2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

හිසට ඩයි වැරදුණොත් වැඩ ගොඩයි

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 894

වර්තමානයේදී බොහෝ දෙනා තම රූපය සුන්දර කරගැනීම සඳහා විවිධ ආලේපන වර්ග මුහුණට අලේපන කරති. මුහුණ සුන්දර කරගැනීමට පමණක් නොව ඇතැමුන් තම රූපය සුන්දර කරගැනීම සඳහා හිසකෙස් සඳහා ද විවිධ ක්‍රම යොදා ගනිති. හිසකෙස් කැපීම, හිසකෙස් වර්ණ ගැන්වීම, රිබෝන්ඩින් කිරීම වැනි විවිධ ක්‍රම මගින් බොහෝ විට සිදුවන්නේ හිසකෙස්වල නීරෝගි භාවයට හානී ඇතිවීමයි. විශේෂයෙන් විවිධ වර්ගයේ ඩයි හිසකෙස්වල ආලේප කිරීමෙන් තාවකාලික පැහැයක් ඇතිවුවත් සිදුවන්නේ ඉතා ඉක්මණින් හිසකෙස් දුර්වල වීමයි.

හිසකෙස් සම්බන්ධව බොහෝ මැසිවිලි නඟන්නේ කාන්තා පාර්ශ්වයයි. මෙහිදී පිරිමි පාර්ශ්වය තම හිසකෙස්වල යම් ගැටලු තත්ත්වයක් ඇතිවේ නම් විශේෂයෙන් හිසකෙස් යාම, අකලට හිසකෙස් සුදුවීම වැනි සිදුවීම්වලදී බොහෝ විට කෙස් ඉතා කොටට කැපීම සිදුකරයි.

බොහෝ කාන්තාවෝ තම සුදු කෙස් පෙන්වීම වැළක්වීමට ඩයි වර්ග හිසට යොදති. නමුත් මෙලෙස පාවිච්චි කරනු ලබන ඩයි වර්ග කොයිතරම් දුරකට හිසට ගැලපේද යන්න පිළිබඳව සොයාබැලීමද අවශ්‍යය.

ඩයි කිරීම මගින් සිදුවන්නේ සුදු හෝ අවපැහැ ගැන්වුණ හිස කෙස්වල එම වර්ණය වෙනස් කිරීමයි. මේ සඳහා බොහෝ වර්ණ පැවැතියි ද බොහෝ දෙනා හිසකෙස් ඩයි කිරීම සඳහා යොදාගනු ලබන්නේ තද දුඹුරු පැහැති වර්ණකය සහ කළු පැහැති වර්ණකයයි. හිසට ගල්වනු ලබන මෙම ආලේපනයට එම වර්ණය ලැබෙණුයේ එයට එකතුවන ඔක්සිජන් මගිනි.

හිසකෙස්වලට ගල්වනු ලබන සෑම ඩයි වර්ගයක්ම සියලුම දෙනාට ගැලපෙන්නේ නැත. ඇතැමුන්ට මෙම ඩයි වර්ග ගැල්වීමෙන් ආසාත්මිකතා ඇති විය හැක. මේ නිසා විවිධ රෝග අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවේ. ඇතැම් විට මෙවැනි ඩයි වර්ග ගල්වා ඒවා ආසාත්මික වී මරණය පවා සිදුවීමට පුළුවනි. එවැනි සිදුවීම් අප රටේ සිදුවූ අවස්ථා ද ඇත.

හිසකෙස්වලට ගල්වනු ලබන ඩයි වර්ග ආසාත්මික වී විවිධ රෝග ලක්ෂණ මතුවේ. හිසට ඩයි වර්ග ගල්වා සුළු මොහොතකින් හිස අධික ලෙස කැසීම, හිස මතුපිට ලප මතුවීම, නළල, කන්, හිස් කබල ආශ්‍රිත ප්‍රදේශය ඉතා ඉක්මණින් රතු පැහැවීම, හිස මත කුඩා රතු පැහැති බිබිලි මතුවී ඒවායින් දියර ගැලීම, හිසරදය, ඇස් ඉදිමීම, මුහුණ ඉදිමීම, ඇතැම් විට ක්ලාන්තය ඇතිවීම, හිස කැරකැවිල්ල වැනි රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇතිවේ.

මේ නිසා කුමන ඩයි වර්ගයක් හිසට ගැල්වීමට ප්‍රථම එය ආසාත්මිකතාවයන් ඇති වන්නේදැයි පිළිබඳව සොයාබැලිය යුතුය. ඔබට නිවසේදීම අත්හදා බැලිය හැක. හිසට ඩයි එක ගැල්වීමට පෙර කන් පිටුපස හෝ අත්ල පිටපැත්තේ සුළු ප්‍රමාණයක් ආලේප කර පැය විසි හතරක් පරීක්ෂාවෙන් සිටින්න. ඒ කාලය ඇතුළත ඉහත දැක්වූ රෝග ලක්ෂණ හෝ වෙනත් කිසිඳු වෙනසක් නොදැන්නේ නම් එය ඔබේ හිසට ගැල්වීමට සුදුසුවේ.

ජීවිතේ මුල්ම වතාවට හිසට ඩයි ගල්වන කෙනෙක් නම් එම වර්ණය ගල්වා සති කිහිපයක් යනතුරු ඒ පිළිබඳව සැලකිලිමත්ව සිටීම ඉතා වැදගත් වේ. වර්තමානයේ වෙළෙඳ පොළේ විවිධ සමාගම්වල නිෂ්පාදනය කරන ලද බොහෝ ඩයි වර්ග ඇත. මෙම නිෂ්පාදනයක් වෙනස් වීමෙන් ද ඇතැමුන්ට ආසාත්මිකතා ඇතිවිය හැක. මේ නිසා ඔබ ඩයි වර්ගයක් මිලදී ගනිද්දී ඒ පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය.

ඩයි වර්ග නිෂ්පාදනය කරන ලද සමාගම, අනුමැතිය ලබා ඇති යන්න පිළිබඳව, කල්ඉකුත්වන දිනය ආදී කරැණු පිළිබඳවත් එම ඩයි වර්ගය ගල්වන ආකාරය පිළිබඳවත් ඔබේ අවධානය යොමු කරන්න.

මෙම වර්ණ ගල්වා සති කිහිපයක් හෝ ගතවෙද්දී හිසකෙස් හෝ හිස්කබල කැසීමක් සිදුවේ නම් නැවත එම වර්ගයේ ඩයි ආලේප කිරීමෙන් වැළකීම සුදුසුය. ඇතැමුන්ට මේවා ආසාත්මිකතා ඇතිවනු ලබන්නේ සති දෙකක් හෝ තුනක් ගතවෙද්දීය. මේ නිසා පළමු වතාවට හිසට වර්ණයක් ආලේප කරනා විට හිස් කබලේ වර්ණකය ආලේප නොවීමට වගබලා ගන්න. 

බොහෝ දෙනා සුදු හිසකෙස් කළු පැහැ ගැන්වීම සඳහා “හෙනා” සත්කාරය කරනු ලබයි. මේ සඳහා වෙළඳපොළේ විවිධ සමාගම් මගින් නිෂ්පාදිත වෙළෙඳ නාම යටතේ “හෙනා” පැකැට්ටු ද විකිණීමට ඇත. මේවා හිසට ආලේප කිරීමට පළමුව පෙර පරීක්ෂාව පෙර පරිදිම සිදුකරන්න.

හිසට කොතෙකුත් වර්ණ ගැල්වුවද ඒ පිළිබඳව ඉතා පරීක්ෂාකාරී වන්න. අකලට හිසකෙස් සුදු පැහැ වීම වැළක්වීම සඳහා ආයුර්වේදයේ ඉතා සාර්ථක ක්‍රම ඇත. හිසකෙස් සුදු පැහැවීමට පෙර හිසකෙස් පිළිබඳව සැලකිලිමත් වෙන්න. විශේෂයෙන් අඩුම තරමේ සතියකට දින දෙකක්වත් හිසට ගැලපෙන ආයුර්වේද තෙලක් පාවිච්චි කරන්න. හිස් කබලට හොඳින් ආයුර්වේද තෙල එක්කර විනාඩි කිහිපයක් හොඳින් හිස සම්බාහනය කරන්න. මීට අමතරව හිස සේදීමෙන් අනතුරැව හිස තදවන්නට ගැට ගසන්න එපා. ඉතා පෝෂ්‍යදායි ආහාර අනුභවයෙන් ද ඔබේ හිසට පෝෂණයක් ලබාගත හැක.

කුමුදුනී ද සිල්වා
ආයුර්වේද වෛද්‍ය 
B.A.M.S (කොළඹ විශ්වවිද්‍යාලය)
සෙත්සුව ආයුර්වේද රෝහල

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00