රටේ වැඩිපුරම තැලෙන පොඩිවෙන මිනිස්සු දුම්රිය මගියෝ වෙති. අප එසේ කියන්නේ මෙරට සෙසු මහජනතාව තැලෙන පොඩිවන මිනිසුන් නොවන බව කියන්නටන් නොවේ. උදේ හවස දුම්රියේ යන මගීන්හට විඳින්නට වී තිබෙන ගැහැට සිහිපත් වූ නිසාය. හිරවී තැලී පොඩි වී විටක ප්‍රමාද වී හුස්මක් කටක් ගන්නට නොහැකිව මේ මගීන් දුම්රියේම යන්නේ ඇයි? කෙනෙකුට එසේ ඇසිය හැක. ඊට හේතු දෙකක් ඉදිරිපත් කළ හැකිය. ඉන් පළමුවැන්න තවමත් මෙරට ලාබදායීම පොදු ප්‍රවාහන සේවය දුම්රිය වීමයි. දෙවැන්න බස්රථයේ ගමනට වඩා දුම්රියේ ගමන කඩිනම් වීමයි. අද කතාවට අදාළ වන්නේ පෙර කී හේතුවල පළමුවැන්නටය. සියයට පහළවකින් (15%) වැඩි වූ දුම්රිය ගාස්තුව කතාව අප අද සංවාදයට බඳුන් කරමු.
පසුගිය ඔක්තෝබර් පළමුවනදා සිට නව දුම්රිය ගාස්තු ඉහළයාම ක්‍රියාත්මක විය. ගාස්තු වැඩිවීමේ නිධාන කතාව හා ක්‍රමවේදයන් පහදන්නට පළමුව ගාස්තු නිසා ස්ටේසමේ වූ අලකලංචිය පැහැදිලි කිරීම වටී.
පසුගිය සතියේ ගාස්තු වැඩිවීමෙන් පසු දුම්රිය වාර ප්‍රවේශපත් ලබාගන්නට මගීන් ගියේ සුපුරුදු පරිදිය. ඔවුන් දැන සිටියේ 15%ව කින් තම වාර ප්‍රවේශපත් ගාස්තු වැඩිවී ඇති බවය. එහෙත් එය එසේ නොවීය. රුපියල් දහසක් වූ සීසන් එක එක්දහස් එකසිය පනහක් වී ඇතැයි සිතූ මගියෙක්ගේ වාර ප්‍රවේශය පත්‍ර ගාස්තුව එක්දහස් තුන්සීය ඉක්මා තිබිණි. එම ගාස්තු වැඩිවීම සීයට තිහ (30%) ඉක්මවූවක් විය. බොහෝ මගීන් තමන්ගේ ගාස්තු වැඩිවීමේ ප්‍රතිශතයන් ගණනය කළ අතර ඒ අනුව ගාස්තු වැඩිවීම සීයට පහළව (15%) ඉක්මවා විවිධ අගයන්වල රැඳී තිබිණි. මේ අතර ඇතැම් මගීන් කීවේ මෙය තවත් මංගල සූත්‍රයක් බවයි. මේ අතර තවත් බොහෝ දෑ මගී සංවාදයට ලක්විය. අප ඒවා පසුවට කියමු.
දැන් ගාස්තු වැඩිවීමේ කතාවේ නිධාන කතා කිවයුතුය. මේ දුම්රිය ගාස්තු සීයට පහළවකින් (15%) වැඩිකිරීමේ යෝජනා පැමිණියේ පසුගිය අයවැය යෝජනා අතරින්ය. ඊට පෙරදීත් ගාස්තු වැඩි කිරීම සම්බන්ධ විවිධ සාකච්ඡා තිරය පිටුපස විය. කලින් කලට ඒ පිළිබඳව පුවත් පළවූ බව අපට මතක ඇත. අවසන්වරට දුම්රිය ගාස්තු වැඩිකළේ මීට වසර දහයකට ඉහතදී 2008 වර්ෂයේ දීය. ඒ අනුව පසුගිය වසර දහය තුළ දුම්රිය ගාස්තු සංශෝධනය නොවූ නිසා නව ගාස්තු වැඩිවීම අසාධාරණ නොවන බවට රාජ්‍ය සහ බලධාරීන්ගේ විශ්වාසය විය. ගාස්තු වැඩිවන බව කල් ඇතුව නිවේදනයක කර තිබීම හේතුවෙන් පසුගිය කාලේ භාණ්ඩ මිල ඉහළයාම්වලට සාපේක්ෂව විශාල ආන්දෝලනයක් දුම්රිය ගාස්තු වැඩිවීමේදී රට තුළ නොවුණි.
දුම්රිය ගාස්තු වැඩිවීමේ හේතුව කවරක්ද කියා සොයාගැනීම වැදගත් ය. මෙහිදී පළමුව කිවයුත්තේ ශ්‍රී ලංකා දුම්රිය සේවය රාජ්‍ය භාණ්ඩාගාරයෙන් යැපෙන ආයතනයක් බවයි. පාඩු පිට දුවන දුම්රිය ආණ්ඩුවලට හිසරදයක් වූයේ අද ඊයේ සිට නොවේ. ඒ නිසාම මේ පාඩුව අවම කරගැනීම කලින් කලට විවිධ යෝජනා මතුවිය. දුම්රිය සේවය පෞද්ගලීකරණය කිරීම, අධිකාරියක් නැතිනම් අර්ධ රාජ්‍ය ආයතනයක් බවට පත්කිරීම එයින් කිහිපයකි. ඒ පිළිබඳව සංවාදයන්ද තවමත් ලොකු ලොකු තැන්වල සිදුවන බව කිවයුත්තකි. කෙසේ හෝ මෙවර පාඩුව අඩුකර ගැනීමේ අරමුණින් ගාස්තු ඉහළ දැමීමේ යෝජනා සකස් විය. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට අනුව මෙම ගාස්තු වැඩිකිරීම, දුම්රිය දෙපාර්තමේන්තුව පාර්ශ්වයන් සිදුකළ ඉල්ලීමක් අනුව වූවක් නොවේ. එය අයවැය යෝජනාවකි. අප දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා විමසා සිටි අවස්ථාවේ මේ බව හෙළිවුණි.
“ගාස්තු වැඩිකිරීම දුම්රිය ගාස්තු වැඩිකිරීමේ මිල සූත්‍රය අනුව සිදුවෙලා තියෙන්නේ. මේ අනුව මුදල් අමාත්‍යාංශය අනුමැතිය ලබාගෙන රජයේ ගැසට් පත්‍රයේ පළකරලා ඉන් අනතුරු තමා වැඩිකිරීම සිදුකර තිබෙන්නේ. මෙහිදී වැඩිවීම සිදුවෙලා තියෙන්නේ කිලෝමීටර් ප්‍රමාණයට.”
ඒ අනුව සාමාන්‍යාධිකාරීවරයා තවදුරටත් පැහැදිලි කළ පරිදි ගාස්තු වැඩිවීම සිදුව ඇත්තේ මෙසේය. කිලෝමීටර් 0 සිට 10 වන තෙක් කිලෝමීටරයකට රු 1.30 ක්ද, කිලෝමීටර් 11 සිට 50 වනතෙක් කිලෝමීටරයකට රු 1.20 ක්ද, කිලෝමීටර් 51 සිට 100 වන තෙක් කිලෝමීටරයකට රු.1.00 ක්ද, කිලෝමීටර් 101 සිට 200 වනතෙක් කිලෝමීටරයකට ශත 80 ක් ද, කිලෝමීටර් 201 සිට ශත 60 වන පරිදි ගාස්තු සංශෝධනය සිදුවී ඇත.
මෙම ගාස්තු වැඩි වූ ආකාරය පහදා ගැනීම පහසු නැත. දුම්රිය මගීන් වික්ෂිප්ත වී ගියේ ඒ නිසාය. මෙය තවදුරටත් පහදා ගැනීමට අප දුම්රිය නියෝජනය වාණිජ අධිකාරි එන්.ජේ. ඉදිපොළගේ මහතා ඇමතුවෙමු. ඒ මහතා තරමක් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකළ අතර එයින් කරුණු කිහිපයක් අප මතු කරමු.
ඒ අනුව සාමාන්‍ය දුම්රිය ගාස්තු වැඩිවෙන ක්‍රමවේදය මෙයයි. 2008 දී සීයට විස්සකින් (20%) පමණ දුම්රිය ගාස්තු වැඩි වූ අවස්ථවේද මෙවැනි ගැටලුවක් මතුවිය. දුම්රිය මගීන්ට මෙම ගාස්තු වැඩිවීම එදාද වටහා ගැනීමට පහසු වී නැත. ප්‍රධාන කලාප පහකට වෙන්කර දුර අනුව මෙම වැඩි කිරීම සිදුකර ඇත. කිලෝමීටරයකට අනුව වැඩිකරන ගාස්තුව ගමන් කරන දුර ප්‍රමාණයන් වැඩිකර ආසන්න රුපියල් පහට අගයනු ලබයි. ඒ අනුව මෙම ගාස්තු වැඩිවීමේදී මගීන් බලාපොරොත්තු වූ ප්‍රමාණය වෙනස්ව ඇත.
දුම්රිය බලධාරීන්ගේ පාර්ශ්වයෙන් කියවෙන කතා එසේය. අප නැවතත් තැලෙන පොඩිවන දුම්රිය මගීයාගේ පාර්ශ්වයෙන් මේ ගාස්තු කතාවට යොමුවෙමු. මෙවර දුම්රිය ගාස්තු වැඩිවීම අවුරුදු දහයේම ඇරියස් ඇල්ලීමක් වැනිය. පෞද්ගලික වාර ප්‍රවේශය පත්‍ර ගාස්තු විටක සීයට හතළිහකට (40%) වඩා වැඩිවී ඇත. සමහරක් මගීන් පවසන පරිදි සියයට පනහ ඉක්ම වූ අවස්ථාද දක්නට තිබේ. මගීන්ට තේරෙන සරල අංක ගණිතයෙන් නම් මෙම ගාස්තු වැඩිවීම වටහා ගැනීමට පහසු නැත.
විටක මෙය ඉන්ධන මිල සූත්‍රය වැනි යැයි කියවේ. ඇතෙන්ම මෙරට මහ ජනතාවට තේරුම් ගන්නට බැරි සූත්‍ර බොහොමයක් වෙයි. ඉන්ධන මිල සූත්‍රය, ජල, විදුලි බිල් වැඩි වන ආකාරය, උසස් පෙළ ඉසෙඩ් ඉස්කෝර් අගය සැකසෙන ආකාරය ආදිය ඉන් කිහිපයකි. මේ අතරට එක්වූ නවතම සූත්‍රය දුම්රිය ගාස්තු මිල සූත්‍රය බව මගීයෝ කියති. තවත් අතෙකින් මෙහි ප්‍රබලතම කරුණ පසුගිය වසර දහය තුළ දුම්රිය සේවාවේ ගුණාත්මක වෙනසක් සිදුවූආද යන්නයි. බැලූ බැල්මට එවැන්නක් සිදුව නැත. දුම්රිය මගීන් සංඛ්‍යාව නම් දෙගුණ වී ඇත. මැදිරි අලුත්වැඩියා නිසි පරිදි සිදු නොවෙයි. ඇතැම් දුම්රියවල ජනෙල් ආදිය කැඩී වැස්සට මැදිරි තුළ කුඩ ඉහළන් යාමටද මගීන්ට සිදුව තිබේ.
තවත් විටෙක සිග්නල් නැතිව දුම්රිය මග නවතී. ප්‍රමාදයන් නිතර සිදුවෙයි. කාර්යාල දුම්රියවල යන පිරිස්වලට මේ නිසා රාජකාරි කරනු ලබන ආයතන තුළ බොහෝ ගැටලු ඇතිවෙයි. ඇතැම් දුම්රිය හිටිහැටියේ ධාවන නොවන බව දුම්රිය ස්ථානයේ යකඩ කටින් නිවේදනය කරයි. එවිට මගීහු අනාථ වෙති. අතුරු සිදුරු නැතිව දුම්රිය පිරී යන දිනවල පා පුවරුවේ ගමන් කරන ඇතැම් මගීන් වැටී මියගොස්ද ඇත. සෙනඟ පිරුණු දුම්රිය මැදිරි යකඩ පෝරණු මෙනි. විදුලිපංකා වැඩ නොකරයි. මැදිරි අපිරිසිදුය. වර්ජන ආදියද තවත් පසෙකිනි. මේ අනුව දුම්රිය මගියා විඳින පීඩාව කොතෙක්දැයි කිව නොහැකි තරම්ය. පසු ගිය වසර දහය තුළ මීට පිළියම් නොදුන් පාලකයින් ගාස්තු අත්තනෝමතික ලෙස වැඩිකිරීම කොතරම් සාධාරණද? මගීන් ප්‍රශ්න කරයි.
නිතර නිතර වැටුප් ඇතුළු වරප්‍රසාද ඉල්ලා අරගල කරන දුම්රිය වෘත්තීය සමිති පාර්ශවයෙන් ගාස්තු වැඩිවීම පිළිබඳව කුමක් කියනවා ඇද්ද? අප ඒ පිළිබඳව දැන ගැනීමට දුම්රිය වෘත්තීය සමිති ඒකාබද්ධතා පෙරමුණේ ලේකම් සම්පත් රාජිත මහතා සම්බන්ධ කර ගතිමු.
“ඉන්ධන වැඩිවීම අදිය එක්ක දුම්රිය දෙපාර්තමේන්තුව ලොකු අර්බුදයකට ගිහින් තියෙන්නේ. තෙල් සංස්ථාවෙන් නිකම් තෙල් දෙන්නෙත් නෑනේ. නඩත්තු කටයුතුත් තියනවා. ඒ අනුව ගාස්තු වැඩීමක් අවශ්‍යයි. නමුත් ඒක මේ අවස්ථාවේ සුදුසුද කියන එක ගැටලුවක්. මගීන්ගේ පහසුකම් වැඩිවෙන්න ඕනා. ප්‍රථමයෙන්ම ඒක කරලා තමා ගාස්තු වැඩි කරන්න ඕනා. සමහර තැන්වල සියයට පහළවක් නෙවෙයි සියයට විසිපහ තිහ එහෙම වැඩිවෙලා. කිලිනොච්චියට ගත්තොත් එක විදිහක්. මාතරට ගත්තොත් එක විදිහක්. එච්චර විධිමත්ව නෙවෙයි ගාස්තු වැඩිකර තියෙන්නේ.”
දුම්රිය ගාස්තු අර්බුදය පිළිබඳව වෘත්තීය සමීති පාර්ශ්වයන් මතුවන්නේ එවන් අදහසකි.
කිලිනොච්චි කතාවද පැහැදිලි කළ යුතුය. උතුරැ දුම්රිය මාර්ගයේ ගාස්තු සැලකිය යුතු ලෙස වැඩිවී නැත. ඊට හේතුව ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු දුම්රිය මාර්ග මෑතක ඉදිකර ගාස්තු නියම කර තිබීමයි.
කෙසේ හෝ මේ වනවිට දුම්රිය ගාස්තු වැඩිවී අවසානය. දුම්රිය ගාස්තු 15% කින් වැඩි කරන බවට අඬබෙර ගසා චිර ප්‍රසිද්ධ කරන ලද කතාව එකතරා ආකාරයකට මගීන් ඇන්දීමක සමානය. කෙසේ වෙතත් දුම්රිය ගාස්තු පොකට්ටුවට දැනෙන්නට වැඩිවී අවසානය. බලධාරීන්ගෙන් ඔබට දැන් සතුටුයිද? ඇසීමට වඩා වටින්නේ දුම්රිය මගීන් වෙනුවෙන් ඉදිරියේදී ලැබෙන පහසුකම් පිළිබඳව අසා දැනගැනීමය. අප දුම්රිය සාමාන්‍යාධිකාරීතුමන්ගෙන් දුම්රියේ අනාගතය ගැන විමසුවෙමු.
ඒ අනුව සඳහන් වූ කරුණු කිහිපයක් මෙසේ මතුකරමු. රජය දුම්රිය පහසුකම් සංවර්ධන සඳහා ආසියානු සංවර්ධන බැංකුව හරහා විශාල ව්‍යාපෘති කිහිපයක් ලබාදී තිබේ. ඒ අනුව ද්විත්ව බලවේග කට්ටල හයක් ඉන්දියාවෙන්ද, නමයක් චීනයෙන්ද ලබාගැනීමට නියමිතය. ඉදියාවෙන් ගෙනෙන ද්විත්ව බලවේග කට්ටල පහළ මාර්ගයේ ද චීනයෙන් ගෙනෙන බලවේග කට්ටල ඉහළ මාර්ගයේද ඒ අනුව යොදවනු ඇත. තවත් එන්ජින් දහයක්ද මැදිරි එකසිය හැටක්ද ලබන වසරේදී ලැබීමට නියමිතය. මේ වනවිට නව ප්‍රවේශය පත්‍ර ක්‍රමවේදකට හා සන්නිවේදන ක්‍රමයකටද ටෙන්ඩර් කැඳවා ඇත. ඉදිරියේදී දුම්රිය සේවය විදුලිකරණය කරා යාමටද නියමිත බව කියවේ. ඒ අනුව පානදුරේ සිට වේයන්ගොඩ දක්වා පළමු පියවර වශයෙන් විදුලිකරණයට ලක්වීමට නියමිතය. මේ ආදී දුම්රිය අනාගතය සංවර්ධන සැලසුම් රාශියක් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා අප සමඟ පැවසූහ.
මේ සියල්ල සිදුවේ නම් දුම්රිය මගියාගේ අනාගතය යහපත් වනු ඇත. එහෙත් වෙසෙසින්ම දුම්රිය හා දුම්රිය මගියා අද සිටින තත්ත්වය සැසදීමේදී නව ව්‍යාපෘති අහස් මාලිගා බඳුය. දුප්පතාගේ හිතවතා දුම්රියය. රාජ්‍ය හා පුද්ගලික අංශයේ කොළඹ රැකියා කරන බොහෝදෙනාට ලැබෙන වැටුමට සාපේක්ෂව යම් සහනයක් ලැබෙන්නේ ගමනාගමනය සඳහා දුම්රිය තෝරාගැනීම හරහාය. එනිසාවෙන් දුම්රිය මගීන් වෙත ලබාදී ඇති සහන කප්පාදු කිරීම නොකළ යුත්තකි.
දුම්රිය දෙපාර්තමේන්තු පාඩු ලැබීම මගීන්ගේ වරදක් නොවන බව බලධාරීන්ට වටහා ගතයුතුව ඇත. දුම්රිය සේවයේ සමහර අංශවල සේවක අතිරික්තයක් තිබේ. ඊට හේතුව එදා මෙදාතුර ප්‍රවහන ඇමතිවරුන් තම ආසනවල ජන්දදායකයන් හට අත්තනෝමතික ලෙස මෙහි රැකියා ලබාදීමය. තවත් පසෙකින් අතිකාල හා අධික වැටුප් ලබන නිලධාරීන්ය. ඔවුනට දුම්රිය මගීන් බිල්ලට දී ඕනෑම ඉල්ලීමක් දිනාගැනීමේ හැකියාවක් ද ඇත. අකාර්යක්ෂමතාව, ඒකාධිකාරය, අනුවණ තීරණ දුම්රියේ පාඩුවට මුලයි. දුම්රියේ පාඩුව මකා ගැනීමට නම් සියල්ලට පෙර මේ ගැටලුවලට විසඳුම් ලබාදීමට කටයුතු කළ යුතුය.
අවසානයේදී තැලෙන පොඩිවන මහජනයා අද වනවිට බදු, දඩ, ඩොලරය, බස් දුම්රිය ගාස්තු ආදී දහසකුත් ප්‍රශ්නවලින් පීඩාවට පත්ව සිටින බව කිව යුත්තකි. ඇත්තෙන්ම දුම්රිය මගියාද මේ මහජනයා අතරින් අයෙක් පමණි. වගකිවයුත්තන් මහජන පීඩා පිළිබඳව අවධානය යොමු නොකළහොත් හෙට අනිද්දා දුම්රිය පමණක් නොව රටම පීලිපනිනු නිසැකය.
♦ චමිඳු නිසල් ද සිල්වා
ගාස්තුවේ දෝෂයක් නැහැ
- දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු
දුම්රිය ගාස්තු වැඩිකිරීමේදී කිසිදු දෝෂයක් සිදුවී නොමැති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී. ඩිලන්ත ප්‍රනාන්දු මහතා පසුගිය ඔක්තෝබර් 3 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. කලාප ක්‍රමය අනුව කිලෝමීටරයකට අයකරන ගාස්තුවෙන් සියයට 15 වන ලෙස මෙම වැඩිකිරීම සිදුකර ඇතැයි ඔහු කියයි.
2008 වර්ෂයේ ගාස්තු චක්‍රලේඛයට අනුව මෙම වැඩිකිරීම සිදුකර ඇතැයිද එක් දුම්රිය ස්ථානයක සිට තවත් දුම්රිය ස්ථානයකට ඇති දුර ප්‍රමාණය අනුව ගාස්තු සකස් කර එවන ලෙස දුම්රිය ස්ථානාධිපතිවරුන්ට චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබුණේ යැයිද ගාස්තු වැඩිවීම අදාළ ප්‍රවේශය පත්‍ර මුද්‍රණයට ඇතිබවද මෙහිදී මෙහිදී ප්‍රකාශ වී තිබේ.
තවදුරටත් මාධ්‍ය හමුවේදී සඳහන් වූයේ ගාස්තු වැඩිකිරීම අදාළව පැමිණිලි 40ක් පමණ ලැබී ඇති බවයි. දුම්රිය ගාස්තු වැඩිකිරීම සම්බන්ධව හා දුම්රිය ස්ථානවලින් ගාස්තු වැඩිපුර අයකිරීම සම්බන්ධව පැමිණිලි සඳහා වෙනම කවුළුවක් හා දුරකතන අංකයක් හඳුන්වා දී ඇතිබව සාමාන්‍යාධිකාරීවරයා තවදුරටත් පවසා තිබේ.
ගාස්තු සම්බන්ධ පැමිණිලි සඳහා වන දුරකතන අංක මෙසේය.
011 24 32 128 / 011 46 00 152