2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

වසර 5කට පසු එළියට පැන්න බුලත්සිංහල මිනීමැරුමේ ඔත්තුව

2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:0078

මිනීමැරුමක් සිදුකළ අයෙක් කිසිම දිනක සැනසිල්ලේ නිදා නොගන්නා බවත්, මිනීමැරුමක් සදාකාලික රහසක් ලෙස තබා ගත නොහැකි බවත් අප සමාජයේ පවතින පොදු අදහසකි. එවැන්නක් කාලයේ වැලිතලාවෙන් වසා දැමීමට කෙලෙස උත්සාහ කළත් දියේ ගිල්වූ රබර් බෝලයක් පරිද්දෙන් කවදා හෝ මිනීමැරුමක් හෙළිවන බව නැවත සනාථකරන සිදුවීමක් පසුගියදා බුලත්සිංහල පොලිස් වසමේ මෝල්කාව බෝගහහේන ප්‍රදේශයෙන් වාර්තා විය.

බුලත්සිංහල මෝල්කාව බෝගහහේන ප්‍රදේශයේ පදිංචිව සිටි කුරුඳුකාරගේ සිරිසේන නොහොත් සිරියා (52) එදිනෙදා කුලී වැඩක් කරගෙන ගමේ කා අතරත් හොඳ හිත දිනාගෙන ජීවත්වූ අවිවාහක පුද්ගලයෙකි. සහෝදර සහෝදරියන් හයදෙනෙකුගේ පවුලේ බාලයා ලෙස උපන් සිරිසේනට ගමේ අය ඇමතුවේ සිරියා නමිනි.

සිරිසේන තම වයස්ගත මව සමඟ ලෑලි ගැසූ නිවසේ පදිංචි සිටියදී මවගේ වියෝවෙන් අනතුරැව එම නිවසේ තනිව ජීවත්වීමට ඔහු හුරුවූයේ සහකාරියක් කැන්දාගෙන ඇවිත් ඇයව රුකබලා ගැනීමට තරම් වත්කමක් ඔහුට නැති නිසා විය හැකිය. ඒ නිසා උදෑසන ගමේ කාගේ හෝ කුලී වැඩක් සොයායන සිරිසේන උදේ දවල් ආහාරය එම කුලී වැඩ කරන තැනකින් ලබාගෙන වැඩ අවසන්ව නිවසට පැමිණෙන අතර සමහර දිනවලදී ගම අසලින් ගලාබසින කුකුලේගඟේ ඉවුරේ සිට මාළු කීප දෙනෙක් අල්ලාගැනීමට පුරැදුව සිටියේ රූට කටට රසට බත් ටිකක් කෑමටය.

මෙසේ කාටවත් කරදරයක් නැතිව ජීවත් වූ සිරිසේන 2013 වසරේ සැප්තැම්බර් මාසයේ 05 වැනි දින සවස නිවසට නොපැමිණි බව ඔහුගේ වැඩිමහලු සහෝදරයාගේ නිවසේ අයට දැනගන්නට ලැබිණි. ඔහුව සොයා මුළු ගම පීරමින් සොයා බැලුවත් ඔහු පිළිබඳව හෝ ඔහුව දුටු අයෙක් පිළිබඳ තොරතුරක් සොයාගැනීමට ඔවුනට නොහැකි විය.

අවසානයේ සිරිසේනගේ වැඩිමහලු සොහොයුරාගේ පුතකු 2013 සැප්තැම්බර් 07 වැනි දින බුලත්සිංහල පොලිසියට ගොස් තම බාප්පා අතුරුදන් වී ඇති බවට පැමිණිල්ලක් සටහන් කළ අතර එය 2013/09/07 දින CIB(2) 307 /69 ලෙස පොලිස් පොතේ සටහන්වී තිබුණි. පොලිසියේ පැමිණිලි කර පැමිණ සිරිසේනගේ පවුලේ ඥාතීන් තවදුරටත් සිරිසේනව සෙවීමේ නිරත වූයේ ගමේ හිතවතුන්ගේද සහාය ඇතිවය.

මෙසේ සොයන අතරතුර එම ගමට කිලෝමීටර් එකහමාරකට පමණ දුරකින් පිහිටි පරගොඩ තොටුපොළ පහළින් කුකුළේ ගඟේ තිබී සිරිසේනගේ නිසල සිරුර හමුවිය. එම ස්ථානයට පැමිණි බුලත්සිංහල පොලිසියේ නිලධාරීන් විසින් එම ප්‍රදේශයේ හදිසි මරණ පරීක්‍ෂකවරයා එම ස්ථානයට කැඳවා කරන ලද හදිසි මරණ පරීක්ෂණයේදී ඔහුගේ නියෝගය අනුව සිරිසේනගේ මෘතදේහය හොරණ රෝහලට යවා අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් පවත්වන ලදී. එහිදී හෙළිවූයේ සිරිසේන මියගොස් ඇත්තේ දියේ ගිලීමෙන් නොව ඔහුගේ හිසට මුගුරක් වැනි දෙයකින් කරන ලද පහරදීමකින් බවය. ඒ අනුව සිරිසේනගේ මරණය මිනීමැරුමක් බවට තීරණය කළ අධිකරණය ඔහුගේ මරණයට සම්බන්ධ අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.

දින සති මාස පසුකොට වසර කීපයක් ගතවුවත් සිරිසේනගේ මරණය සිදුකළ අය පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි විය. ගමේ සමහරැ සිරිසේනගේ මරණය එම ගමේම දුක් මහන්සියෙන් ඉගෙනගෙන රජයේ රුකියාවක නිරත වූ අහිංසක තරැණයෙකු දෙසට යොමුකරන්නට ගත් උත්සාහයන්ද අසාර්ථක විය. මෙසේ සිරිසේන මියගොස් වසර 5 ක් ගතවූයේ පසුගිය 06 වැනිදාටය. ඊට ටික දිනකට පසුව මෝල්කාව බෝගහහේන ප්‍රදේශයට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් එම ගමේම ජීවත්වූ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්හ. ඒ පිළිබඳව සොයාබැලූ ගැමියන්ට දැනගැනීමට ලැබුණේ මීට වසර 05 කට පෙර මියගිය සිරිසේනගේ මරණයට සැකපිට එම දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගත් බවයි.

එසේ අත්අඩංගුවට ගත් දෙදෙනා සිරිසේන කුලීවැඩ කළ කුරුඳු ඉඩමේ මුදලාලි සහ ඔහුගේ ගෝලයෙකු මෙන්ම සිරිසේනගේ ඥාතියෙකු වන අයෙකි. එම මුදලාලිද සිරිසේනගේ ඥාතිවරයෙකි. මෙම ව්‍යාපාරිකයා සහ ඔහුගේ ගෝලයා අත්අඩංගුවට ගත්තේ කළුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය මගිනි.

සිරිසේන හෙවත් සිරියාගේ මරණයට වගකිවයුත්තන්  පිළිබඳව කිසිදු තොරතුරක් පොලිසියට හෝ ඔහුගේ ඥාතීන්ට සොයාගැනීමට නොහැකි වූයේ එම මරණය සිදුකළ අය කිසිදු සාක්‍ෂියක් ඉතිරිකර නොතිබූ හෙයිනි. ඒ නිසා වසර 5 ක් පමණ කාලයක් ගතවන විට සිරිසේනගේ මරණය හෝ ඔහු පිළිබඳව මතකය අමතකව යමින් තවත් කාලයේ වැලිතලාවෙන් වැසීගිය නොවිසඳුණු මිනීමරුමක් බවට පත්වී තිබුණි.

කෙසේ වෙතත් සිරිසේනගේ මරණය පිළිබඳව අමතක නොකළ කිහිපදෙනෙක්ද සිටියහ. ඔවුන් අතර කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න සහ මතුගම කොට්ඨාස 1 භාර පොලිස් අධිකාරි සංජය ඉරසිංහ මහත්වරුද වූහ. ඒ නිසා සිරිසේනගේ මිනීමරැවන් පිළිබඳව සෙවීමට මෙවැනි කටයුතු පිළිබඳව සුවිශේෂී දක්‍ෂතා පෙන්වා ඇති කළුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක තිලංග සංජීව ඇතුළු කණ්ඩායමට මීට වසර එකහමාරකට පෙරදී භාරවුණි.

ඒ අනුව සිරිසේන සමඟ ව්‍යාපාරිකයාගේ කුරුඳු ඉඩමක කුරුඳු තැලූ කෑගල්ල ප්‍රදේශයෙන් පැමිණි අයෙකු සිරිසේනගේ මරණයත් සමඟ ප්‍රදේශය අත්හැර ගොස් ඇතිබව හෙළි විය. ඔහු සොයා කළුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීහු මෙහෙයුමක් දියත් කළහ. ඒ අනුව එම පුද්ගලයා දොම්පේ ප්‍රදේශයේ සිටියදී සොයාගෙන ප්‍රශ්න කිරීමේදී වසර පහක් අභිරහසක්ව පැවති සිරිසේනගේ මරණය සිදුවූ ආකාරය සහ ඔහු මරණයට පත්කළ පුද්ගලයන් පිළිබඳව හෙළිකර ගැනීමට හැකිවී ඇත.
ඒ අනුව 2013 වර්ෂයේ සැප්තැම්බර මාසයේ දිනක සන්ධ්‍යාවක තමාත් මියගිය සිරිසේන හෙවත් සිරියාත් මොල්කාවේ කුකුලේගඟ ඉවුරේ මාළු බාමින් සිටියදී තමන් කුරුඳු තලන ඉඩම අයිති මුදලාලිත් ඔහුගේ ගෝලයෙකුත් එම ස්ථානයට පැමිණ සිරිසේනගේ හිසට කුරැඳු පොල්ලකින් ගැසූ බවත් එම පහර වැදීමත් සමඟ සිරිසේන කුකුලේ ගඟට වැටුණු බවත්, තමා මෙම සිදුවීම දුටු බව දැනගත් මුදලාලි තමා වෙතට පැමිණ තුවක්කුවක් එල්ලකර මේ පිළිබඳව කිසිවකුටවත් කිව්වොත් තමාවද මරණ බවට තර්ජනය කර වහාම එම ප්‍රදේශයෙන් පිටවී යන ලෙසට බලකළ බවත් කීය.

මෙම අපරාධය පිළිබඳව පොලීසියට පැවසීමට තමාට වුවමනාව තිබුණත් මුදලාලිගේ තර්ජනයත් සමඟ තමාට මරණ භය ඇතිවූ නිසා කිසිවකුට නොකියා දොම්පේ ප්‍රදේශයට ගොස් ජීවත් වූ බවද තමා මුදලාලිගේ කුරැඳු සොරකම් කර ගමෙන් පළාගොස් ඇති බව මුදලාලි ගමේ අයට පවසා ඇති බවත් ඔහු තවදුරටත් හෙළිකර ඇත.

ඒ අනුව කළුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් මෝල්කාව ප්‍රදේශයේ වෙළඳ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරැවකු වන පුද්ගලයෙකු සහ ඔහු යටතේ සේවය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත්තේ යමෙක් අපරාධයක් කළ පසු එය කාලයටවත් වළ දැමීමට නොහැකි බවත් පසක් කරමිනි.

මෙසේ අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා තමාට අයත් බලපත්‍රලත් ගිනිඅවියෙන් සතුන් දඩයම් කර එම දඩමස් විවිධ තරාතිරමේ පොලිස් නිලධාරීන්ට ලබාදෙමින් හිතවත්කම් පවත්වා ඇති අතර එම නිසා මෙම මරණය පිළිබඳව කිසිදු සැකයක් ඔහු වෙතට එල්ල වී නොමැති බවද පරීක්ෂණවලදී හෙළිවී ඇත. වසර පහකට පසුව හෝ තම ඥාතියාගේ මරණයට වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව සිරිසේනගේ පවුලේ ඥාතීන් සහ ගම්වාසීහු පොලිස් නිලධාරීන්ට තම ප්‍රණාමය පුදකර සිටිති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත්කිරීම සඳහා බුලත්සිංහල පොලිසියට භාරදී ඇති අතර කළුතර දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, කළුතර කොට්ඨාශ භාර පොලිස් අධිකාරී උපුල්  නිල්මිණි ආරියරත්න, මතුගම කොට්ඨාස 1 භාර පොලිස් අධිකාරී සංජය ඉරසිංහ යන මහත්වරැන්ගේ උපදෙස් මත කළුතර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක තිලංග සංජීව, පොලිස් සැරයන් 3457 ඉන්දික, 27118 සමන්, පොලිස් කොස්තාපල් වරැන් වන 37109 රත්නායක, 44817 ගුණවර්ධන, 48256 ජයරත්න, 49251 සරත්, 52817 රොෂාන්, 4298 කුමාරසිරි, පොලිස් කොස්තාපල් රියදුරැ 80776 කරැණාරත්න යන නිලධාරීහු වැඩිදුරටත් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වති.

I මතුගම බන්දු තඹවිට