2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

මූල්‍ය සමාගම් ගැන ජනතා විශ්වාසය කඩා වැටේ

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 92


බ්‍රහස්පති වෘශ්චික රාශිගතවීම නිසා අප රටට ඇතිවන්නා වූ බලපෑම පිළිබඳව විමසා බැලීමේදී නාවික හමුදාව, යුද්ධ හමුදාවේ හා පොලීසියේද, පෞද්ගලික ආරක්ෂක අංශවලද, ප්‍රතිසංස්කරණ කටයුතුවලට රජයේ මැදිහත් වීමක් සිදුවන බව කිව යුතුය.

එසේම අප රට තුළ භූ චලනයක් සිදුවීම හේතුවෙන් මහජන කැළඹීමක්ද සිදුවන බව පෙනේ. පතල් ආශ්‍රිත අනතුරක්ද සිදුවනු ඇත. රාජ්‍ය ප්‍රධානියකුට මාරක යෙදෙන අතර රටේ ආර්ථිකය තවදුරටත් කඩාවැටීමට පත්වුවද රජය විසින් යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් ජාතික මුදල් තත්ත්වය ඉහළ නැංවීමට ක්‍රියා කරන්නාවූත් වකවානුවක් වේ. මූල්‍ය ආයතන කෙරෙහි පැවති ජනතා විශ්වාසය කඩවන අතර ඒ නිසා ඒවාට අයහපත් බලපෑම්ද එල්ලවන කාලයක් වේ.

විදේශීය වශයෙන් සලකා බලනවිට මහජන සුබසිද්ධිය උදෙසා පවතින්නා වූ ආයතනවල දියුණුව වෙනුවෙන් රජය විශාල වැඩ කොටසක් දියත් කරනු ඇත. රාජ්‍ය නායකයකුට මෙන්ම පූජ්‍ය නායකයකුටද, ධන කුවේරයකුටද මාරක යෙදෙනු ඇත. ගිනිකඳු විධාරණය වීමක්ද වාර්තා වන අතර ගොවිතැන් කටයුතුවල සීඝ්‍ර දියුණුවක් අත්වන කාලයක්ද වේ. මහජනයා වෙනුවෙන් ආයෝජන කටයුතු පුළුල් කිරීමක් මෙන්ම ආදායම් මාර්ග වැඩිකරගැනීමද සිදුවේ.

ලග්න අනුව ඔබට

මේෂ - උරුම හිමිකම් ලැබේ

බ්‍රහස්පති ඔබගේ මර්මස්ථානය වෙත පිවිසීම නිසා එතරම් ශුභ ඵලයක් අත් නොවනු ඇත. විශාල වශයෙන් මුදල් යෙදවීම් කිරීමේදී ඉතා පරිස්සම් විය යුතු අතර ඉතිරිකර ගැනීමටද බාධා මතුවන කාලයකි. යම් යම් කටයුතුවලට විරැද්ධවාදීන්ගෙන් බාධා ඇතිවන නමුත් උරුම හිමිකම්ද ලබාගැනීමට යහපත් කාලයකි.

වෘෂභ - ව්‍යාපාරවලට හොඳයි

ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වන අතර පවුල් දිවියේ සමගියද වර්ධනය වේ. සමාජ සේවා කටයුතුවල නිරතවන අයට අන් අයගේද උදව් ලබාගැනීමට හැකිවනු ඇත. මුදල් ගනුදෙනුවලදී පරිස්සම් විය යුතු අතර විශාල මුදල් හානිවලට ලක්විය හැක. අවදානම් තැන්වල ගමන් කිරීමේදීද ඉතා පරිස්සම් විය යුතුය.

මිථුන - කටයුතුවලට බාධා

යහපත් ඵල අත් නොවනු ඇත. ඔබ කරන කටයුතුවලට විවිධ බාධා එල්ල වේ. හදිසි ලැබීම් සමඟ මුදල් පාඩුද ගෙන දේ. තම කාලත්‍රයාට හදිසි රෝග පීඩා ඇතිවීම හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇත. සේවා ස්ථානයෙන් හදිසි ස්ථාන මාරැවක් ඇතිවිය හැක. උදරය ආශ්‍රිත පීඩාවක් ඇතිවේ.

කටක - අධ්‍යාපනයට හොඳයි

ඔබට යහපත් ඵල අත්වනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ඉතා ශුභ ඵල අත්වන අතර ආර්ථික වාසි සැලසෙන කාලයකි. සමාජ සේවා කටයුතුවල නිරතවී සිටින අයටද ශුභවන අතර තම මතකයට අලුත් දේ එක්කරගත හැකිවන කාලයකි. අලුතින් ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට යහපත්ය.

සිංහ - වියදම් පාලනය

ශුභ ඵල ලැබෙන අතර ඔබගේ කටයුතු සාර්ථකව කරගෙන යාමට අවකාශ සැලසේ. නිවසේ අලුත්වැඩියාවක් කිරීමට හෝ නව නිවසක් මිලදී ගැනීමටද ශුභවන කාලයක් වේ. තම නෑදෑයන්ගෙන් දුරස් වී කටයුතු සිදුකරන අතර වියදම් පාලනය කරගත යුතුය.

කන්‍යා - කටයුතු සාර්ථකයි

යහපත් ඵල අත්වන අතර ඔබ කරන කටයුතු සාර්ථක වේ. ලේඛනයේ නිරත අයකු නම් තම නිර්මාණ ඉතා ප්‍රශස්ත වෙයි. අවිවාහක අයට සිතට ගැලපෙන ආකාරයේ අයකු හමුවනු ඇත. සමාජ සේවා කටයුතුවල නිරත අයට තම හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබේ.

තුලා - තැන්පත් ධනය වැයවේ

යම් යම් කටයුතු වෙනුවෙන් නොබියව ඉදිරිපත් වන්නාවූත් සමයකි. තම තැන්පත් ධනය අනවශ්‍ය ලෙස වියදම් වී යන වකවානුවක් වේ. සේවා ස්ථානය ආශ්‍රිතව ගැටලු පැවතියේ නම් ඒවා දුරැවී යයි. වචනයේ බලපෑමෙන් අන් අය තමා වෙත නතුකරගැනීමට උත්සාහ දරනු ඇත.

වෘශ්චික - හදිසි ධන ලාභ

ඔබට ඉතා යහපත් වන්නාවූත් වකවානුවකි. සියලු කටයුතු සාර්ථක වේ. හදිසි ධන ලාභ ඇතිවේ. ආගමික කටයුතු සඳහාද වැඩි වශයෙන් කාලය යොමු කරනු ඇත. තමන්ට ණය මුදලක් ලැබීමට තිබුණේ නම් එය ලැබේ. තරඟ සඳහා ඉදිරිපත් වන අයට ජයග්‍රහණ අත්වනු ඇත.

ධනු - ඇස්වල පීඩා

ඔබට අයහපත්ය. ආර්ථික ගැටලු නිරන්තරයෙන්ම ඇතිවනු ඇත. තමන් කිරීමට යන බොහෝ දේ අඩපණ වන්නාවූ වකවානුවකි. යම් යම් කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා එල්ල වේ. ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වේ. ඇස් ආශ්‍රිත පීඩාවක් ඇතිවේ.

මකර - පතල්වලින් සම්පත්

ඔබට යහපත් ඵල ලැබේ. පතල් ආශ්‍රිතව කටයුතු කරන අයට වටිනා සම්පත් හිමිවනු ඇත. ගනුදෙනුවලදී කල්පනාකාරී විය යුතුය. අනවශ්‍ය ලෙස තම ධනය වියදම් විය හැකිමුත් හදිසි ආර්ථික වාසිද සැලසේ. තම හිතවතුන්ගෙන් උදව් උපකාර අත්වනු ඇත. හවුල් ව්‍යාපාර කටයුතු ඇරඹීමටත් ශුභ වකවානුවකි.

කුම්භ - නව දේපලක්

ඔබගේ කර්මස්ථානයට බ්‍රහස්පති පැමිණීම යහපත්ය. තම මතයට අනුව කටයුතු කරන අතර නව රැකියාවක් අපේක්ෂා කළා නම් එම බලාපොරොත්තුව ඉටුවේ. හදිසි ලාභ ලැබීම්ද සිදුවේ. නව දේපලක් මිලදී ගැනීමටද ශුභ කාලයක් වේ.

මීන - කරන කියන දේ සාර්ථකයි

යහපත් ඵල අත්වනු ඇත. ඔබ කරන කටයුතු සාර්ථක බවට පත්වන අතර අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ඉතා යහපත්ය. ආගමික කටයුතු සඳහා වැඩි වශයෙන් යොමුවන කාලයකි. ලේඛනයේ මෙන්ම නිර්මාණ කටයුතුවල නිරත වී සිටින අයටද උපරිම ඵල ලැබේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00