2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

උඩ යන- යට යන රුපියලේ වැඩකිඩ

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:31 177

ඊයේ පෙරේදා සමාජ වෙබ් අඩවිවල සංසරණය වූ යම් හෑල්ලකින් රුපියලේ කතාව ආරම්භ කිරීම හොඳයැයි සිතුණි. පහත දැක්වෙන්නේ එම කතාවේ සරල සිංහල අනුවර්තනයකි. මෙය කුඩා දරුවකු හා සීයා කෙනකු අතර ඇති වූ සංවාදයකි.

සීයා - අපේ කාලේනම් පුතේ සාප්පුවකට ගියාම රුපියලකින් බිස්කට් ටින් දෙකකුයි, හොඳ චීස් බෝල තුන හතරකුයි, චොක්ලට් ස්ලැබ් කීපයකුයි, ටොෆියි, සීනි බෝලයි අරගෙන තව සත විසිපහක් විතර ඉතුරු කරගෙනත් එන්න පුළුවන්.
දරුවා - දැන් ඉතින් එහෙම බෑනේ සීයේ. හැමතැනම CCTV කැමරා හයි කරලනේ.

මේ කතාවෙන් රුපියල බාල්දු වීම පමණක් නොව පැරැණි හා අලුත් පරම්පරා අතර ඇති නොවටහා ගැනීමක වෙනසත් හොඳින් හඳුනා ගත හැකිවේ.

අපත් දැන් සීයලාගේ වයසේ නිසා අර සීයා කීවේ බොරුවක් නොවන බව දන්නෙමු.

රුපියල බාල්දු වී තිබෙන්නේ දැන්ය. දැන් රුපියලක වටිනාකම අමෙරිකන් ඩොලර් ශත බාගයක වටිනාකමට බැස ඇත. බාල්දු වීමකට වඩා අලුත් භාෂාවෙන් කිවහොත් එය පීචං වීමකි. ඩොලරයට රුපියල් ගාණ කියනවාට වඩා රුපියලට ඩොලර් ගාණ කී විට බාල්දු වීමේ තරම මැනවින් පෙනේ. විද්වතෙක් පෙන්වා දෙන අන්දමට 1948 නිදහස ලබා ගන්නාවිට රුපියලේ වටිනාකම අමෙරිකන් ඩොලර් ශත තිහකි. එවකට සිංගප්පූරු ඩොලරයේ වටිනාකම අමෙරිකන් ඩොලර් ශත තිස් තුනකි. දැන් සිංගප්පූරු ඩොලරයේ වටිනාකම අමෙරිකන් ඩොලර් ශත හැත්තෑවට නැග තිබේ. අපේ රුපියල අමෙරිකන් ඩොලර් ශත බාගයට බාල්දු වී තිබේ.

ඉලක්කම්වලින් අර්ථශාස්ත්‍රානුකූලව කියනවාට වඩා අප අත්දුටු එදිනෙදා ජීවිතයේ ගනුදෙනු හා සිද්ධි ආශ්‍රයෙන් රුපියලේ අගය අඩුවීම මීට වඩා සරලව තේරුම්ගත හැකිවේ.

සුදු පාට රුපියලේ කාසි එන්නට පෙර නිල් පාට රුපියලේ නෝට්ටුවක් අප කුඩා කාලයේදී භාවිතා වූ වග මතකය. රුපියලේ නෝට්ටු තිබෙන්නට ඇත්තේ ඒ කාලයේ රුපියලේ වටිනාකම වැඩි නිසාය. රුපියල බාල්දු නොවූ නිසාය. රුපියල බාල්දු වූ කල රුපියලේ අගය ගැන කියනු කවරේද? දැන් ඇත්තේ රුපියල් දහයේ කාසිය.

බස් එකට බාගේ ටිකට් කැඩූ අප කුඩා අවදියේ එක ගමන් දුරක් (Section එකක්) සඳහා බස් ගාස්තුව වූයේ ශත තුනකි. පාසල් යන්නට සැතපුමක් පමණ දුර ගිය අපට තනි ගමනට ගාස්තුව වූයේ ශත පහකි. එය කල්ගත වෙත්ම ශත දහය වූයේය. පාසලේ සිට ශත පහේ දුරින් සිටි අප බොහෝ දෙනා කළේ එම ශත පහෙනුත් විවේකයේදී කැන්ටිමෙන් කා පයින් ගෙදර ඒමයි. ශත පහෙන් මොනවා කන්නදැයි අලුත් පරම්පරාවේ ළමයකුට සිතෙනු ඇත. කැන්ටිමේ වඩේ එකක් සත පහකි. අච්චාරු අම්මාගේ අඹ, අන්නාසි, වෙරළු සහිත අච්චාරු ගොටුවක් සත පහකි. අඟල් 6ක් පමණ දිග, අඟලක පමණ විශ්කම්භය ඇති සීනි මුරුක්කුවක් ද සත පහකි. ඇත්තෙන්ම ශත පහෙන් ගත හැකි බොහෝ දෑ තිබුණි. කැන්ටිමේ CCTV කැමරා ද නොතිබුණි. කිඹුලා බනිස් ආදිය මතක ඇති කාලෙක තිබුණේ සත දහයටයි. දවසේ වියදමට දෙන සත තිහෙන් උදේ බස් ගාස්තුව සත පහක් ගිය විට ඉතිරි සත 25න් බිත්තර බනිස් එකක් කෑ හැකි විය. මේ 70’ – 71’ කාලයේ තත්ත්වයයි.

නවසිය හැත්තෑවේ හන්දියේ කඩෙන් එළවළු ගෙන එන්නට අම්මා දුන්නේ රුපියල් දෙකකි. එම රුපියල් දෙකට රාත්තල් බාගය බැගින් එළවලු වර්ග 5ක්, 6ක් ගත හැකිවිය. පො‍ළේ එළවළු මිල ඊටත් අඩුය. ඒ කාලයේම ඉරිදා දවසට, සිළුමිණ, ඉරිදා ලංකාදීපය, රිවිරැස, ටයිම්ස්, ඔබ්සවර්, වීක්එන්ඩ් යන පත්තර ගන්නට කඩේට දුන්නේ රුපියල් දෙකකි.

69 – 70 කාලයේ පාසලෙන් බැහැර කාලයේ පාසලට පැමිණි විට තෝසේ කඩයට (සයිවර් කඩයට) ගොස් තෝසේ පාරක් දාගැනීමට කොලු නඩයට තිබුණේ නොමඳ ආසාවකි. එවිට එක් අයකු ළඟ ශත 15 – 25ක් තිබීම පමණටත් වැඩිය. මන්දයත් තෝසේ එකක් සත පහ බැවිනි. පරිප්පු හා වට්ටක්කා සහිත සාම්බාරු හොද්ද නොමිලේය. සැම සයිවර් කඩයකට පාහේ හොඳින් උළුඳු යොදා තෝසේ සාදා තිබිණි. අනවශ්‍ය රසායනික කවලම් කිරීමේ පුරුද්දක් එකල වෙළෙඳුන් හෝ හෝටල්කරුවන් තුළ නොතිබිණි.

පළමු පන්තියේ හිඳගෙන චිත්‍රපටයක් බලන්නනට බොහෝ කල් යනතුරු වැය කළ යුතු වූයේ රුපියල් 1.24ක පමණ මුදලකි. ගැලරියේ ගාණ ශත 55ට තිබී පසුව ශත 75 දක්වා වැඩි වුණේය.

අප කුඩා කාලයේ ශත 68ට තිබූ සීනි රාත්තලම ඉන්පසු බොහෝ කල් ගතවනතුරු නියම වී තිබුණේ ශත 72ක මිලකි.

අප කුඩා කාලයේ සිංහල පාඩමේ වාක්‍ය තනන විට නිතර ඇස ගැටුණු වාක්‍යයකි “මම හිඟන්නාට සතයක් දුනිමි” යන්න. සතයක් නොව රුපියලක් දුන් විට පවා එය ඉවත විසිකොට දුන් තැනැත්තාට බැණ වැදුණු යාචකයන් ගැන පසුකාලීනව අසන්නට ලැබුණේය. රුපියල බාල්දු වූ තරම ඉන් පෙනේ.

නවසිය අසූ ගණන්වල පවා වෙසක් දාට තොරණ් කවිවල ආධාරෙට ඉල්ලුවේ රුපියලකි.

රුපියලකින් තොරණට ආධාර කරන්න ලබන සැරෙත් වෙසක් එකට තොරණ් ගහන්න. වෙසක් එකට රුපියලක ආධාරය ඉල්ලමින් ගයන ගීයක් ජනක් ප්‍රේමලාල්ගේ අබුද්දස්ස කෝලම නාට්‍යයේ ද තිබිණි.

එම ගීයෙන් කොටසක් මෙසේය.

රුපියල රුපියල රුපියල රුපියල රුපියල රුපියල 
උඩහට යන්නේ රුපියල
පහළට එනවා රුපියල

නාට්‍යයේ තොරණ් විස්තරය කියමින් ආධාර ඉල්ලන කවියාට රුපියලක් ඉල්ලන්නට සිදුවන්නේ A.S. ආලිස් නෝනා සත විසි පහක් ආධාරය ලෙස රුගෙන එන තරම් නිසාය. එවිට කවියා උරණ වෙයි. ඔහු ඊළඟ කවිය මුල A.J. ඇලිස් නෝනා අල්ලපු වත්තේ සත විසිපහක් ගහගෙන ආවයි (මේ දවස්වල අවට සිටින අය කවියාගේ කට අතින් වසා දමයි) කවියා වෙනුවට පඬිතුමා කවිය සම්පූර්ණ කරයි.

“ඉනේ ඉනේ”

මහගම සේකරයන්ගේ එක් කවකට ද “ලොකු සුදු රුපියලක්” යන යෙදුම තිබිණි.

පැරැණි වෙළෙඳ දැන්වීම්වල රූප දුටු විට එකල රැපියලක කොතරම් වටිනාකමක් ගැබ් වී තිබුණාදැයි සිතාගත හැකිය. ග්‍රේ හවුන්ඩ් නම් පාපැදියේ (බයිසිකලේ) වෙළෙඳ දැන්වීමේ මෙසේ සඳහන් වේ.

“කියවා බලනු -
එය පුදුමාකාර අඩු මිල ගැන පෙනී සිටී. මීට වඩා මිලක් ලංකාවේ දෙන්නට බැරි යැයි අපි නිර්භයව කියා සිටිමු.
ග්‍රේ හවුන්ඩ් 
දැන් මිල බලනු
රු. 65 (ලොකු ඉලක්කමෙන්)
අඩු නැහැ”

එච්. ඩබ්. කේට් සහ සමාගම - කොළඹ.

“ෆියට් 600 ආසන හතරේ සැලූනය” ලෙස දක්වා ඇති කාර් රථයේ මිල දක්වා ඇත්තේ රුපියල් 7850ක් ලෙසයි. බයිසිකල්, කාර්, යනාදියට මෙසේ අඩු මිලක් සටහන්ව ඇත්තේ ඒවා ලාබෙට දීම නිසා නොව රුපියලේ වටිනාකම එකල වැඩි නිසාය.

අප කුඩා කාලයේ පාන් රාත්තලක මිල වූයේ ශත 25කි. එය ශත 30 දක්වා වැඩි වූයේ කොයි කාලයේදැයි හරිහැටි මතක නැත. එහෙත් 1970 සමඟ පෙරමුණු රජය බලයට පත්වීමෙන් පසු ඒ කාලයේම වාගේ පාන් රාත්තලක මිල ශත 25කින් වැඩිවීම මහත් ආන්දෝලනයට තුඩු දුන් ප්‍රශ්නයක් වූයේය. එක් අයකුට සහල් සලාකයෙන් සතියකට ලැබුණේ සේරු 2ක් නිසාත් එය ප්‍රමාණවත් නොවූ නිසාත් එකල ද පාන්වලට ඉල්ලුමක් පැවතියේය. නුපුහුණු කම්කරුවකුට එකල ගෙව්වේ රුපියල්  1.50ක පමණ දෛනික වැටුපක් නිසා මෙසේ පාන් මිල වැඩි කිරීම ඔවුනට දරාගත නොහැකි විය.

අප පාසල් යන කාලයේ 1968 – 69 පමණ රුපියලේ අගය 20%කින් පහළ දැමූ බව පත්තරෙන් සහ ගුවන් විදුලියෙන් ප්‍රචාරය විය. ඩොලරයට සාපේක්ෂව එහි අගය අඩුවීමක් ගැන පාසල් ගිය අපට තබා වැඩිහිටියන්ටත් ඒ කාලයේ දැනුමක් තිබුණේ නැත. 

ස්ටර්ලිං පවුමේ අගයට සහ විදේශ විනිමය සංචිතවල අඩුවීම අනුව ඒ කාලයේ තීරණ ගත් බව පසුකාලීනව දැනගතිමු. 

“ඉස්සර තිබුණ ශත අසූවේ වටිනාකම තමයි දැන් රුපියලේ තියෙන්නේ” ඇතැම් වැඩිහිටියන් ළමුන්ට කියාදුන්නේ එලෙසය. මෙසේ එකල ආනයන භාණ්ඩ හා අපනයන භාණ්ඩ මිලට සෘජුව බලපෑ බවට සැකයක් නැත. එහෙත් ක්ෂණිකව අඩු මිලට ගත් භාණ්ඩවල මිල වෙනස් වූයේ නැත. රුපියලට තිබූ දේ 1.20කට නොගියේය. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ගණන් බැලීම පිළිබඳව පොදු ජනයා දැනුම්වත් වූයේ 1977 නොවැම්බර් අයවැයෙන් පසුවයි. රුපියලට අන්තර්ජාතික වශයෙන් පැවති ඉල්ලුම හා සැපයුම් අනුව නම්‍ය විනිමය අනුපාතිකයක් තීරණය වන්නට ඉඩ හැරියේ එදා සිටයි. ඊට කීවේ රුපියල පාවෙන්නට ඉඩ හැරියා කියාය.

“මයෙ ජීවිතේට දැකලා නෑ රුපියලක් පාවෙනවා” එක් විකට ශිල්පියකු කියනු රූපවාහිනියේ පෙනුණේය.

අප දන්නා ඉතිහාසයේ පළමු වරට බස් ගාස්තු වැඩි වූයේ 1974 ජනවාරි මාසයේය. ලංගම බස් රථවල මේ පිළිබඳ දැනුම් දෙන දැන්වීම්වල සටහන් වූයේ “අරික්කාලකින්” බස් ගාස්තුව වැඩිවන බවකි. (අරික්කාල) යන්නට නිර්වචනයක් මේ දක්වා සොයාගත නොහැකි විය. වර්තමානයේ නම් එවැනි වචන යොදා පාරිභෝගිකයන්ගෙන් බේරෙන්නට නොහැකිය. නොබෝදා දුම්රිය ගමන් ගාස්තු 10%කින් වැඩි වූ බව නිවේදනය කිරීමෙන් අනතුරුව මහජනයා එම සියයට ගණන තමා ගෙවන දුම්රිය ගාස්තු වැඩිවීමට නිවැරදිව ඇතුළත් වී ඇත්තේදැයි දැඩි පරීක්ෂාවෙන් පසුවූ බව සමාජ වෙබ් අඩවි පෝස්ටුවලින් පෙනුණේය.

ගාල්ල සිමෙන්ති කම්හලේ නිපදවූ රුහුණු සිමෙන්ති කොටුම්පත (ටෙන්ඩරයක) මිල 1967දී සටහන් වූයේ රුපියල් දෙකක් ලෙසයි. එම සිමෙන්ති කොට්ටයේ මොණරකුගේ රුව ඇඳ තිබුණි. ඊට අවුරුදු කිහිපයකට පෙර එම දශකයේ මුල හරියේදී කොළඹ සිට කටුනායකට අධිවේගී මාර්ගයක් තැනීම ආරම්භ කොට අතහැර දමනු ලැබීය. මුල් පියවරේදී හැදූ එම මාර්ගයේ කොන්ක්‍රීට් ඉදිකිරීම් කොළඹ තැන් තැන්වල මේ මෑතක් දක්වාම ඉතිරි වී තිබුණේය. එම ඉදිකිරීම් ආරම්භ වෙද්දී සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2කටත් අඩුය. වියදම වැඩිවීම නිසා එම මාර්ගය තැනීම අත්හැර දැමීම එකල කළ අනුවණකමකැයි දැන් සිතෙන්නේ යට කළ සිමෙන්ති මිල දුටු විටයි. කාලය අභිබවා යමක් කරන්නට කවරෙකු හෝ ඉදිරිපත් වුවත් ඒ කාලයේ එය කළ නොහැකි වී තිබේ.

අපේ ළමා කාලයේ මෙරටේ තිබුණේ සංවෘත ආර්ථිකයකි. (විවෘත ආර්ථිකය 1977 පටන් ගත් නිසා) එම නිසා එකල පිටරටින් ගෙන්වූයේ සීමිත භාණ්ඩ ප්‍රමාණයකි. එම නිසාදෝ රුපියලේ අගය අඩු කළ විට මෙරට භාණ්ඩ මිල එසැණින් ඉහළ නොගියේය. ආනයන සීමාකරණ ඉවත්ව ඇති නිසා අද අප පරිහරණය කරන බොහෝ දෑ සෘජුව හෝ වක්‍රව ආනයනයට සම්බන්ධය. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩු වූ විට අපට ක්ෂණිකව බලපානු ඇත. සියඹලා කරල් වියළි කලාපයේ ගස් යට දිරා යද්දී දැන් පිටරටින් ගෙනා සියඹලා කරල් සුපිරි වෙළඳසැල්වල විකිණේ. අපේ සරුංගල් වෙනුවට පිටරටින් ගෙනා සරුංගල් ළමෝ උඩ යවති. දේශීය බෙහෙත් බඩු බොහෝමයක් ගෙනෙන්නේ විදේශයෙනි.

රුපියල බාල්දු වෙද්දී රුපියල් දහදාහේ කොළ ද ආහැකි නිසා කොරියාවේ හෝ ජර්මනියේ පැරණි කාලයේ කළාක් මෙන් අපට වීල් බැරෝවල මුදල් රැගෙන යන්නට සිදුවනු ඇත.

♦ සමන් පුෂ්ප ලියනගේ