල මිල කිලෝව රුපියල් 103.50 දක්වා ඉහළ නැග තිබේ. ආණ්ඩුව නියෝග කර ඇත්තේ සීනි කිලෝවක උපරිම තොග මිල රුපියල් 102 විය යුතු බවය. ඒ අනුව සීනි අලෙවි කරන විට කිලෝවකට රුපියල් 1.50ක පාඩුවක් සිදුවන බව ආනයනකරුවෝ කියති. එසේම රුපියල් 102ට අලෙවි කරන සීනි කිලෝවක බද්ද පමණක් රුපියල් 49ක් වෙයි. මේ නිසා ජනතාවට සීනි කියා කන්නට වී ඇත්තේ බදුය. සීනි සිල්ලර මිල ඉහළ නොයන බවට ආණ්ඩුව පුන පුනා ප්‍රකාශ කළද මේ වනවිට කිලෝවක සිල්ලර මිල රුපියල් 120-125 දක්වා ඉහළ නැග ඇති බව වාර්තා වේ.
කෙසේ වුවද සීනි ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති හේමන්ත ලොකුමාන්න පවසන්නේ ඉන්දියාවේ සීනි නිෂ්පාදනයේ අතිරික්තයක් ඇති අතර, සීනි අපනයනය කරන විට මෙට්‍රික් ටොන් 1කට අමෙරිකානු ඩොලර් 120ක විශේෂ සහනාධාරයක් එරට දෙන බවයි. එය ලබන මාසයේ සිට ඩොලර් 240 දක්වා වැඩි කිරීමටද ඉන්දියාව සැලසුම් කර ඇතැයි ඔහු කියයි. එහෙත් අපේ රටේ සිදුවන්නේ එහි අනිත් පැත්තයි. ආනයනකරුවන්ට බදු ගසා ඔවුන් අධෛර්යයට පත්කිරීමයි. ආණ්ඩුව බදුවලින් ආදායම උපයන අතර ආනයනකරුවන් සහ පාරිභෝගිකයෝ අපහසුතාවයට පත්ව සිටිතියි ඔහු කියයි.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් හේමක ප්‍රනාන්දු:
ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තිබිය යුතුයි. භාණ්ඩ මිල ඉහළ දමා එය නැතිකළ නොහැකියි. ව්‍යාපාරිකයන් ලෙස අපිද පාරිභෝගිකයන්ද රැකෙන්න ඕනෑ. අද බදු අයකිරීම නිසා මේ දෙපාර්ශ්වයම අමාරුවෙන් ඉන්නේ. අපි මේ පිළිබඳ ආණ්ඩුව සමඟ සුහද ලෙස සාකච්ඡා කර ප්‍රශ්නය විසඳාගන්න උත්සාහ කරනවා.
බදු ඉහළ යාම නිසා ව්‍යාපාර කඩා වැටීමත් සමඟ භාණ්ඩ මිල ඉහළ යාම නිසා ජනතාවද දැන් අසීරුතාවකට පත්වෙලා. අද දේශීය හා විදේශීය ව්‍යාපාරිකයන් දෙගොල්ලම අමාරුවේ. ආණ්ඩුව බදු ගහන ක්‍රමවේදයේ කිසිම ප්‍රතිපත්තියක් නැහැ. එක භාණ්ඩයට කිහිප වරක් බදු වැටෙනවා. සමහර ප්‍රබල ව්‍යාපාරිකයන් විවිධ උපක්‍රම යොදාගෙන තමන්ට ගෙවන්න වෙන බදු අඩුකර ගන්නවා. මා නම් විශ්වාස කරන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින් අයකරන බදු අවම කිරීමේ ප්‍රතිපත්තියකට ආණ්ඩුව යා යුතු බවයි. බදු වැඩි කළ ප්‍රමාණයට වඩා වැඩියෙන් භාණ්ඩ මිල ඉහළ යාම තමා කවදත් අපේ රටේ තිබුණේ. ඒ නිසා ආණ්ඩුව බදු ආදායම ලබාගන්නා ගමන්ම ජනතාවට සහන සැලසීමද කළ යුතුය යන්න මගේ අදහසයි. එසේම ව්‍යාපාරිකයන්ද හිරිහැරයට පාත්‍ර නොකළ යුතුයි. විදේශ ආයෝජකයන් රටට ඇද ගැනීම සඳහා ස්ථාවර බදු ප්‍රතිපත්තියක් තිබිය යුතුය යන්න ගැන තර්කයක් නැහැ. ඒ නිසා අප යන ගමන් මගේ සුදුසු සංශෝධන කළයුතු වෙනවා. අද පවතින ආර්ථික ප්‍රතිපත්ති රටට ගැලපෙන ලෙස වෙනස් කිරීම අවශ්‍යයි. එවිට තමා දේශීය විදේශීය ව්‍යාපාරික ප්‍රජාව රට ගැන විශ්වාසය තබන්නේ.
සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලර ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති බන්දුල ජයමාන්න පවසන්නේ මේ වනවිට වෙළෙඳුන්ට තම ව්‍යාපාර මුළුමනින්ම වසා දැමීමට සිදුවන තත්ත්වයක් උද්ගතව ඇති බවයි.
“ආණ්ඩුවේ අවිධිමත් බදු ක්‍රමය නිසා තොග සහ සිල්ලර වෙළෙඳාම මේ වනවිට අඩකට වැඩියෙන් කඩාගෙන වැටිලා. මෙහෙම වුණොත් ඉස්සරහට අපේ ව්‍යාපාර සියල්ල වසා දැමීමට වෙනවා. මෙයට වසර එකකට උඩදී ආණ්ඩුව අත්‍යවශ්‍ය ආහාරවලට අසීමිතව බදු පැනවූවා. දැන් නැවතත් බදු පනවමින් යනවා. ඇත්තටම කිව්වොත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට මෙහෙම බදු පනවපු රටක් ලෝකයේ වෙන කොහේවත් නැතැයි කියන්න පුළුවන්. සත්‍ය තත්ත්වය එයයි.
අපි මේ වනවිට අපේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලින් සියයට 95ක් පමණ ආනයනය කරනවා. එහෙම ගෙනෙන බඩු ලංකාවේ නිෂ්පාදිත මිලට වඩා අඩුවෙන් දෙන්න පුළුවන්. අද රටට අවශ්‍ය මිරිස් විශාල වශයෙන් ගෙන්වන්නේ පිටරටින්. පිටරටින් ගෙන්වන මිරිස් කිලෝව රුපියල් 280කට දෙන්න පුළුවන්. ඒත් ලංකාවේ නිෂ්පාදනය කරලා ඒ මිලට දෙන්න බැහැ. අද අපේ රටේ අමු මිරිස් කිලෝව රුපියල් 400-500ක් වෙනවා. වියළි මිරිස් කිලෝවක් හදන්න අමුමිරිස් කිලෝ තුනක් අවශ්‍ය වෙනවා.
එහෙම වුණොත් අවම වශයෙන් වියළි මිරිස් කිලෝවක් රුපියල් 1500ක් වෙනවා. ඉතින් පිටරටින් ගෙන්වන්නේ ඒ නිසයි.
2015 වසර දක්වා භාණ්ඩ ආනයනය කිරීමේදී පුද්ගලයන් හතර දෙනෙකුගෙන් අය කළේ සෑම රුපියල් 100ක වටිනාකමකටම රුපියල් 11ක බද්දක් පමණයි.
අපට කෙළින්ම විදේශවලින් භාණ්ඩ ගෙන්වන්න බැහැ. අපි ගෙන්වන්නේ ඒජන්තවරුන් මාර්ගයෙන්. ඒජන්තවරුන් විශාල වශයෙන් තොග ගෙන්වන නිසා අඩුමිලට ගෙන්වන්න පුළුවන්. ඊළඟට ආනයනකරුවා, තොග වෙළෙන්දා, සිල්ලර වෙළෙන්දා මේ හතර දෙනාගෙන්ම බදු අයකරනවා. බදු ඉහළ නැංවීම නිසා 2015ට පෙර රැපියල් සියයකට රුපියල් 11 වූ බද්ද මේ වනවිට රුපියල් 100ට රැපියල් 37 දක්වා ඉහළ නැගලා තියෙනවා. මෙහෙම බදු අයකිරීම නිසා භාණ්ඩ මිල ඉහළ යාමෙන් පාරිභෝගිකයාට මිලදී ගැනීමේ හැකියාව අඩුවෙලා. මේ හේතුවෙන් අද වනවිට රටේ තොග සහ සිල්ලර වෙළෙඳාම කඩා වැටිලා තියෙන බව කිව යුතුයි. වෙළෙඳුන් සහ පාරිභෝගිකයන් ගැන සලකලා ආණ්ඩුව මෙයට ඉක්මණින් විසඳුමක් දිය යුතුයි. එයට වහා ක්‍රියාත්මක නොවුණහොත් සිදුවන අයහපත විශාලයි.
මගේ දැනුමේ හැටියට නම් බදු ඉහළ නැංවීම සිදුවීමට හේතුව වන්නේ බදු හරිහැටි එකතු නොකිරීමයි. දැනට ඇති මට්ටමෙන් බදු හරිහැටි එකතු කරනවා නම් මෙලෙස අසීමිත ලෙස බදු ඉහළ දැමිය යුතු නැහැ. ආණ්ඩුව කරන්නේ බදු එකතු කිරීමට උනන්දුවක් නොදක්වා බදු ප්‍රතිශතය ඉහළ දමන එකයි. බදුවලින් සියයට 50කට වඩා එකතු නොවන වග ආණ්ඩුවේ ඇමැතිවරුද පිළිගෙන තිබෙනවා.
උදාහරණයක් වශයෙන් කිවහොත් මා ඉන්න නගරයේ ව්‍යාපාරිකයන් 176ක ගෙන් ජාතිය ගොඩනැගීමේ බද්ද ගෙවන්නේ 10 දෙනයි. ඉතින් මෙයින් පේනවා බදු එකතුවන තරම. රජය වක්‍ර බදු පනවලා දුප්පත් ජනතාවගෙන් අයකර ගන්නවා මිසක ධනපතියන්ගෙන් ඍජු බදු අයකිරීමට උනන්දුවක් දක්වන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ නියම විදිහට බදු ගෙවන කෙනාට ගෙවන්න බැරිව කඩාගෙන වැටෙන එකයි. මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරිකයන් එන්න එන්නම අමාරුවේ. ඍජු හා වක්‍ර බදු යන දෙආකාරම බදුවලට ඒ අයට මුහුණ දෙන්න වෙලා තියෙනවා.
අද සුපිරි වෙළෙඳසල් නිසා අපේ සිල්ලර භාණ්ඩ අලෙවිය සියයට 20ට බැහැලා. ආණ්ඩුව සෑම පහසුකමක්ම සලසන්නේ ඒ අයටයි. ඒ අය අපෙන් බඩු ගන්නේ නැහැ. ඍජුව ගෙන්වීමට ආණ්ඩුව පහසුකම් දීලා තියෙනවා. ඒ වාගේම එම වෙළෙඳසල් ජාලවල ඇති දැඩි ප්‍රචාරණය නිසා පාරිභෝගිකයා ඒවාට යනවා. අපේ සංගමයට අනුබද්ධ වෙළෙඳ ජාලයේ එක්ලක්ෂ විසි දහසක පමණ සාමාජිකයන් ඉන්නවා. ගම්බදව සහ නගරබදව ඒ සියලුදෙනාටම අද රටේ තත්ත්වය ඉතාම අහිතකර ලෙස බලපානවා. අලුතින් ව්‍යාපාරවලට ඇදිලා එන අය අද බොහොම අඩුවෙලා. එයට හේතුව ව්‍යාපාරවල අවිනිශ්චිත භාවයයි.
ආණ්ඩුවට බදු ගහන්න වුණත් ව්‍යාපාරිකයන් ව්‍යාපාර කළ යුතුයි. එහෙත් ඒ අයගේ ව්‍යාපාර කඩා වැටුණොත් කාගෙන්ද බදු අය කරන්නේ. ඒ නිසා ව්‍යාපාරිකයන්ට සහන දීලා ඒ අයට ව්‍යාපාරවලට පහසුකම් සැලසීම ආණ්ඩුව කළ යුතුයි. එහෙම කිසිවක් නොකර ව්‍යාපාර වහන තත්ත්වයට පත්කරන්න බදු අය කළොත් ලොකු කුඩා කාටවත් ඉදිරියට යන්න බැහැ. ව්‍යාපාරිකයන් ලාභය තබාගෙනයි අලෙවි කරන්නේ. එහෙම නැතිව සල්ලි යට කරලා බලා ඉන්න බැහැ. බොහෝ දෙනා බැංකු ණයවලින් තමා දුවන්නේ. අද බැංකු පොලිය අධිකව ඉහළ ගිහින්. බැංකු අයිරා පොලිය සියයට 30 දක්වා ඉහළ ගිහින්. ණය පොලිය සියයට 16 ඉක්මවා වැඩිවෙලා. ඉතින් මේ තත්ත්වය මත ව්‍යාපාරිකයන් නැගී සිටින්නේ කෙසේද?
ආනයනවලට රුපියල අවප්‍රමාණවීමෙන් වැඩියෙන් ගෙවන්න වෙලා තියෙන පරිසරයක ආණ්ඩුව තවත් බදු වැඩිකිරීම ගහෙන් වැටුණ මිනිහාට ගොනා ඇන්නා වගේ වැඩක්.”
♦ යසවර්ධන රුද්රිගු