2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

මම පොඩි මිනිහෙක් සම්මානය ලොකු තල්ලුවක්

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 236

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත්තේ විමල් උදය හපුගොඩආරච්චිගේ යකඩ සිල්පර නවකතාවයි. ස්වර්ණ පුස්තක අවසන් වටය මෙන්ම ෆෙයාර්වේ සම්මාන අවසන් වටයද නියෝජනය කරමින් සම්මානයට පාත්‍ර වූ යකඩ සිල්පර ෆාස්ට් පබ්ලිෂිං සුරස පොතකි. මහව අඹන්පොළ සිට නිර්මාණකරණයේ යෙදෙන විමල් දේශය සමඟ කතාබහට එක්වූයේ මේ අයුරිනි.

යකඩ සිල්පර ඔබේ කී වැනි නවකතාවද?

මේක මගේ පස්වැනි නවකතාව. මම මුලින්ම ලියුවේ බඹර පොරය යොවුන් නවකතාව. එයට 2006 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබුණා.

ඔබේ කෘති අතරින් වැඩිම පාඨක අවධානයට වගේම විචාරක අවධානයටත් ලක්වුණේ යකඩ සිල්පර. සම්මාන ලැබීමට පෙර එයට ලැබුණු පාඨක ප්‍රතිචාර කෙසේද?

පොත පිටවූ දවස්වල ඉඳන් මගේ ජංගම දුරකතනයට පාඨකයන් කතාකර ප්‍රතිචාර දැක්වුවා. ඒ හුඟදෙනෙක් මෙහි කතා තේමාවට කැමැත්තක් දක්වන බවයි, පෙනුණේ.

මෙම කෘතියට පාදක කරගත්තේ කුමන තේමාවක්ද?

උතුරු දුම්රිය මාර්ගය කුරුණෑගල සිට යාපනය දක්වා ඉදිකිරීමේදී මතුවන අවස්ථා තමයි මම චරිත ඔස්සේ විග්‍රහ කිරීමට උත්සාහ කළේ.

කතා තේමාවට අවශ්‍ය පර්යේෂණ දැනුම ඔබ උකහාගත්තේ කෙසේද?

ඒ සඳහා පොතපත රාශියක් කියෙව්වා. මහව හිටපු ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති වූ මගේ හිතමිත්‍ර ලාල් බ්‍රාහ්මණ පොත්පත් රාශියක් ලබාදෙමින් එහිදී උදව් කළා. පොත්පත් කියවා ලබාගත් දැනුම පරිකල්පනය කර යකඩ සිල්පර නවකතාව ලිව්වා.

පසුගිය කොළඹ පොත් ප්‍රදර්ශනයෙත් මේ පොත ගැන කතාබහ වුණා. පිටපත් කීයක් විතර අලෙවි වුණාද?

දැනට දහදාහක් පමණ අලෙවි වූ බව තමයි, මට දැනගැනීමට ලැබී තිබෙන්නේ.

ඔබ අලුතින් පළවන නවකතා කියවනවද?

ඔව්. ස්වර්ණ පුස්තක අවසන් වටයට තේරෙන පොත්, ඒ වගේම ලංකාදීප වගේ පත්තරවල පළවන නවකතා විචාර කියවා හොඳ නවකතා තෝරාගෙන ඒ පොත් මම මිලදී ගන්නවා.

දුරබැහැර සිටින ඔබ පොත් මිලදී ගන්නේ කොහෙන්ද?

බොහෝවිට පොත් මිලදී ගන්නේ මහව පොත් සාප්පුවකින්. ඔවුන්ට මම අවශ්‍ය පොත් ගැන පැවසුවාම මට ගෙන්නලා දෙනවා.

අද තරුණයෝ බහුලව නවකතා ලියනවා. ඔබ ඔවුන්ගේ කෘති දකින්නේ කෙසේද?

අලුත් පරපුරේ හොඳ නවකතා රාශියක් තිබෙනවා. මම ඒ පොත් කිහිපයක්ම කියවා තිබෙනවා. සමහර නවකතාවල ආකෘතියේ යම් වෙනස්කම් කළානම් තවත් ඉහළට යන බව පෙනුණා. සමහර ඒවායේ කතාව ගොනුකරගැනීමේ ගැටලු මම දැක්කා.

ස්වර්ණ පුස්තක සම්මානය ලැබුණු අප්පච්චි ඇවිත් නවකතාව ඔබ කියෙව්වද?

ඔව්. ඒ පොත කියෙව්වා. නමුත් ඒ පොත ගැන මම අදහස් පළකරන එකනම් හොඳ නැහැ.

සාහිත්‍ය සම්මාන ගැන පොදුවේ ඔබේ අදහස කිව්වොත්?

සාහිත්‍ය සම්මාන දෙන එක ඉතා හොඳ වැඩක්. නැත්නම් ඉතින් මම වගේ මිනිහෙකුට ඉදිරියට එන්න ලැබෙන්නෙ නැහැනේ. මම වගේ කොළඹින් දුරබැහැර ඉන්න කෙනෙක් ලියපු පොත ඔච්චර පාඨකයො පිරිසක් කියවන්නෙත් සම්මාන ලැබුණු නිසානේ. සම්මාන නොලැබුණත් ස්වර්ණ පුස්තක අවසන් වටයට ආවත් ප්‍රමාණවත්. ගොඩගේ, රාජ්‍ය සම්මාන, ෆෙයාර්වේ සම්මාන අවසන් වටයට නිර්දේශ වුණා. ඒ අතරින් රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබුණා. සම්මානෙ නොලැබුණානම් පාඨකයන් අතර මෙතරම් අවධානයට ලක්වන්නේ නැහැනේ. සම්මාන දෙන විදිහ, විනිශ්චය ගැන නම් මම විවේචනය කරන්නෙ නැහැ. මම එච්චර ලොකු මිනිහෙක් නොවෙයිනේ. විනිශ්චය දෙන එක විනිශ්චය මණ්ඩලයේ වැඩක්.

අද ලංකාවේ වාර්ෂිකව නවකතා 150කට ආසන්න සංඛ්‍යාවක් පළවෙනවා. මේ අතරින් බහුතරයක් දුර්වල කෘති බව විචාරකයන් පවසනවා?

මෙහෙම පොත් බහුලව පළවන්නේ ඉස්සරට වඩා අද මුද්‍රණය කිරීමේ පහුසකම් වැඩියි. ඒ නිසා කවුරැත් පොතක් ලියපු ගමන් මුද්‍රණය කරවනවා. අපේ ගීත කලාව දිහා බලන්න. ක්ෂණිකව බිහිවන හරසුන් බාල ගීත පිරිලා. නමුත් නවකතා කලාව නම් ඒ තරම් පහත් මට්ටමකට ගිහින් නෑ. මොකද, නවකතාවක් ලියන්නේ යම්කිසි ලිවීමේ හැකියාවක් තියෙන කෙනෙක්නේ. කැපවීමෙන් වගේම නිරන්තර ලිවීමෙන් අත්දැකීම් ලබාගන්න අයට තමයි, නවකතා කලාවෙන් ඉදිරියට යා හැක්කේ. අපි පොතපත කියවලා අලුත් නිර්මාණ ගැන අධ්‍යයනය කරන්න ඕනෑ. පාඨකයන් කියවන්න ආස විදිහට අලුත් දෙයක් නවකතාවක් තුළින් ලබාදිය යුතු බවයි මගේ හැඟීම.

අපේ බොහෝ නවකතා දුර්වලවීමට හේතුව නිසි සංස්කරණයක් නැතිකම බව බොහෝ විද්වතුන් පවසනවා. ඔබේ පොත ලියූ පසු සංස්කරණයකට ලක් කළාද?

ඒ අදහසට මම 100%ක් එකඟයි. සංස්කරණයක් නැති නිසා හොඳ නවකතා ගොඩක් අතරමඟ නවතිනවා. මගේ නවකතාව යාළුවන් කිහිපදෙනකුටම මුලින්ම කියවන්න ලබාදීලා ඔවුන්ගේ අදහස් පරිදි වෙනස් කරමින් සංස්කරණය කළා. භාෂාව සකස් කළා. අවස්ථා තවදුරටත් සකස් කළා. එහෙම කපමින් කොටමින් සකස් කළ නිසා තමයි පොත මේ තත්ත්වයට එන්න ඇත්තේ.

කුසුම්සිරි