2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

දියවැඩියාවට හරිම ගුණ වට්ටක්කා කොළ

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 885

බොහෝ අය වට්ටක්කා ආහාරයට ගනිද්දී එකතු කරගනු ලබන්නේ වට්ටක්කා ගෙඩිය පමණි. නමුත් වට්ටක්කාවල කොළ සහ දලුවලද ඉතා වටිනා පෝෂ්‍ය පදාර්ථ රාශියක් අන්තර්ගතව පවතී. එමෙන්ම වට්ටක්කා දලු සහ කොළ මිශ්‍ර ආහාරයද ඉතා රසවත් වේ. රෝග රුසකට ලොකු ගුණයක් මෙමගින් ලැබේ.

වට්ටක්කා කොළ කෝප්ප එකකින් ඔමේගා 6 මේද අම්ලය මිලිග්‍රෑම් 3.9, ප්‍රෝටීන් ග්‍රෑම් 1-2, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 0.9ක් සම්පූර්ණ මේදය ග්‍රෑම් 0.2ක්ද ලබාගත හැක. එමෙන්ම වට්ටක්කා කොළවල විටමින් ඒ වැඩි වශයෙන් අඩංගු වේ. ඊට අමතරව විටමින් සී යම් ප්‍රමාණයක්ද අන්තර්ගත වේ.

වට්ටක්කා කොළ ආහාරයට ගැනීමෙන් පසුව ශරීරයට සීනි උරා ගැනීම අඩුය. මේ නිසා වට්ටක්කා කොළ දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායකය. කොළවල පවතින කහට රස නිසා සීනි ප්‍රමාණය අඩු කරයි.

විටමින් ඒ ඉතා යහමින් පවතින නිසා වට්ටක්කා කොළවල පිළිකා නාශක ප්‍රතිඔක්සිකාරක ගුණයක්ද ඇත. මෙහි කොලෙස්ටරෝල් සහ මද්‍යසාර අන්තර්ගත නැත. වට්ක්කා කොළවල ඇති විටමින් ඒ සංඝටකය නිසා ඇස් පෙනීම දියුණු කරයි. හිසකෙස් සහ නියවලට ඉතා ගුණදායක වේ. මෙහි කැල්සියම් හොඳින් ඇති නිසා ඔස්ටියෝපොරෝසිස් රෝග සඳහා වට්ටක්කා කොළ ඉතා සුදුසුය. ශරීරයේ ඇතිවිය හැකි කම්පන තත්ත්ව සහිත රෝගාබාධ පාලනය කරයි. රැධිර නාළ තුළ කොලෙස්ටරෝල් තැන්පත්වීම අඩුකරයි. වන්ධ්‍යාභාවය තුරන් කර සරු බව ඇති කරයි.

කුමන හෝ රෝගයකට ප්‍රතිකාර ගැනීම නිසා ඖෂධ මගින් හෝ වෙනත් ක්‍රම මගින් අක්මාවට ඇතිවන හානිය වට්ටක්කා කොළ මගින් අඩු කරයි. එහි බැක්ටීරියා නාශක ගුණයන්ද පවතී. සැලකිය යුතු ප්‍රමාණයක යකඩ අඩංගු නිසා රක්තහීනතාවයට ඉතා ගුණදායක වේ. එමෙන්ම කිරිදෙන මව්වරැන්ට කිරි එරීමට උදව් කෙරේ. සැලකිය යුතු පෝෂණ ප්‍රමාණයක් අන්තර්ගතව ඇති නිසා ආහාර ජීර්ණය පහසු කරයි. නොයෙකුත් ආසාදන රෝග තත්ත්ව වළක්වන බැක්ටීරියා නාශක ගුණයක්ද පවතී.

මුරුංගා කොළ රෝග රැසකටහොඳ බෙහෙතක්

මුරුංගා මෙන්ම මුරුංගා කොළවලින්ද රෝග රැසකට ගුණයක් ඇති බව පර්යේෂණවලින් සොයාගෙන ඇත. මුරුංගා කොළ ප්‍රතිඔක්සිකාරක බොහෝමයක් අඩංගු කොළ වර්ගයකි.

මුරුංගා කොළ ග්‍රෑම් සියයක අඩංගු පෝෂ්‍ය පදාර්ථයන් ලෙසින් විටමින් සී මිලිග්‍රෑම් 220ක්ද, කැල්සියම් මිලිග්‍රෑම් 440ක්ද පවතින අතර ඊට අමතරව පොටෑසියම්, ප්‍රෝටීන් අඩංගු වේ.

ආයුර්වේදයේ බොහෝ රෝග රැසකට මුරැංගා කොළ යොදාගනී. මෙය දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායක කොළ වර්ගයකි. අධි රුධිර පීඩනයට, පාචනය, කොළරාව වැනි රෝගවලටද මෙය වඩාත් සුදුසු ආහාරයක් ලෙස හැඳින්විය හැක.

මුරුංගා කොළ ආහාරයට ගත්විට මුත්‍රා හොඳින් පිට වේ. සෙම නිසා ඇතිවන ශීර්ෂ රෝග සඳහාද, මෙය ගුණදායක වේ. 

මෙම කොළ අඹරා සම මතුපිට ආලේප කළ විට සමේ ඇති විෂබීජ ඉවත් කළ හැකිය. උණ, ශ්වසන ප්‍රදාහය, ශ්වසන මාර්ගය, ඇස, කන යන ස්ථානවල පවතින ආසාදන රෝග, විදුරු මස්වල රතුවීම, ඉදිමීම සහිත ඇතිවන රෝග සඳහා මුරැංගා කොළ ඉතා ගුණදායක වේ. ආහාර මාර්ගයේ ඇතිවන අනවශ්‍ය පණුවන් ඉවත් කරලීමට මුරුංගා කොළවල ඇත්තේ ප්‍රබල හැකියාවකි. අධික කැල්සියම් ප්‍රමාණයක් අන්තර්ගතව පවතින නිසා දරුවන් ලැබුණු පසුව කිරි එරීමටත් ආර්තවහරණයෙන් පසුව ඇතිවන අස්ථි දිරීම, අස්ථි දියවීම සඳහා ඉතා සුදුසු කොළ වර්ගයකි. මෙහි පවතින යකඩ ප්‍රමාණය හේතුවෙන් රක්තහීනතාවයටද ඉතා ගුණදායක වේ. පලාවර්ගවලින් වැඩිපුරම විටමින් සී ප්‍රමාණයක් අඩංගු වන්නේ මුරුංගා කොළවලය.

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
නිමාලි සොලොහොකාර
කුරුණෑගල ආයුර්වේද රෝහල

 

 

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00