2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

මැල් නැත්නම් පුරාවිද්‍යා කැණීම් නෑ

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 307

මැල් කියන්නේ අපේ පුරාවිද්‍යාවට සම්පතක්. අද විශ්ව විද්‍යාලවලින් පුරාවිද්‍යා උපාධිධාරීන් ඕනෑතරම් බිහිවෙනවා. නමුත් ප්‍රායෝගික දැනුමක් නෑ. පොතේ දැනුම තමයි තියෙන්නේ. ක්ෂේත්‍රයේ වැඩ කරන්න ගියාම පුස්සක්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මැල් වගේ 10 දෙනෙක්වත් ඕනෑ. මම 1969 කැණීම් පටන්ගන්න කොට සහායට උපාධිධාරීන් කවුරුවත් හිටියේ නෑ. මම කැණීම් කළේ කම්කරැවන් සමඟ. ඒ වගේ පුරාවිද්‍යාවට පැමිණි කම්කරුවෙක් තමයි ඒ.වී.ඒ. ද මැල් කියන්නේ. මගෙන් ඉගෙනගෙන ඉහළටම ගිය කෙනා තමයි මැල්

එලෙස පැවසුවේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මතු නොව ආසියාවේ සිටින විශිෂ්ට පුරාවිද්‍යාඥයෙක් ලෙස ද සම්භාවනා ලබන ආචාර්ය ශිරාන් දැරණියගලයි. පසුගියදා ලක්ෂපති විදානගේ ඇල්ෆ්‍රඩ් ද මැල්ගේ පුරාවිද්‍යා මෙහෙවර අගය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව චාම් උත්සවයක් සංවිධානය කර තිබිණි. එයට සහභාගී වීම සඳහා ආචාර්ය ශිරාන් දැරණියගල කුරැවිට සිට පැමිණ සිටියේ තෑග්ගක් ද උස්සාගෙනය. පුරාවිද්‍යා නිලධාරීන් රාශියක් ද පාසල් සිසුන් පිරිසක් ද එම උත්සවයට එක්ව සිටියහ.

මැල් පාංශු ස්තර හඳුනාගැනීමේ විශේෂඥයෙක්. ඔහු පාන්දර 4.00ට නැගිටලයි වැඩ පටන්ගන්නේ. උදේ 7.00 වනවිට ක්ෂේත්‍රයට එනවා. කැණීම් ආරම්භ කරනවා* ආචාර්ය දැරණියගල අතීතය සිහිපත් කරමින් වැඩිදුරටත් කීවේය.

මගේ උපන් ගම අනුරාධපුරය. දැනටත් පදිංචිව ඉන්නේ අනුරාධපුරයේ තිසා වැවට කිට්ටුව. අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයේ ඉගෙනගත්තේ. සාමාන්‍ය පෙළ විභාගය ගත්තේ 1969දී. විෂයයන් හයකට සම්මාන සහිතව සමත් වුණා. නමුත් දිගටම ඉගෙනගන්න බැරි වුණා. ඒ අතර අපේ ගෙවල් ළඟ හිටපු පුරාවිද්‍යාවේ වැඩ කළ මාටින් මාමා කියලා කෙනෙක් මන්නාරම පුරාවිද්‍යා කැණීමක් කරනවා’ ඒකට සම්බන්ධ වෙන්න කියලා කිව්වා. මමත් 1971 ජූලි මාසේ 26 දා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බැඳුණා ප්‍රදේශයෙන් බඳවාගත් අනියම් කම්කරැවෙක් විදිහට. එතකොට පුරාවිද්‍යා කොමසාරිස් හිටියේ ආචාර්ය රාජා ද සිල්වා මහත්තයා. කැණීම් භාරව හිටපු අධ්‍යක්ෂකවරයා සරත් වත්තල මහත්තයා. ඊට පස්සේ මාතොට තිරැකේතීශ්වරම් කැණීම්වලට සම්බන්ධ වුණා. 1971 සිට 1975 දක්වා මම හිටියේ මාතොට කැණීම් භූමියේ. අව් වැසි සුළංවලට මුහුණ දෙමින් අපි කැණිම් කළා.

අද පුරාවිද්‍යාව දියුණුය. පහසුකම් සහිතය. එදා නිලධාරීන් මෙන්ම මැල් ඇතුළු කම්කරැවන් ද වැඩ කළේ අවම පහසුකම් යටතේ කට්ට කමිනි. මේ ඔහු එවැනි අත්දැකීමක් සිහිපත් කරන ආකාරයයි

1975දී මම ගියා විල්පත්තු අභය භූමියේ කුදිරමලේ කැණීම්වලට. ඒ කාලේ සැතපුම් 45ක් කැලේ ඇතුළට යා යුතුයි කුදිරමලේට යාමට. මුහුද අයිනේ තමයි කැණීම් බිම පිහිටා තිබුණේ. අවුරුද්දකට මාස දෙක ගාණේ අවුරුදු තුනක් කැණීම් කළා. කුදිර කියන්නේ දෙමළෙන් අශ්වයානේ. මලෙයි කන්ද. එම කැණීම්වලදී පනින අශ්ව රැවක් සහිත හුණු බදාම තිබුණු ගඩොල් ප්‍රාකාරයක් හමුවුණා. ඒක අනුරාධපුර යුගයට අයිති බැම්මක්. නමුත් ඒවා සංරක්ෂණය කිරීමට බැරිවුණා. ඊට පසු දුෂ්කරතා නිසා එම කැණීම් අත්හැර එන්න වුණා. 

ඒ අපි ජීවිතේ කළ අන්තිම දුෂ්කර කැණීමක්. වතුර නෑ. කැණීම් බිමට අපි විශාල බැරල්වල වතුර ගෙන ගියා. හාල් සෝදන්නේ මුහුදු වතුරෙන්. හාල් ලිපේ තියන්න විතරක් මිරිදිය ගන්නවා. නාන්නේ ඇඟපත සෝදන්නෙත් මුහුදු වතුරෙන්. ඒ කාලේ අපට ෆෝ වීල් වාහන තිබුණේ නෑ. වාහන කැලේදි කැඩුණම දවස් 4 – 5 කැලේ මැද හිටපු අවස්ථාත් තිබුණා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බැඳෙන විට මැල් අවුරැදු 19ක ගැටවරයෙකි. දැන් ඔහුගේ වයස අවුරුදු 68කි. ඔහු අවුරුදු 37ක්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සේවය සැපයීමට සැදී පැහැදී සිටින්නෙකි. ඔහු වර්ෂ 2006 නිල වශයෙන් විශ්‍රාම ලැබුවේය. විශ්‍රාම ලබන විට මැල් පුරාවිද්‍යා කැණීම් නිලධාරියෙකි. නමුත් ඔහුගේ කැණීම් ජීවිතයට නම් විශ්‍රාමයක් නැත. ඒ තම සිරැරේ දුවන පුරාවිද්‍යා ඇල්ම නිසාය. ඊට පසු අද දක්වාත් ඔහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අවශ්‍ය විට කැණීම් පිළිබඳ තම ඥානය පුද කිරීමට සූදානමින් සිටී. කැණීම්වලට සහභාගී වෙමින් තම අත්දැකීම් ලබාදෙමින් දායකත්වය දක්වයි.

මම 1976දී අනුරාධපුරයට මාරැවීමක් අරගෙන ආවා. ඊට පස්සේ වවුනියාවේ නෙලුම්කුලම සහ සමලංකුලම දාගැබ් දෙක කැණීම් කළා ආචාර්ය රාජා ද සිල්වාගේ අධීක්ෂණය යටතේ. ඒ කැණීම් අසාර්ථකයි කියලයි මම අදනම් හිතන්නේ. ගර්භය දක්වා කැණීම් කරලා පසුව ත්‍රස්තවාදී ප්‍රශ්න නිසා නවතා දැමීමට සිදුවුණා. සංරක්ෂණය කළෙත් නැහැ. ඒ කාලේ පුරාවිද්‍යා කැණීම් කළේ විද්‍යාත්මක පදනමකින් නොවෙයි. පුරාණ ගොඩනැගිලි පාදාගෙන සංරක්ෂණය කිරීමයි සිදු කළේ.

මැල්ගේ ජීවිතයේ වෙනසක් ඇති කළේ ආචාර්ය ශිරාන් දැරණියගලයි. ඔහුට ආචාර්ය දැරණියගල මුණගැස්සුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියකු වූ එල්.එම්. සල්දීන්ය. සල්දීන් මේ ධෛර්යවන්ත තරැණයා එවකට කිතුල්ගල බෙලිලෙනෙහි ප්‍රාග් ඓතිහාසික මානවයා ගැන කරැණු සොයමින් සිටි දැරණියගල වෙත යොමු කළේය.

ඒ 1979 අවුරුද්දයි. මේ වෙනකොට මම පුරාවිද්‍යාවට ඇවිත් අවුරුදු 10කට ආසන්නයි. කැණීම් ගැන ලොකු ආසාවක් තිබුණා. බෙලිලෙනේ හිටපු දැරණියගල සර් මා දිහා බලලා පොල්කටු හැන්දයි, පොයින්ට් හැන්දයි, පොඩි මේස හැන්දකුයි දුන්නා කැණීම් කිරීමට. මට අහස පොළොව වගේ හිතුණා. දවසකට පස් බාල්දියක්වත් කැණීම් කරන්නේ නැහැ. ඒ වගේ කැණීමක් ගැන මම කවදාවත් අහලා තිබුණේ නැහැ. වටපිට බලනකොට දැක්කා පැට්‍රෝල් මැක්ස් ලාම්පු 35ක් විතර වළ ඇතුළේ පත්තු කරලා. ඒ එළියෙන් කැණීම් වළේ බිත්ති අපූරැවට එළිය වෙලා.

ඊටපස්සේ දැරණියගල මහත්තයා මා ඇතුළු කණ්ඩායමකට අවුරුදු හතරක් විතර පුහුණුවක් දුන්නා පාංශු ස්ථර අධ්‍යයනය ගැන. ඔහුත් සමඟ වැඩ කරලා තමයි මම කැණීම් ගැන අවබෝධයක් ලබාගත්තේ. මේක භාරදූර වැඩක් බව මම දැනගත්තා. හැම පුංචි සාධකයක් ගැනම සැලකිලිමත්. වළ ළඟ ටයිප් රයිටරයක් තියාගෙන හැම දත්තයක්ම දැරණියගල මහත්තයා සටහන් කර ගන්නවා. ප්‍රස්තාර කොළවල කැණීම් අවධි ගැන අඳිනවා. විද්‍යාත්මක පදනමකින් හා තාක්ෂණයකින් ලංකාවේ පුරාවිද්‍යා කැණීම් ආරම්භ කළේ දැරණියගල මහත්තයි.

දැරණියගල මහතා සමඟ මැල් ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාග් ඓතිහාසික එළිමහන් ස්ථාන සහ ලෙන් භූමි කැණීම්වලට සහභාගි වුණේය. මිනිහාගල්කන්ද, බූන්දල, පතිරාජ, බෙල්ලන්බැඳි පැලැස්ස, අනුරාධපුරය, මාතොට, බෙලිහුල්ඔය, බණ්ඩාරවෙල යන එළිමහන් ස්ථාන හා කිතුල්ගල බෙලිලෙන, කුරැවිට බටදොඹ ලෙන, බුලත්සිංහල පාහියංගල ලෙන, කෑගල්ල අළුලෙන, වරකාපොල දොරවක ලෙන, රාවණා ඇල්ල ගල් ලෙන යන ලෙන් භූමිත් කැණීම් කිරීමට මැල් සහභාගි වුණේය.

ශිරාන් දැරණියගල තම ආචාර්ය උපාධිය සඳහා එංගලන්තයේ හාවඩ් විශ්ව විද්‍යාලයට ඉදරිපත් කිරීමට යෝජිත නිබන්ධනය Pre History Of Sri Lanka. an Ecological Perspective නම් විය. ඒ සඳහා කළ  පර්යේෂණ කැණීම්වල ප්‍රධාන කැණීම් ශිල්පියා වූයේ මැල්ය. ශිරාන් දැරණියගල ඉදිරිපත් කළ නිබන්ධනයට හාවඩ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය පිරිනැමිණි. එමතු නොව එම නිබන්ධනය දකුණු ආසියාවේ පුරාවිද්‍යාව ජාත්‍යන්තර තලයට ගෙන ගිය පර්යේෂණයක් ද විය. ආචාර්ය දැරණියගල මහත්තයා උපාධි නිබන්ධනය වෙළුම් දෙකක් වශයෙන් මුද්‍රණය කළ පසු මාව හම්බවෙන්න ආවා. පොත් දෙක මට තෑගි කළා. ආචාර්ය උපාධි නිබන්ධනයේ මම වෙනුවෙන් වෙනම තීරැවක් වෙන් කරලා තිබෙනවා. ලංකාවට පැමිණි විවිධ රටවල මහාචාර්යවරැ මගේ සේවය අගය කළා.

ගල් ගුහාවල පස් තට්ටු වෙන්කර ගන්නා විදිහත් ඒ ඇසුරින් අතීත මිනිසුන්ගේ සංස්කෘතික ක්‍රියාකාරකම් හඳුනාගන්නා විදිහත් ගැන අපිව පුහුණු කළා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහත්තයා පුහුණු කළේ ගල් ආයුධ පිළිබඳවයි. මා සහ අපේ කැණීම් කණ්ඩායම පස් තට්ටු අධ්‍යයනයට පුහුණු කළා.

අනුරාධපුර ඇතුළුනුවර කැණීම් ඒ කාලේ ආන්දෝලනයක් ඇති කළා නේද? මම ඇසුවෙමි.

ඔව්. 1969දී දැරණියගල මහත්තයා අනුරාධපුර ගෙඩිගේ කැණීමක් කළා. ඒක තමයි ලංකාවේ විද්‍යාත්මක ස්ථරානුකූලව කළ පළමු කැණීම. නමුත් ඒවා කාලනීර්ණ කරලා නෑ. මේ නිසා 1984දී යළිත් ඇතුළු නුවර ගෙඩිගේ කැණීමක් කළා කාල නිර්ණය කිරීමට හා මහාවංශ තොරතුරැ සසඳා බැලීමට. ඒ කැණීමෙන් ක්‍රි.පූ. 600දී විජය රජුගේ පැමිණීමට සාධක වශයෙන් අශ්ව දත්, යකඩ භාවිතය, කාලරක්ත වළං කටු, කානීලියන් පබළු ලැබුණා.

ඒ අනුව මහාවංශ කරැණු සත්‍ය බව සනාථ වුණා. ඒ වගේම බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ ඉන්දියාවේ භාවිත කළ උත්තර උද්දීප්ත කාල වර්ණ (NBPW) වළං කටු කැබැල්ලක් හමුවුණා. මම ඒ ගැන දැරණියගල මහත්තයාට කිව්වා. ඔහු කිව්වා ඉන්දියාවේ පුරාවිද්‍යා කොමසාරිස් එම්.කේ. තාපර් මහත්තයා ලංකාවට එනවා. අපි එයාටත් පෙන්වලාම තහවුරැ කරගනිමු කියලා. තාපර් මහත්තයා එය හඳුනාගත්තා. පසුව කාල නිර්ණය කළවිට ක්‍රි.පූ. 3 සියවසට අයත් වුණා. ඒ කියන්නේ ලංකාවට බුද්ධාගම ආපු කාල වකවානුව. මහා වංශයෙත් දෙවන පෑතිස් රජ සමයේ ලංකාවට බුද්ධාගම ආපු බව සඳහන් වෙනවනේ. ඒ වගේම අනුරාධපුරයේ කරපු කැණීම්වලින් ඉතිහාසඥයන් මවිත කරපු තවත් සාධක ලැබුණා. ඔහු තවදුරටත් කීවේය.

(ඉතිරිය ලබන සතියට)
විශේෂ ස්තූතිය - සම්බන්ධීකරණය කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන නිලධාරී සුනිල් බණ්ඩාර කෝරළගේට.

කුසුම්සිරි විජයවර්ධන