2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

මානසික ලෙඩවලින් ගලවන චතුර්විධ සම්පත

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 487

නිරෝගීකම පිළිබඳ සැලකීමේදී කායික පමණක් නොව මානසික නිරෝගීකම පිළිබඳවද සැලකිලිමත් විය යුතුය. බොහෝ කායික රෝග සඳහා මානසික හේතුද බලපායි. කායික රෝග නිසාම මානසිකව රෝගී වන පුද්ගලයන් මෙන්ම මානසික ව්‍යාකූලතාවය, ආතතිය නිසා කායික රෝගවලට ගොදුරුවන පුද්ගලයන්ද බහුලව දක්නට ලැබේ. අනෙකුත් හේතු හැරෙන්නට රෝගීවීමට මානසික හේතු ප්‍රබලව බලපාන බව සැලකිය යුතුය. එබැවින් මානසික සුවය, නිරෝගී බව පවත්වාගැනීම රෝගවලින් වැළකීමේදී ඉතාමත් වැදගත් කාරණයකි.

බොහෝ අය රෝගවලින් වැළකීම සඳහා ආහාරපාන, ඇවතුම් පැවතුම් පිළිබඳව සැලකිලිමත් වුවද මානසික සෞඛ්‍ය රැකගැනීම සඳහා එතරම් සැලකිල්ලක් නොදක්වති. නමුත් රෝගවලින් ආරක්ෂා වීමේදී මානසික සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.

වර්තමානයේදී තරගකාරී ජීවන රටාව තුළ පාසල් දරුවන්ගේ සිට වැඩිහිටි පුද්ගලයා දක්වා සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයන් මානසික ආතතියෙන් පෙළීම සුලබ කරැණක් වී තිබේ. තරගකාරී අධ්‍යාපනය හා තරගකාරී ආර්ථිකය මෙයට ප්‍රධානම හේතුව ලෙස දැක්විය හැක. අධ්‍යාත්මිකව නිසි පරිදි සංවර්ධනයක් නොවීමද මානසික අවිවේකී බවට හේතු වේ. සපුරාගැනීමට අපහසු අරමුණු, බලාපොරොත්තු සපුරාගැනීම වෙනුවෙන් ජීවිත කාලයම අරගලයක යෙදෙන මිනිසා ඒවා සපුරාගැනීමට නොහැකි වූ විට මානසික කඩාවැටීමකට ලක්වේ. එබැවින් බොහෝ අවස්ථාවන්හිදී ජීවිතය විඳීමේ අවස්ථාව මඟහැරී යයි. සමබර මනසක් පවත්වාගැනීමට තම අධ්‍යාත්මික සංවර්ධනය අත්‍යවශ්‍ය සාධකයකි.

නිරෝගී ජීවිතයකට කායික මෙන්ම මානසික සෞඛ්‍ය ද වැදගත් බව ආයුර්වේදයේ සඳහන්ය. ප්‍රසන්න මනසක් පැවතීම නිරෝගී බවට අත්‍යාවශ්‍ය සාධකයකි. කායික මානසික සමතුලිත බව, සමාජීය අධ්‍යාත්මික ප්‍රසන්නතාවය නිරෝගී පුද්ගලයන්ගේ ලක්ෂණ වේ. මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වාගැනීමෙන් පුද්ගල හා සමාජයී්‍ය අන්‍යොන්‍ය සම්බන්ධතා යහපත්ව පවත්වාගැනීමට හැකිවේ.

මනස ඉතා සියුම් ක්‍රියාකාරීත්වයකින් යුතු හෙයින් ව්‍යාකූලතාවයට පත්වීම ඉතා පහසුවෙන් සිදුවිය හැක. එය අරමුණින් අරමුණට ගමන් කිරීම ඉතා සීඝ්‍රයෙන් සිදුවෙයි. සියලුම සන්නිවේදන අප ලබාගත යුත්තේ මනස ක්‍රියාත්මක වීම හරහාය. මනස ව්‍යාකූල තත්ත්වයට පත්වීම ඉතා පහසුවෙන් සිදුවිය හැකි අතර එමගින් පුද්ගල සෞඛ්‍ය බිඳවැටීම නොවැළැක්විය හැක්කකි.

ආයුර්වේදයට අනුව මනසේ ගුණ තුනක් පිළිබඳව දක්වයි. සත්ත්ව ගුණය, රජස් ගුණය හා තමස් ගුණය ලෙසින් ඒවා හැඳින්වේ. මිනිසා තුළ ඇතිවන යහපත් සිතුවිලි හා යහපත් ක්‍රියා සත්ත්ව ගුණය ලෙස හඳුන්වයි. එය වැඩිදියුණු කර ගැනීමට මානසික සෞඛ්‍ය වැඩිදියුණු කර ගැනීම අත්‍යාවශ්‍ය වේ.

සහජ හේතු මෙන්ම බාහිර හේතුද මානසික සෞඛ්‍ය බිඳවැටීමට හේතුවිය හැක. මව්පියන්ගෙන් උරුමවන ශාරීරික හා මානසික රෝගාබාධ මෙන්ම වහා කිපෙනසුළු බව, උදාසීන බව ආදියද සහජයෙන්ම උරැම විය හැකි අතර, බාහිර හේතු ලෙස තමා ජීවත්වන පරිසරය, පුද්ගලයන්, රැකියා ස්ථානය, නිවෙස, පාසල යනාදිය අහිතකර අන්දමින් පැවතීම හේතුවිය හැක.

නිරන්තරයෙන් මානසික සමතුලිතතාවයට බාධා පැමිණීම හා මනස දුර්වලවීමෙන් මානසික රෝගී බවට පත්විය හැක. එය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි. එපමණක්ම නොව, දීර්ඝකාලීන ආතතිය, කායික රෝගී තත්ත්වයක් ඇතිවීමටද හේතු වේ.
මෙවන් මානසික පීඩාවලින් බැහැරව නිරෝගී මනසක් ඇතිකරගැනීම සඳහා ආයුර්වේදයේ චතුර්විධ සම්පත් සඳහන් වේ. එනම්, ධර්ම, අර්ථ, කාම හා මෝක්ෂ ලෙසයි. යහපත් දිවිපැවැත්මක් සඳහා ගත යුතු ක්‍රියාමාර්ග, යහපත් ලෙස ධනය ඉපයීම, යහපත් ලෙස පංචේන්ද්‍රිය පිනවීම හා අවසානයේ පුණ්‍යකර්මවල යෙදී සිත දමනය කරගනිමින් ලබන ලෝකෝත්තර සුවය ආදිය මෙයින් අදහස් වෙයි.

මානසික සෞඛ්‍ය රැකගැනීමට නම් ප්‍රථමයෙන් ආත්මාවබෝධය ඇතිකරගත යුතුය. තමාගේ වගකීම් ආදිය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ යුතුය. මානසික පීඩන ඇතිවිය හැකි කරැණු හැකි තරම් වළක්වාගත යුතුය.

ක්‍රමානුකූලව සැලසුමකට අනුව දිනචර්යාව සකස් කර ගනිමින් සැලසුම්සහගතව එදිනෙදා කටයුතු කිරීම.

ළඟාකරගත හැකි ඉලක්ක පමණක් ඇතිකරගැනීම.

තම ආදායමට සරිලන පරිදි වියදම සැලසුම්සහගතව යෙදවීම.

යහපත් සෞඛ්‍ය පුරුදු ඇතිකරගැනීම, පෝෂ්‍යදායී ආහාර හා නිසි පරිදි ව්‍යායාම්වල යෙදීම මගින් ශාරීරික සෞඛ්‍ය ආරක්ෂා කරගැනීම මානසික සෞඛ්‍ය රැකගැනීමට උපකාරී වේ.

නිතර නිතර ඇතිවන මානසික ගැටලු පිළිබඳව සමීපතම හිතවතකු සමඟ සාකච්ඡා කිරීම මගින් බොහෝවිට මනස සැහැල්ලු කරගත හැකිය. නිතර නිතර කල්පනා කිරීම, නින්ද අඩුබව, අවධානය අඩුවීම, නොසන්සුන් බව, කලකිරීම ආදී මානසික පීඩාවලින් නිතරම පීඩා විඳින්නකු නම් ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ලබාගැනීම සුදුසුය. ආයුර්වේද තෛල, ඖෂධ හා විවිධ ක්‍රම මගින් මෙම බොහෝ රෝග සඳහා ප්‍රතිකාර ලබාගත හැක.

කුමුදුනී ද සිල්වා
ආයුර්වේද වෛද්‍ය 
B.A.M.S (කොළඹ විශ්වවිද්‍යාලය)
සෙත්සුව ආයුර්වේද රෝහල