කේන්ද්‍රය අනුව තමාට මුහුණ පාන්නට සිදුවන අපල උපද්‍රව දුරුකර ගැනීම සඳහා උපන් බිම තාවකාලිකව හෝ අතහැර විදේශයකට යාමට බොහෝ අය කටයුතු කරන බවක් දක්නට ඇත. අද ඇතැම් දේශපාලනඥයන් පවා විවිධ සම්මන්ත්රණ ආදී හේතු ඉදිරිපත් කරමින් නිතර පිටරට යන්නේ තම ජ්‍යොතිෂවේදීන් විසින් සිය රටේ රැඳී සිටීම අනතුරුදායක බවට අනාවැකි පැවසීම නිසාය. අද පමණක් නොව අතීතයේ සිටම දේශපාලනඥයන්, සුපිරි ධනපතියන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන් සමහර දෙනා වසරකට කිහිපවරක් පිටරට ගිය බව දක්නට ඇත. එහෙත් ඔවුන්ගේ අපල එම ගමන්වලින් දුරුකර ගත හැකිනම් ඔවුන්ට කිසිදු හානියක් නොමැතිව අද දක්වා ජීවත් වන්නට, තනතුරු දරන්නට හැකිව තිබෙන්නට ඉඩ තිබුණි. එහෙත් එසේ සිදු වූයේ නැත.
නඅන්තලික්ඛේ න සමුද්දමජ්ඣේ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සෝ ජගනිප්පදේසෝ
යත්ථට්ඨිතං නප්පසහේථ මච්චු
ධම්ම පදයේ පාප වග්ගයේ සඳහන් ඉහත දක්වා ඇති බුද්ධ වචනයේ අර්ථය වන්නේ අහසෙහි හෝ මහ මුහුද මැද හෝ පර්වත ගුහාවක හෝ සැඟවී තමා සිදු කළ පාප කර්මයට ලැබෙන දඬුවමින් මිදිය නොහැකි බවය.
අපලයට පිපරට යාමට නිර්දේශ කිරීම වර්තමානයේදී විලාසිතාවක් ලෙස ක්‍රියාත්මක වන බවද පෙනේ.
එසේ යාම නිසාම අපලය පලදුන් බව සිතීමට නුපුළුවන් සමාජයක් නිර්මාණය වි තිබීම කනගාටුවට කරුණකි. තමාගේ උපන් බිම, මාපියන්, අඹුදරැවන්, ඥාතීන්, මිත්‍රයන් හැරදමා සීමිත කාලයට හෝ වෙන් වී යාමට කාලය, ශ්‍රමය, ධනය වැය කිරීමට සිදුවීම ද එක අතකට අපලය පලදීමක් යැයි සිතිය හැක.
දේව කතා පුරාණයේ සඳහන් වන පරිදි විෂ්ණු දෙවියන් විසින් සෙනසුරැ අපලයෙන් මිදීම පිණිස හස්තිරාජ වේශයක් මවාගෙන ඝන වනාන්තරයේ සැඟවී සිටියේලු. අවුරුදු හතහමාරක සෙනසුරු ඒරාෂ්ඨකය නිමවූ පසු නැවතත් ප්‍රකෘති ලෙස දිව්‍ය විමාන ගත වූ විෂ්ණු දෙවියන් සෙනසුරැගෙන් විචාලේ ඔබේ ඒරාෂ්ඨකයෙන් කෝ මට දඬුවම් දුන්නාදැයි කියාය.
එවිට සිනහසුන සෙනසුරු ප්‍රකාශ කළේ ඇයි දඬුවම් නුදුන්නේ? අවුරුදු හතහමාරක් බටකොළ කැව්වේ නැද්දැයි කියාය.
මෙයින් පෙනී යන්නේ ග්‍රහ අපලයට දඬුවම් විඳීමේ ක්‍රමය තෝරා ගැනීමේ එක් ක්‍රමයක් ලෙස ස්වයං තීරණ බලපාන බවය. තවත් ක්‍රමයක් ලෙස ළඟ සිටින උපදේශකයන්ගේ තීරණ බලපාන බව ද කිය යුතුය.
මීටත් වඩා බරපතල අපරාධ කරනු ලබන උපදේශකයන් සමහරුන් වටා සිටින බවද පසුගියදා අපට ප්රත්යක්ෂ විය. ගුරැවරියක් වූ තිදරු මවක් වන ඇයට රාහුගේ අපලය ක්‍රියාත්මක වී තිබිණ. උපතින් බුද්ධාගම්කාරියක් වූ ඇයට උපදෙස් ලැබී තිබුණේ අන්යාගමකට මාරුවීමටය. උපදේශය ක්‍රියාත්මක කළ ඇයට ස්වාමිපුරුෂයාගේ ඥාතීන්ගෙන් එල්ල වී තිබුණේ ප්‍රබල විරෝධයකි. දික්කසාද නඩුවකට පැටලුණ ඇය පසුතැවිලිදායක ලෙස අප මුණගැසුණු විට නිවැරදි මගට ගැනීමට ප්‍රබල උත්සාහයක යෙදීමට සිදුවිය.
ශ්‍රී ලංකාවේ පහළ වූ විචිත්‍ර ධර්ම කථිකයකු වූ සෝම ස්වාමීන් වහන්සේ විදේශගත වූ අවස්ථාවකදී අපලය ක්‍රියාත්මක වී අපවත් වූ සේක. මෙයින් පෙනී යන්නේ උපත සිදුවූ දේශයට අනුව සැකසුණු ජන්ම සටහනට අදාළ කෝණය වෙනස් වීම විදේශගත වීමෙන් අපල සමනය වනවාය යන අදහසට සියයට සියයකින්ම එකඟ වීම අපහසු බවය.
ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ අධිපතිවරයා ලෙස වෙනත් දේශයක උපත ලැබූ කෙනකු පත්විය. නමුත් ඔහුට අපලය පල දුන්නේ විදේශයකදීය.
මේ ආකාරයට උදාහරණ රාශියක් අපලයට පිටරට යාම පිළිබඳව ඉදිරිපත් කළ හැක. විදේශගත වීමේදී උද්ගතවන භයානක තත්ත්වයක් ද ඇති අතර ඒවා පිළිබඳව සමාජ කතිකාවක් නොමැති නිසා වර්තමාන අය එහි ඇති භයානකකම නොදන්නා සේය.
චන්ද්‍රිකා මැතිණිය ජනපති කාලයේදී පොළොවෙන් ගුවන්ගත වූ අෂ්රොෆ් නැමැති අමාත්‍යවරයකු සිටි ගුවන් යානය සප්ත කන්‍යා කඳුවැටියේ වැදී විනාශ විය. ප්‍රබල ව්‍යාපාරිකයකු යූ උපාලි සමූහ ව්‍යාපාරයේ අධිපති ගුවනේදීම අතුරුදන් විය. මේ නිසා ග්‍රහ අපල ඇති කාලවලදී පෘථුවි ස්පර්ෂයෙන් තොරව වැල් පාලමක් මත හෝ ගමන් කිරීම අවදානම්ය.
ගමන්ගත වීමටත් කාලවේලාවක් පවතී. විදේශ භූමියකට පා තැබීමටත් වේලාවක් තත්කාල කේන්ද්‍රයක් පවතී. මූලික උප්පත්ති ජන්ම පත්‍රයට මේධවන කේන්ද්‍රයක් පවතින විටක විදේශයකට පා තැබීම ද දෝෂ සහගතය. විදේශවලට ගොස් අපල දුරැකර ගත හැකිනම් ඕනෑම කෙනකුට විදේශයකට ගොස් එසේ කරගත හැකිය. එහෙත් එය ප්‍රායෝගිකව සිදුකර ගත නොහැක.
මහාමායා බිසවුන් වහන්සේ තම පියරජුගේ නිවසට දරැ ප්‍රසූතිය සඳහා පිටත් වූයේ සා නැකතිනි. තීරණය වෙනස් කර ගමන නතර කර ආපසු මාළිගයට පැමිණීමට සිදුවිය. ඒ ගමනේ කෙළවර තිබුණේ දින හතකින් කළුරිය කරන්නටය.
මේ නිසා දේශපාලනඥයන් මෙන්ම ව්‍යාපාරිකයන් අපලවලට පිටරට යාමට පෙර උපදෙස් ලබා ගැනීම සඳහා විද්වත් මණ්ඩලයක සේවය ලබා ගන්නේ නම් මැනවි.
ගාල්ලේ - ආලගන - අක්මීමන
සුරාශ්‍රී ගුණවර්ධන
විශ්ව කීර්ති ජ්‍යොතිර් විද්‍යා
පණ්ඩිත ශිරෝමනී