ත්‍රිරෝද රථ ධාවනය ගැනත්, එහි ගාස්තු ගැනත් සංවාදයක් කලක සිට පැවතුණි. ධාවනය පිළිබඳ සංවාදයට හේතුසාධක වූයේ ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් වූ අනතුරැ බහුලවීම යැයි පැවසීමට පුළුවන. රටේ රථවාහන ධාවනයේ සාපේක්ෂ තත්ත්වය ගත් කල ත්‍රිරෝද රථවල සංයමයක් නැත. බොහෝ රියැදුරෝ මාර්ග නීති උල්ලංඝනය කරති. මේ ත්‍රිරෝද රථ රියැදුරන් පිළිබඳ මහජනතාව දරණ පොදු මතයයි. ත්‍රිරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් ගැටලු මතුවන්නේ සමහරුන් අයුක්තිසහගත මිලක් අයකිරීම නිසාය. එකම දුර ප්‍රමාණයට විවිධ රියැදුරෝ විවිධ ගණන් අයකරති. ඒවා අත්තනෝමතික අයකිරීම් ලෙස හැඳින්විය හැකිය. මේ පසුබිමට දීර්ඝ කාලයක සිට එකතු වී ඇති සංවාදය වන්නේ ත්‍රිරෝද රථ මීටරයයි.
රටේ පොදු ප්‍රවාහන පද්ධතිය දෙස බලනවිට ත්‍රිරෝද රථය දුප්පතාගේ වාහනය යැයි පැවසුවද නගරාසන්න ප්‍රදේශවල දුප්පත් - පොහොසත් භේදයකින් තොරව ත්‍රිරෝද රථය භාවිත කරන බව පෙනෙන්නට ඇත. ග්‍රාමීය අංශය ගත්තද එහි බරපතළ වෙනසක් නැත. මේ සේවාව අද වනවිට අත්‍යවශ්‍ය සේවාවක් බවට පරිවර්තනය වී ඇත. ත්‍රිරෝද රථ ධාවනයෙන් ලක්ෂ ගණනක් පවුල් ජීවිකාව සලසාගන්නා අතර තවත් විශාල පිරිසක් එය දෛනික කටයුතු සඳහා යොදාගනිති.
කුලීරථ සේවයට යොදවා ඇති සෑම ත්‍රිරෝද රථයකටම මේ වනවිට මීටරය අනිවාර්ය කර ඇත. මේ ක්‍රියාවලියේදී මගියා එක් පසක සිටින අතර අනෙක් පස සිටින්නේ ත්‍රිරෝද රථ රියැදුරා සහ හිමිකරුවාය. මගියාගේ අපේක්ෂාව ආරක්ෂා සහිතව සාධාරණ මිලකට තම ගමන් පහසුව සලසාගැනීමය. රියැදුරාගේ හා හිමිකරැවාගේ අපේක්ෂාව සිය ධාවනයෙන් ලාභයක් උපයාගැනීමය. එහෙත් ඇතැම් රියැදුරෝ ත්‍රිරෝද රථ ගාස්තුව දඩමීමා කරගනිමින් මගියා ගසාකෑමට පෙළඹෙති. මීටරයක් ඇතහොත් එම ගසාකෑම සිදුකළ නොහැකිය. ඒ අන් කවරක් නිසාවත් නොව, එම මගියා ගමන්ගත් දුර ප්‍රමාණය හා ගාස්තුව මීටරයේ සටහන් වීම නිසාය.
ත්‍රිරෝද රථ සඳහා මීටරයක් සවිකිරීමේ යෝජනාව අලුත් එකක් නොවන අතර එය 2013 වසරේදී එවකට ප්‍රවාහන අමාත්‍යවරයා විසින් කරන ලද යෝජනාවක් හා ගෙනෙන ලද නීතියක් බව බොහෝ දෙනකු නොදන්නවා විය හැකිය. මෙය ක්‍රියාත්මක කිරීමේදී යම් විරෝධයක් මතුවුවද අද වනවිට බොහෝ ත්‍රිරෝද රථ බොහොමයක මීටර් සවිකර තිබේ. එය මගියාටද ලාභදායක මෙන්ම ත්‍රිරෝද රථ හිමිකරැවාටද සාධාරණය ඉටුවන ක්‍රමවේදයක් ලෙස සැලකිය හැකිය.
එමෙන්ම මීටර් සවිකරගෙන නොමැති මගී ප්‍රවාහන ත්‍රිරෝද රථවල රියැදුරන් අධිකරණය හමුවට පැමිණවීමේ බලය පොලීසියට ලබාදීමට කටයුතු කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පසුගිය දිනෙක පවසා තිබිණ.
ත්‍රිරෝද රථවල සවිකර ඇති මීටර්වල ප්‍රමිතිය පිළිබඳ තත්ත්ව වාර්තාව ලැබීමෙන් අනතුරැව අදාළ පියවර ගන්නා බවද එම සභාව වැඩිදුරටත් සඳහන් කර තිබූ අතර මේ සම්බන්ධව ත්‍රිරෝද රථ සංගම් කිහිපයකින් දේශයේ අපි විමසීමක් කළෙමු.
සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර
මේ ප්‍රශ්නය පටන් ගන්නෙ 2013 ජූලි මාසයේ ප්‍රවාහන අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කළාට පස්සෙ. ඒ ගැසට් එකේ ත්‍රිරෝද රථ මීටරය ගැන විතරක් නෙවෙයි, ත්‍රිරෝද ගැනත් කරැණු කාරණා තියෙනවා. එතකොට රටේ නීතිය හා සාමය ස්ථාපිත කරන්න බලය තියෙන්නෙ පොලීසියට. දැන් මේ ප්‍රශ්නයෙදීත් ඒක පොලීසියට පවරලා තියෙනවා. ඒ ගැන ගැටලුවක් නැහැ. 2017දීත් ප්‍රවාහන අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කරනවා 2013 ගැසට් නිවේදනයෙන් යම් ප්‍රමාණයක් ඉවත් කරලා. ඒකෙ තියෙනවා මිල ප්‍රදර්ශනය කළ යුතුයි, ත්‍රිරෝද රථයේ ගාස්තු මීටරයේ ප්‍රමිතිය තිබිය යුතුයි කියලා. නමුත් ඒක ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. ඊටපස්සෙ 2017 සැප්තැම්බර් මාසයේ නැවතත් ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. එය තමයි මේ මොහොතේ බලාත්මක. ඒ අනුව ඒ නීති 2017 ඔක්තෝබර් මාසයේ 01 ඉඳලා ක්‍රියාත්මක විය යුතුයි. නමුත් 2018 ඔක්තෝබර් මාසය තමයි මේ යන්නෙ. ඔවුන් මේ මොහොතේ කතා කරන්නෙත් බලය පවරනවා කියලා. අපි ඉල්ලා සිටිනවා මේ නීතිය ඉක්මනට ක්‍රියාත්මක කරන්න කියලා. ඒක අරයට දුන්නා, මෙයාට දුන්නා කියලා කියව කියවා ඉන්නේ නැතිව නීතිය ක්‍රියාත්මක කරන්න. නමුත් මේ අය පහුගිය දවස්වල කිව්වේ මොකක්ද? ගාස්තු මීටරයේ ප්‍රමිතිය නෑ කියලා. ඒක නිසා තමයි මේ තීරණය ප්‍රමාද වුණේ. ඒ නිසා දැන් අපි අහනවා එහෙම ප්‍රමිතිය නෑ කියපු එක ක්‍රියාත්මක කරන්නෙ කොහොමද? ඒ ප්‍රමිතිය පිළිබඳ තත්ත්ව වාර්තාව ලබාදීලා තියෙනවද? අපි කියනවා එහෙම තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරලා පෙන්නන්න. අපි කියන්නෙ ඒක.
සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ හිමිකරැවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක්
&මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවට කිසිම අයිතියක් නැහැ එහෙම දෙයක් කරන්න. මේ බොරු විජ්ජාවක් කරන්නෙ මේ අය මොකද? මීටර් කම්පැනි එක්ක එකතුවෙලා මීටර් මාෆියාවක් ගේන්න. මේක අමාත්‍යවරයාත් අපහසුතාවයට පත්කරවමින් කරන යටිමගඩියක්. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් එයාට බලයක් පවරලා නෑ මෙවැනි දෙයක් කිරීමට. ඒ නිසා මීටර්කාරයන් එක්ක එකතුවෙලා කරන ජාවාරමට අපි සම්පූර්ණයෙන් විරැද්ධයි. ඒ වගේම මේක පැහැදිලිව එයාට අයිතියක් නැති දෙයක් කියලා තමයි මට කියන්න තියෙන්නෙ.
ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන
අපි ඔය මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාපතිවරයාට සාකච්ඡාවලදී කියලා තියෙනවා ත්‍රිරෝද රථ මීටරය ලංකාව තුළ වෙළෙඳපොළේ තිබුණට ප්‍රමිතියෙන් තොර මීටරයක් බව. මේ පහුගිය 3 වැනිදා ප්‍රවාහන ඇමැතිවරයා සමඟ අපි කළ සාකච්ඡාවේදී ප්‍රවාහන ඇමැතිවරයා පිළිගත්තා ත්‍රිරෝද සඳහා විකිණෙන මීටරය ප්‍රමිති මීටරයක් නෙවෙයි කියලා. ඒක නිසා ප්‍රවාහන ඇමැතිවරයා කිව්වා ප්‍රමිති සහතිකයක් ලැබෙන තෙක් ත්‍රිරෝද රථවල මීටර් සවිකිරීම නතර කළා කියලා. ඒක මාධ්‍ය මගින් පළවුණා. මේකට ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සභාව කටයුතු කරනව නම් ඒකට අපි විරැද්ධයි. ඒ වගේම අපිට සාධාරණ සැකයක් තියෙනවා සභාපතිවරයා කූඨ වෙළෙන්දන් සමඟ එකතුවෙලා මේ මීටරයක් ගේන්න හදනවා කියලා. ඒ වගේම සභාපතිවරයා මීටර් සවි නොකළොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා වෘත්තිය බියගන්වලා කටයුතු කරනව නම් අපි ඒකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්න කටයුතු කරනවා.
ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ
මේ අපේ රටේ මාර්ග නීතිය දෙආකාරයකට පාවිච්චි කරන්නෙ. එයින් එකක් තමයි දඩකොළ කියලා කියන්නෙ. දඩකොළ යටතේ දඬුවම් 33ක් තියෙනවා. ඒ දඬුවම් 33ට දෙන්නෙ දඩකොළයක්. එතැනින් එහාට ගිය අනිත් වැරදිවලට කරන්නෙ උසාවියට යොමුකරන එක. ත්‍රීවිල්වල මීටරය නැති එකට දඩකොළයක් නැහැ. ඉතින් එහෙම දේවල්වලට කරන්න තියෙන්නෙ උසාවියට දාන එක. ඒ ක්‍රමවේදය තමයි දැන් ඔය පාවිච්චි කරන්නෙ. දැන් මීටරය නැතිනම් ඒ අය උසාවියට පමුණුවලා කරන දේ තමයි අපි කිව්වේ. ඒ වගේම මේක ක්‍රියාත්මක කරන්නෙ ඒ මීටර්වල ප්‍රමිති වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
බිල්පත් ක්‍රමය කෙසේ වුවද බොහෝ මගී ජනතාව ත්‍රිරෝද රථවල මීටරය අපේක්ෂා කරති. මීටර් නැති ත්‍රිරෝද රථ ප්‍රතික්ෂේප කරන මගීහුද බොහෝ දෙනකු සිටිති. රටක ප්‍රවාහන ක්ෂේත්‍රය එක අතෙකින් ජාතික ආර්ථිකයේ සාධකයකි. තව අතෙකින් එය ජන ජීවිතයේ දෛනික අවශ්‍යතාවයකි. වගකිව යුතු රජයක් විධිමත් ලෙස හැසිරවීමට අදාළ නීති රීති සම්පාදනය කිරීමේ අයිතිය බලධාරීන් සතුය.
හසිත් අංජන