පොත්පත් මිලදී ගන්නා, පොත් ප්‍රදර්ශන පවත්වන, පොත්වලට සාහිත්‍ය සම්මාන දෙන සැප්තැම්බර් මාසය නිමාවී අවසන්ය. දැන් ආරම්භ වී ඇත්තේ මිලදී ගත් පොත් කියවන කියවීමේ මාසයයි. ජාතික කියවීමේ මාසය ලෙස රජයෙන් නම්කර තිබුණද මේ මාසයත් නිකම්ම කිකම් මාසයක් ලෙස ගෙවීයාම බොහෝවිට සිදුවන්නකි. අපේ රටේ නම් කියවීමේ මාසයේ බොහෝවිට සිදුවන්නේ හොඳ පොත් කියවීම නොව සාහිත්‍ය මාසයේ සම්මාන ගැන අඩුපාඩු විවේචන තැන් තැන්වල කියවීමයි. බොහෝ මාධ්‍යවලට කියවීමේ මාසය ගැන උනන්දුවක් නැත. ඔවුන්ට තමන්ට සීමාවූ වෙළෙඳ අරමුණු තිබේ.
සාහිත්‍ය මාසයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කොළඹ පොත් ප්‍රදර්ශනයට පැමිණි අයුරු අපි දුටුවෙමු. එහි පොත්පත් අලෙවි වුවත් දිගු පෝලිම් දක්නට තිබුණේ අභ්‍යාස පොත් අලෙවි කුටිවලය. නූඩ්ල්ස් මිලදී ගැනීමටය. සමාජයක ප්‍රාග්ධනය මිනිස් බුද්ධිය හෙවත් ඥානයයි. පොත්පත් යනු මිනිස් බුද්ධියේ විශිෂ්ටතම ඵලයක් ලෙස සැලකේ. මම පොත්වලට ආදරය කරන්නෙමි. හැම පොතක්ම මට පෙනෙන්නේ හාස්කමක් හැටියටය. ගැඹුරැ හැඟීම්වලින් හා ප්‍රීතිමත් උද්‍යෝගයකින් යුතුව මිස මට පොතක් ගැන කතා කළ නොහැකිය.* ශ්‍රේෂ්ඨ රැසියානු ලේඛක මැක්සිම් ගෝර්කි පොත් ගැන කියා ඇත්තේ එලෙසයි. (පොතක මහිම: පරි. සිරිල් සී. පෙරේරා)
කියවීමේ මාසයේ පොත්පත් කියවීම ගැන අහන්නට අපි මුලින්ම කතා කළේ විද්‍යා විශාරද විචිත්‍ර ධර්මභාණි වෙන්නවත්තේ රතනජෝති හිමියන්ටය.
පොත් වෙනුවට ස්මාර්ට් ෆෝන් ළමුන්ට දීලා
විද්‍යා විශාරද වෙන්නවත්තේ රතනජෝති හිමි
අද බොහෝ ළමයින්ගේ මතක ශක්තිය, ධාරණ ශක්තිය අඩුයි. ඒකට ප්‍රධාන හේතුව දරුවන් කියවීමට හුරු නොකිරීම. කුඩා ළමයින්ට ස්මාර්ට් දුරකතන, කොම්පියුටර් අතට දීලා තිබෙනවා. ඒවායින් ඔක්කොම දේවල් බලාගන්න පුළුවන්. ගීතයක් පවා කියන්නෙ ෆෝන් එක දිහා බලාගෙන. මතකයෙන් කියන්න බැහැ. පාසල් ළමයි යන්ත්‍ර සූත්‍ර බවට පත්වෙනවා. කියවීම නැති තැන දැනුම නැහැ. දැනුම නැති තැන අවබෝධය නැහැ. එවිට ඉතින් සතුන් වගේ තමයි හැසිරෙන්නේ. චින්තන ශක්තිය, රසවින්දනයක්, නිර්මාණශීලී බවක් නැහැ.
අද ළමුන් කියවීම වගේම ඇහුම්කන් දීමටත් දුර්වලයි. පවතින අධ්‍යාපන ක්‍රමයත් එයට ගැලපෙන ලෙස වෙනස් කළ යුතු බවට මම යෝජනා කරනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වුණත් මුල්ම කාලයේ පර්යේෂණ කළා. අද ඒ වගේ පර්යේෂණ අඩුයි. වැඩිහිටියෝ විසින්ම මේ වරද බාරගත යුතුයි. එදා අපි ප්‍රවෘත්ති ඇහුවා. පත්තර බැලුවා. අද ඒ ඔක්කොම කරන්නේ ස්මාර්ට් ෆෝන් එකෙන්. ඒකෙන් කියවා කියවා ඉන්නවා මිසක් පොත්පත් කියවීමක් නැහැ. ඉස්සර ළමුන්ට තෑගි විදිහට දුන්නෙත් කතන්දර පොත්. අද ළමුන්ට තෑගි විදිහට දෙන්නෙත් ඔවුන්ට නොගැලපෙන දේවල්.
මහාචාර්ය සුසිරිපාල මාලිම්බඩ සංස්කෘති සඟරා සංස්කාරක මණ්ඩලයේත් සිටින සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ඔහු රටේ කියවීම අඩුවීමේ ගැටලුව දකින්නේ මේ අයුරිනි.
අපි තාක්ෂණය හරියට අරගෙන නැහැ
මහාචාර්ය සුසිරිපාල මාලිම්බඩ
නූතන තාක්ෂණයේ වර්ධනයත් සමඟ තමයි මේ ගැටලුව මතුවෙලා තිබෙන්නේ. ළඟදී පැවැත්වුණු කොළඹ පොත් ප්‍රදර්ශනයේදී නම් ඒ බවක් පෙනුණේ නැහැ. නමුත් ඔය පොත් තොග පිටින් ගෙනියන කී දෙනෙක් කියවනවාද කියන එකත් ඒවා කියවීමෙන් ලබාගන්නා දේවල් ගැනත් ගැටලුවක් තිබෙනවා.
60 – 70 දශකවල කියවන්න තිබුණු පොත්වල තිබෙන සාරය සහ අද පොත්වල තිබෙන දේවල් ගැන සලකා බැලුවම ලොකු වෙනසක් තිබෙනවා. අද පොත් ගොඩක් පළවුණත් ශාස්ත්‍රීය පොත් පළවීම අඩුයි. විශ්වවිද්‍යාලවලින් ශාස්ත්‍රීය සාහිත්‍ය වර්ධනයට පර්යේෂණ දීමනාවකුත් දෙනවා. නමුත් ඒක සාර්ථක වෙලා නැහැ. දැන් හැමතැනම ක්ෂණික කියන වචනය පැතිරිලානේ. කිසිම දේක හරයක් ක්ෂණික තත්ත්වය තුළ හඳුනාගැනීමට බැහැ. පොතක් කියවා රසවිඳීම හෝ චිත්‍රයක් රසවිඳීම ක්ෂණික කිරීමට බැහැ. අපි විවේකයෙන් චිත්‍රයේ ගැඹුර හඳුනාගත යුතුයි. අද ලංකාවේ විශාල පුවත්පත් සංඛ්‍යාවක් පළවෙනවා. නමුත් ශාස්ත්‍රීය අතිරේක වගේ ගැඹුරු දේවල් පුවත්පත්වල නෑ. එදිනෙදා ප්‍රවෘත්ති තමයි ඒවායේ තිබෙන්නේ. ලංකාවේදී නූතන තාක්ෂණය ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වුණත් ඒක අවශ්‍ය ක්ෂේත්‍රවලට යොදාගැනීම අඩු බවයි පේන්නේ. දැන් පොත් ප්‍රදර්ශනයේ මුද්‍රිත පොත් දස දහස් ගණනින් තිබුණා. නමුත් ඊ-බුක්වලට එක ප්‍රදර්ශන කුටියක්වත් නෑ. අපි නූතන තාක්ෂණයේ සරල කොටස් පමණයි අදාළ කරගෙන තිබෙන්නේ.
නූතන තාක්ෂණය නිතර පරිහරණය කරන ප්‍රවීණ පරිවර්තක දිලීප ජයකොඩි සාහිත්‍ය සමඟ නිරන්තර ගනුදෙනුවක නිරතවන්නෙකි. ඔහු පසුගිය සාහිත්‍ය මාසය වෙනුවෙන්ද පරිවර්තන කෘති තුනක් ලියා පළ කළේය. මේ දිලීප අපේ රටේ කියවීම දකින විදිහයි.
පොත් මිලදී ගැනීම සමහරුන්ගේ විලාසිතාවක්
ප්‍රවීණ පරිවර්තක දිලීප ජයකොඩි
මම දකින්නේ පොත් කියවීම අත්‍යවශ්‍ය දෙයක් විදිහටයි. කියවීමෙන් තමයි මිනිසාගේ මනසේ පරිකල්පන ශක්තිය වර්ධනය වන්නේ. අපි පොතක් කියවනවිට සිතේ චිත්ත රූප මැවෙනවා. නමුත් මම රටේ කියවීම අඩුයි කියලා අසුබවාදීව දකින්නේ නැහැ. පාසලේ 8 වසරේ ඉඳන් සා.පෙළ දක්වා වගේ කාලය තමයි අලුත් පොත් හොයාගෙන කියවන්න පෙළඹෙන කාලය. උසස් පෙළින් පසු යළිත් කියවීම අඩුවෙනවා. නමුත් තවත් පිරිසක් ඒ අඩුව පුරවන්න එනවා.
බොහෝ දෙනා පොත් මිලදී ගැනීම විලාසිතාවක් වෙලා කියලා සමහරු චෝදනා කරනවා. ඒකෙ ඇත්තකුත් තිබෙනවා. නමුත් මිලදී ගන්නා පොත් ටික වෙන කවුරැන් හෝ කියනවානේ. ස්මාර්ට් ෆෝන් වගේ උපාංග ජනප්‍රිය වෙලා තිබෙන මේ සමාජයේ මේ තරමින් පවා පොත් පළකිරීමට ප්‍රකාශකයන් සිටීමත් එක්තරා සතුටක්. කියවීම සමස්තයක් වශයෙන් අඩු වුණත් ඒක ඇතුළෙත් රිදී රේඛාවක් මම දකිනවා.
කුසුම්සිරි