විජය කුවේණි ඉතිහාසයේ සිට මේ දක්වාම ලංකාවේ විවිධ වූ සංවිධාන බිහිව තිබේ. ඇතැම් සංවිධාන කාලයාගේ ඇවෑමෙන් නමට පමණක්ම සීමාවූ අතර තවත් සංවිධාන අද දක්වාම සාර්ථක වෙමින් පවතී. 1993 අගෝස්තු මස 23 වැනිදා තවත් එවැනි සංවිධානයක් රට තුළ බිහිවිය. එය නමින් ශ්‍රී ලංකා නිවුන් සංවිධානයයි.
ලංකාව තුළ ජීවත් වන නිවුන් සහෝදර සහෝදරියන් එක්ව පිහිටවූ මෙම සංවිධානයේ සභාපතිනිය ලෙස කටයුතු කරනු ලබන්නේ උපුලි ගමගේය. එහි ලේකම් ධූරය දරනුයේ චමලි ගමගේය. මෙවැනි සංවිධානයක් ඇතිකරලීමේ අදහස ඇතිවන්නේද මේ උපුලි - චමලි අක්කා නගෝලාගේ සිත් තුළය.
මේ අනුව 1993 වසරේදී තුන්නිවුන් එක් කාණ්ඩයකුත් අනෙක් කාණ්ඩය සමනිවුන් ලෙසටත් විසිපස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමකගෙන් මෙම සංවිධානය පිටකෝට්ටේ උපුලි - චමලි නිවෙසේදී ආරම්භ කෙරිණි.
මම නිවේදිකාවක් විදිහට ඒ කාලේ කටයුතු කළා. සංවිධාන කිහිපයකම විවිධ තනතුරු දැරුවා. චමලි නර්තනය පැත්තෙන් උපරිම තලයට ගිය කෙනෙක්. නොයෙකුත් සමස්ත ලංකා ජයග්‍රහණ ලබාගෙන තිබුණා. අපි දෙන්නා ඉගෙන ගත්තේ කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ. ඉතින්... අපි දෙන්නා එක වගේම නිසා වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් ටෙලිනාට්‍ය කිහිපයකටත් සහභාගිවෙන්න අවස්ථාව ලැබුණා. මේ දේවල් ඔස්සේ සමාජයේ බොහෝ පිරිසක් ඇසුරැ කරන්න අපිට අවස්ථාව ලැබුණා. ඒ දැන හඳුනාගැනීමෙන් තමයි මේ මුල් සාමාජිකයන් පිරිස අපිට එකතු කරගන්න පුළුවන් වුණේ.. නිවුන් සංවිධානයේ සභාපතිනිය දේශයට පැවසුවාය.
විසිපස් දෙනකුගෙන් ඇරඹුණු මෙම නිවුන් සංවිධානය මුළු රට පුරාම ව්‍යාප්ත වූයේ 1998 වසරේ අගෝස්තු 23 වැනිදාය. එදින ඔවුහු නිවුන් දිනය ලෙසින් සැමරූහ. එම වසර පහ ඇතුළත මෙම නිවුන් සංවිධානයේ 3000ක් පමණ දෙනා සාමාජිකත්වය ලබාගෙන සිටියහ. තනි පුද්ගලයන් ලෙස 6000ක් පමණ වෙති.
2001 අප්‍රේල් 27 වැනිදා ලෝකයේ ප්‍රථම වරට නිවුන් අවුරුදු උත්සවයක් පැවැත්වීමට මෙම සංවිධානයට හැකියාව ලැබුණි. එය එතරම් ලේසි පහසු කටයුත්තක් නොවීය. නමුත් උපුලි - චමලි නිවුන් කණ්ඩායම ඒ අභියෝගයද සාර්ථකව ජයගත්හ.
2002 වසරද නිවුන් සංවිධානයට අමතක නොවන වසරක් විය. 2002 වසරේ පෙබරවාරි 22 වැනිදා (2002-02-22) සවස 2.22ට නිවුන් මුද්දර කවරයක් එළිදැක්වීමට ඔවුහු මූලික වූහ. මෙය ලංකාවේ පළමු වරට එළිදැක්වූ නිවුන් මුද්දර කවරය විය. 2 අකුර සුවිශේෂී කරලීමට මීටත් වඩා දිනයක් තවත් නැත. සෑම වසරකම අගෝස්තු 23 වැනි දින ජාතික නිවුන් දිනය ලෙස නම්කිරීමට මෙම සංවිධානය එවකට පැවති රජයෙන් ඉල්ලීම් කළේය. එවකට රට තුළ දරුණු ලෙස පැවති යුද්ධය හේතුවෙන් එකවර 250කට වඩා රුස්කර නොගන්නා ලෙස මෙම සංවිධානයේ මූලිකත්වය දරන චමලිගෙන් හා උපුලිගෙන් ඉල්ලීමක් කෙරී තිබිණි.
නිවුන් උළෙලක් පැවැත්විය හැකි එකම ස්ථානය වන්නේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය පමණි. නමුත් අද වනවිට මෙම සංවිධානයේ 28000ක් පමණ සාමාජිකත්වය ලබාගෙන සිටිති. මේ නිසා මෙහි සියලුම සාමාජිකයන්ට එකවර එකතුවන්නට සුදුසු ස්ථානයක් නොමැතිකම විශාල ගැටලුවක්ව පවතී. මෙම 28000 දෙනා නිවුන්, තුන්නිවුන්, සිව්නිවුන් සහ පස්නිවුන් ආදී වශයෙන් කාණ්ඩ කළ හැක.
ලොව කිසිම රටක නිවුන් නර්තන කණ්ඩායමක්, නිවුන් ගායක කණ්ඩායමක්, නිවුන් වාදක කණ්ඩායමක්, නිවුන් චිත්‍ර ශිල්පී සංසදයක් සහ නිවුන් ක්‍රීඩා සමාජයක් නොමැත. නමුත් ශ්‍රී ලංකා නිවුන් සංවිධානය තුළින් ඒ කණ්ඩායම් වෙන වෙනම බිහිකිරීමට හැකියාවක් ලැබුණි. ශ්‍රී ලාංකික බෙර හඬ, සම්ප්‍රදායික නර්තන කලාව මුළු ලොවටම රුගෙන යන්නට නිවුන් නර්තන කණ්ඩායම විශාල මහන්සියක් ගනියි. නිවුන් සංවිධානය හරහා අපේකම රැකගනිමින් මේ කලාව ඉදිරියට ගෙන යාමට චමලි උපුලි ඇතුළු නිවුන් සංවිධානය මහත් පරිශ්‍රමයක් දරයි.
පවතින රජය හෝ බහුජාතික සමාගම් කිසිවකින් අපට කිසිම උදව්වක් ලැබිලා නැහැ. අපේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් තමයි මේ වෙනකොටත් අපි අවශ්‍ය ලියුම් තැපැල් කරන්නෙ. 14000කට ලියුම් තැපැල් කරන එක ඒ තරම් ලේසි දෙයක් නෙමේ. අපේ සංවිධානයේ කොළඹ මෙන්ම මුළු රට පුරාම සාමාජිකයන් විසිරිලා ඉන්නවා. ගිරාදුරුකෝට්ටේ, වව්නියාව වගේ විවිධ පළාත්වලින් කට්ටිය එකතුවෙලා ඉන්නවා. ඉතින් මේ අයව කොළඹට ගෙන්වලා විස්තර කියන්න බැහැ. ඒ නිසා හැම තොරතුරක්ම අපි ඒ අයට කියන්නෙ ලියුම් මගින්.* යැයි සංවිධානයේ සභාපතිනි උපුලි ගමගේ දේශයට පැවසීය.
මේ වනවිට සංවිධානය මගින් ආර්ථික අපහසුතා සහිත නිවුන් පවුල් 750ක් පමණ නඩත්තු කරමින් සිටිති. ඒ පවුල්වලට අවශ්‍ය දෑ ලබාදීම තුළිනි. එම සියල්ල ඔවුන් සිදුකරන්නේ සංවිධානයේ සාමාජිකයන් හරහාමය. නිවුන් සංවිධානයේ සාමාජිකත්වය ලබාගෙන සිටින ඉහළ පන්තියේ පවුල් පහළ පන්තියේ පවුල් පෝෂණය කිරීමට උදව් ලබාදෙති. මෙම සංවිධානය තුළ වෛද්‍යවරු, නීතිඥවරු, ව්‍යාපාරික මෙන්ම විවිධ උසස් නිලයන් දරන නිවුන් සාමාජිකයෝ සිටිති. ආර්ථික ශක්තියක් ඇති මේ බොහෝ දෙනා අඩු ආදායම් ලබන නිවුන් පවුල්වලට උදව් කිරීමට කැපවී සිටිති.
අඩු ආදායම් ලබන පවුල්වල ජීවත් වන මිනිසුන්ගේ මානසික තත්ත්වය ගැනත් අපි හිතනවා. සමහර පවුල්වල තුන්නිවුන් දරුවන් ඉන්නවා. නමුත් අම්මටත් තාත්තටත් හරිහමන් රස්සාවක් නැහැ. දරුවන් අසරණ වෙනවා. ලියුම් ආවම අපි ඒ අයව ගිහින් බලනවා. සමහර අම්මලා දරුවන්ව බිහිකරන්නෙ කිසිම පෝෂ්‍යදායී ආහාරයක්වත් නොගෙනයි. සමහරවිට තවත් දරැවන් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි පවුලේ ඉන්නවා. ඉතින් අපි දෙන බඩුමල්ලේඇති පෝෂ්‍යදායී ආහාර ඒ අම්මලා කන්නෙ නැහැ. ඒවා අර පවුලේ ඉන්න අනිත් දරුවන්ට දෙනවා. ඇත්තටම ඒ වගේ අහිංසක අසරණ වුණු අම්මලා අපිට මුණගැහිලා තිබෙනවා. යැයි නිවුන් සංවිධානයේ ලේකම් චමලි ගමගේ සඳහන් කළාය.
මෙවැනි ඇතැම් අහිංසක දරුවෝ විවිධ ඌනතා රෝගවලට ගොදුරැවෙති. ශ්‍රී ලංකා නිවුන් සංවිධානය ජාත්‍යන්තරයට ගෙන යාම උපුලිගේත් චමලිගේත් බලාපොරොත්තුවයි. ඒ අනුව ලෝකයේ වැඩිම නිවුන් සාමාජිකයන් පිරිසක් සහභාගිවන උළෙල ලබන වසරේ අගෝස්තු මස පවත්වා ගිනස් වාර්තාවක් තැබීමට ඔවුහු සූදානම් වෙති. එයින් මේ පණිවුඩය රටේ නාමයත් සමඟ මුළු ලොවටම ගෙන යාමට ඔවුන්ට හැකිවනු ඇත. එමෙන්ම ලබන වසරේ අප්‍රේල් මාසයේ 26 වැනිදා නිවුන් අවුරැදු උළෙලක් පැවැත්වීමටද ඔවුහු සූදානමින් සිටිති. මෙම අවුරුදු උළෙලේදී ආසියාවේ විශාලතම අවුරැදු කෑම මේසයේ අවුරැදු කෑම රසවිඳීමේ අවස්ථාව සලසා දීමටත් උපුලි - චමලි ඇතුළු නිවුන් සංවිධානය බලාපොරොත්තු වෙයි.
දිශානි ජයමාලි කරැණාරත්න