උඩු රැවුලක් හා සෘජු කශේරුකාවක් සහිත ඒ මහා කළු සිංහලයාට බ්‍රිත්‍ාන්‍ය කිරීටය මහාමාන්‍ය නම්බු නාමයක් පිරිනැමුවේය. එහෙත් පදවි, නම්බු නාමවලින් ඉදිමුණු හිසක් තිබුණේම නැත. ටයි, කෝට් ඇන්දාට පපු ගැඹුරේ සිංහලකම් සේදුණේත් නැත. වලව් පැළැන්තියේ උපත ලද්දාට මහන්තත්වකම් කටු ඔටුනු කරගත්තේත් නැත. වියළි ගම් - බිම් දියවරින් අස්වද්දන්නට, පැලෙන බිම්කඩ සාර හරිතෙන් දිදුලවන්නට දෙවුර දරාගත් වගකීමෙන් හේ දරදිය ඇද්දේ එහෙයිනි.
වියළි නිම්න සාර ගොවි ජනපද බවට පත්කළ හේ දිනක් අරලිය ගහ මන්දිරයේ සිට කොල්ලුපිටියේ ගාලු පාරේ ගේබ්‍රිෙයල්ගේ බාබර් සාප්පුවට තනිපංගලමේ පයින් ගියේ කොණ්ඩය කපාගන්නටය. ඒ යද්දී කරණවෑමියා තවත් අයකුගේ කොණ්ඩය කපමින් සිටියේය. තවත් අයෙක් කොණ්ඩය කපාගන්නට පෝලිමේ සිටියේය. ඒ පෝලිමේ සිටියේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් කර්තෘ මණ්ඩලයේ නිලධාරියෙකි.
“සර් ගිහින් කොණ්ඩෙ කපාගන්ඩ. මම ඊට පස්සේ යන්නම්.” පෙර ආවත් පසු ආ පුද්ගලයා රටේ බලවතා හෙයින් ඔහු යටහත් පහත් ලෙස කීය. “නෑ... මට කලිනුයි ඔයා ඇවිත් හිටියේ. ඔයා ඉස්සෙල්ලා ගිහින් කොණ්ඩේ කපාගන්න.”
ඒ ඔහුගේ පිරුණු මනසේ දෝර ගලා ගිය උත්තුංග නිහතමානී ගුණයයි. දේහදාරී කය පමණක් නොව දේහදාරී හදවතක් ද ඔහු සතු වගට ඒ අතීත කතාව දෙස් දෙයි. එවන් විරල ගති ඇත්තෝ සුලභ නොවෙත්. එහෙයින්මදෝ මට දුප්පත් දරුවන්ට උගන්වන්න දුප්පත් දරුවෝ ඉන්න දුෂ්කර පළාතක ඉස්කෝලෙකට මාරුවක් දෙන්නනයැයි ඉල්ලමින් පොළොන්නරුවේ ගමේ පාසලකට මාරුවක් රැගෙන ගිය ඒ ඉස්කෝලේ මහත්තයා කතාව පටන් ගත්තේම ඔහු කියවා ඇති ලාංකික ජන ඉතිහාසයේ ප්‍රථම අගමැති ඩී. ඇස්. සේනානායකගේ චරිතාපදානයේ අපූරු සිදුවීමක් යළිත් ස්මරණය කරමිනි.
ඔය විදිහට ඉතිහාසය කියෙව්ව ඉස්කෝලෙ මහත්තයා ජීවිත පුස්තකයේ පෙරළන පිටු අංකය කීයදැයි අසන්නටත් ඒ අතරවාරයේ මට සිත්විය.
“1943 ඉපදිච්ච මට දැන් වයස අවුරුදු හැත්තෑ පහක්...”
ඒ කාලේ දුෂ්කර පළාත්වලට මාරුවීම් දුන්නේ දඬුවම් මාරු විදිහට.... ඇත්තටම නැති බැරි දුප්පත් ළමයින් ගැන හිතේ කැක්කුමකින්මද ඒ පැත්තේ ඉස්කෝලෙකට මාරුවක් ඉල්ලගෙන ගියේ.. අසන්නට සිත්වූයෙන් නොඅසා බැරි විය.
“මම 78 පොළොන්නරුවට යද්දි විවාහ වෙලත් නෑ. වයස 35යි ඒ වෙද්දි. මම ගුරුවරයෙක් විදිහට මුලින්ම පත්වීම ගත්තේ 1970දී. ඉස්සරලම ගියේ උගන්වන්න නුවරඑළිය දිස්ත්‍රික්කයේ පූඩළුඔයේ ඉස්කෝලෙකට. කඳුකර පළාතේ තිබුණ දුෂ්කරම පාසලක් ඒක. ඔය පාසලේ මම අවුරුදු 5ක් ඉගැන්නුවා. දුප්පත්කම ඒ හුඟාක් දරුවන්ගේ ජීවිතවල උතුරනවා. සීතල පළාතේ ඒ සීතලේ ගැහි ගැහී හරි ළමයි ඉගෙනගන්න ඉස්කෝලෙට ආවා. සමහර දරුවන්ට ගෙදර තියෙන දුප්පත්කම, බඩගින්න, අම්මලාගේ තාත්තලාගේ ප්‍රශ්න නිසා ඉස්කෝලෙට එන්න මානසිකත්වයක් තිබුණෙ නෑ. ඔහේ පාවෙන ජීවිත හොයාගෙන යනවා.
ඔය කඳුකර පළාත්වල දරුවන්ට බත් කන්න ලැබුණේ හරි අඩුවෙන්. වැඩිපුර කෑවේ රොටී සැර කට්ට සම්බෝල ගුලියක් එක්ක. බත් උයනවට වඩා වියදම අඩුයි. අනික සීතලට ඒ පිටි කෑම කන්න ඒ අය හුරැවෙලා හිටියා. ඔය අතරේ මට ගලහිටියාවේ ඉස්කෝලෙට මාරැවීමක් ලැබුණා. ඔය ඉස්කෝලෙ ඉද්දි මට හිතුණා ගුරුවරයෙක් විදිහට දුෂ්කර පළාතේ දුප්පත් දරුවෝ ඉන්න පාසලකට යන්න ඕනේ. ඒ දරුවන්ගේ ඇස් පාදන්න ලැබුණොත් හරි පිනක් කියලා. හුඟක් ගුරුවරු බැලුවේ ඒ වගේ පළාතකට පත්වීමක් ලැබුණම කොහොමහරි මාරැවක් හදාන සැප පහසුකම් ඇති පළාතකට එන්න. හැම ගුරැවරයාම එහෙම හිතුවොත් ඒ දරුවන්ගේ ඇස් පාදන්නේ කවුද කියලා මට හිතුණා. ඒකයි මම පොළොන්නරුවට මාරුවක් ඉල්ලගෙන ගියේ...
මා ඉදිරිපිට හිඳ ඒ අතීතයට මා කැටුව ගියේ කලෙක විද්‍යා විෂය ඉගැන්වූ ගුරුවරයෙක් ලෙස, ගුරු උපදේශකවරයෙක් සහ තවත් කලෙක වැඩ බලන අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් ලෙස සියක් දහසක් දරුවන්ගේ විදු ඇස විවර කළ ආදරණීය දිසාපාමොක්වරයෙකි. හේ නමින් චන්ද්‍රදාස විජේසුන්දරය. ඒ දිලිසෙන වියපත් ඇස් දිගේ මම ගුරු ගීතය සොයා ඇවිද ගියෙමි. ඔබට මතකද චිංගීස් ආයිත්මාතව් ලියූ ගුරු ගීතය; ලොවක් ආදරය කළ දුයිෂෙන් අපට හඳුන්වා දුන්... ඔබෙන් මොහොතකට මම එසේ විමසමි. දුප්පත් ගම්මානයක පාසලක් ගොඩනගන්නට විප්ලවයක් කළ තරුණ දුයිෂෙන්ලා මෙවන් ගුරු පියවරුන්ගේ ආත්ම විනිවිද දකින්නට හැකියැයි මට සිතේ.
“මට මතකයි මම පොළොන්නරුවට ගිය මුල්ම දවස්වල මම ඒ අයගේ ජීවිතවල ගැඹුර හඳුනාගන්න උත්සාහ කරපු හැටි. ඒ මිනිසුන්ගේ ජීවිතත් ඉරි තලපු මහ පොළොව වගේ. ඒ අය කළේ ගොවිතැන්. මුදලක් ලොකුවට කියලා ලැබෙන්නේ අවුරුද්දට දෙපාරයි. ඒගොල්ලෝ ජීවත් වුණු ලෝකයයි ජීවත් වෙන්න බලාපොරොත්තු වුණු ලෝකයයි අතර ලොකු වෙනසක් තිබුණා. ලැබෙන මුදල් එකවරම වියදම් කළා. ආය මුල ඉඳන් පටන් ගන්නවා. හුඟක් වෙලාවට ඉතුරුවක් කියලා දෙයක් තිබුණේ නෑ. රූපවාහිනිය ඒ ගම්මානවලට ආවට පස්සේ ඒ දෙවැනි පරම්පරාවේ සමහර දරුවන්ට ඕන වුණා රූපවාහිනියෙන් දකින ලෝකයට යන්න. හැබැයි ඒ හුඟක් දරුවෝ ඒ ලෝකයට යන්න සුදුසුකම් ලබන්න මහන්සියක් ගත්තේ නෑ. හැබැයි එයාලා එයාලගේ අම්මලා තාත්තලා කරගෙන ආව ගොවිතැන් කරගෙන යන්න කැමති වුණෙත් නෑ.
“මම පොළොන්නරුවේ ඉස්කෝල දෙකක ඉගැන්නුවා. තෝපාවැව මහ විද්‍යාලය ඉන් එකක්. ඒ දරුවෝ දුප්පත් වුණාට ඒ දරුවෝ තුළ පුදුමාකාර හැකියාවක් තිබුණා. හුඟක් දරුවෝ කුඹුරු වැඩ කාලෙට ඉස්කෝලෙ ආවෙ නෑ. ඒ විදිහට දරුවෝ, අම්මලා, තාත්තලා එකතු වෙලා කුඹුරු වැඩ නොකළොත් ඒ අයට ජීවත් වෙන්න විදිහක් නෑ. ඇයි ඉස්කෝලෙ නාවෙ කියලා ඒ දරුවන්ට කවදාවත් බණින්න මට හිතුණේ නෑ. මම හිතුවා ආදරය දෙන්න ඕනෙ ආදරය නැති මේ වගේ අහිංසක හිත්වලට කියලා. මට මතකයි ආදරයෙන් ඒ දරුවන්ගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙද්දි ඒ දරුවන්ගේ ඇස් දිලිසෙනවා. ඒ දිලිසෙන්නේ ඇහැට උනන කඳුළුවලට. පුංචි දරු පැටියෙක්ව පපුවට තුරුලු කරගෙන දරුවා එක්ක හීන්සැරේ කතා කරකර ඔළුව අතගගා අම්මෙක් දරුවකුට කිරි පොවද්දි ඒ දරුවා කිරි බොන්නේ අම්මගේ උණුසුම, ස්පර්ශය, ස්නේහය මැද්දේ. දරුවා ඉගෙනගන්න ආදරයේ මුල්ම හෝඩිපොත තමයි ඒ. මම හැමදාම හිතපු දෙයක් තමයි දරුවකුට උගන්වන්න ඕන අම්මා කෙනෙක් දරැවකුට කිරි පොවන තරම් ස්නේහයකින් අවබෝධයකින් කියලා.”
මතක කොතෙකුත්ය. ඒ මතක කන්දරාව අතරින් මතකයේ අග්ගිස්සට නොගොසින් හදවත ගැඹුරේ රුඳී තිබුණු මතක ලෙහෙසියෙන්ම වචන බවට පෙරළෙයි.
“ඒ ඉස්කෝලවල ළිඳක් තියෙනවා. අවුරුද්දකට වතාවක් ඒ ළිඳ ඉහින්නෙත් ඉස්කෝලෙම ලොකු පන්තියක දරැවෙක්. ඒ ළමයින්ට හොඳට හයි හත්තිය තියෙනවා. පොළොවත් එක්ක හැප්පිලා පොළොවේ රහ හඳුනාගෙන කරදඬු උස්මහත් වෙන ළමයිනේ. සුදු කමිසය ගලවලා පැත්තකින් තියලා ළිඳට බැහැලා මඩ අරන් දාලා ළිඳට බහින ළමයා ගොඩට එන්නේ මඩ නාගත්ත සුදු කොකෙක් වගේ. ඒ කාලේ ඉස්කෝලෙ ලොකු උත්සවයක් තිබුණා සාමාන්‍ය පෙළට විශිෂ්ට ප්‍රතිඵල ගත්ත ළමයව අගයන්න. ඒක හරි සාරෙට පවත්වන උත්සවයක්. විදුහල්පතිතුමාගේ කතාව එහෙම ඉවර වුණාම අර ළමයා වේදිකාවට ගෙන්නලා අත්පුඩි ගහලා අගයනවා. අර ළිඳ ඉහින දවසේ ඉස්කෝලෙ හැම දරුවෙක්ම ගුරුවරයෙක්ම වෙනුවෙන් ළිඳට බැහැපු, මඩ අරන් දාපු දරුවත් කොහේහරි පිටිපස්සේ පේළියක ඉඳන් අර සමත් ළමයට අත්පුඩි ගහනවා. ඉස්සි ඉස්සි වේදිකාව දිහා බලනවා. ඉගෙනගන්න සමත් දරුවා වගේම අර දරුවත් වීරයෙක්. සමහරවිට අර දරුවා ඔය විශිෂ්ට ප්‍රතිඵලය ගන්න පන්තියේ අකුරු උගනිද්දි වෙන්නැති අර දරුවා ඒ දරුවන් වෙනුවට ළිඳට බැස්සේ.
ඒත් අර ළමයගේ වීරත්වයට ඒ සාම්ප්‍රදායික න්‍යාය පත්‍රයේ ඉඩක් නෑ. මුළු පාසලක් වෙනුවෙන් කරපු ඒ පරාර්ථකාමී ක්‍රියාව අගයන්න කවුරැත් අත්පුඩියක් ගහන්නේ නෑ. සමහරවිට ඒ දරුවටත් අත්පුඩියක් ගහන්න කවුරුහරි හිටියනම් ඒ දරුවා තුළිනුත් වෙනස්ම දක්ෂයෙක් බිහිවෙන්න තිබුණා. අපි වටිනාකම් දෙන්නේ හදාගත්ත කොටසකට විතරයි. ඔය වගේ තැන්වලදී මගේ හිතට සංවේදී හැඟීම් හුඟාක් දැනුණා. මේ ක්‍රමවේද වෙනස් වෙනවනම් හිතුණා. ඒ කාලේ පාසල් සංවර්ධන සමිතියකට එන්න කීවාම දරැවන්ගේ තාත්තලා දකින්නට නැති තරම්. තාත්තලා ගොවිතැනේ. අම්මලා ආවත් කතා කරන්නේ නෑ මුළුගැන්වෙනවා. ඒත් මඟුලක් මරණයක් වුණොත් ඒ තාත්තලා අර ගොවිතැන් වැඩ ඔක්කොම පැත්තක දාලා ඒකට යනවා. ඒ හුඟක් තාත්තලාට අධ්‍යාපනයේ අගයක් තිබුණේ නෑ. ඇත්තටම පොළොන්නරැව වගේ දුෂ්කර පළාත්වලින් සමතුන් බිහිවුණේ ඔය වගේ හරිම කටුක අත්දැකීම්, විඳවීම් මැද්දේ.
1933දී ලංකාවේ ඉඩම් පනත සම්මත විය. ඊට පුරෝගාමී වූයේ ඉඩම් ප්‍රතිපත්තියට නවමු මුහුණුවරක් ලබාදුන් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. ඇස්. සේනානායකය. මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරයට 1934 වර්ෂයේදී අඩිතාලම වැටුණි. ඇරඹුම මින්නේරියයි. එහි අතු රිකිලි වවුනියාවෙන් සිංහල පත්තුවටත්, ගල් ඔය මිටියාවතෙන් පොතුවිල් දක්වාත්, කන්තලේ, සේරැවිල අල්ලයිපුල්වුන් දක්වාත් විහිද පැතිරී ගියේ අක්කර 1700කින් යුතු වූ කනගම කොළණියත්, කලලු වැව වාරි කර්මාන්තයත් මිණිපේ ව්‍යාපාරයත් ඩී. ඇස්. සේනානායකයන් කළ කෘෂිකර්මාන්තයෙන් දේශය සවිබල ගැන්වීමේ වික්‍රමයේ සදාතනික සිහිවටන බවට පත්විය.
සුද්දන් අතරේදී සුද්දෙක් වන්නටත් ගොවියන් අතරේදී ගොවියකු වන්නටත් ගැමියන් අතරේදී නියම ගැමියකු වන්නටත් හැකි හදවතක් තිබූ ඩී. ඇස්.ගේ ගල්ඔය සේනානායක සමුද්‍ර ව්‍යාපෘතිය වනාහි අතීත රජ දවස යළි ජීවමාන කරන්නක් විය.
පොළොන්නරුවේ ගොවි ජනපද ගොඩනගන කාලයේ කොළඹ සිටි වාමාංශික දේශපාලනඥයන් ජනතාවට කීවේ කාක්කෝ වගේ ලොකු මදුරුවෝ ඉන්නවා. මිනිස්සු මැලේරියාවෙන් මැරෙනවා. ඒ නිසා ඔය ජනපදවලට ගාල් වෙන්න එපායැයි කියාය. එසේ වුවත් වාමාංශිකයන්ගේ විවේචන මතවාද ගණන් නොගෙන ඩී.ඇස් තම ජනපද ව්‍යාපාරය දිගටම කරගෙන ගියේය. පොළොන්නරුව මින්නේරිය මිනිපේ රාජාංගනය කාගම වැනි ජනපද රාශියක් ඉදි කරන්නට එකල සැලසුම් කර තිබුණි.
මෙම ජනපද සඳහා තෝරා ගත් පළාත් එකල පැවතියේ රාක්ෂ කැලෑ ලෙසයි. මැලේරියා රෝගය එහි මහා වසංගතයක් වී තිබුණි. ඩී. එස්. සේනානායක ඒ කුමන බාධක තිබුණත් තමන්ගේ ජනපද ව්‍යාපාරය අඛණ්ඩව කරගෙන යාමට අප්‍රතිහත උත්සාහයෙන් කටයුතු කළේය.
මින්නේරිය, ගිරිතලේ ආදි ඇතැම් පළාත්වල ජනපද ඉඩම් වෙත ගමන් කිරීමට හරිහමන් මාර්ග තිබුණේ නැත. තිබුණේ කැලෑව මැදින් වැටුණු අඩි පාරවල් පමණි. වාහනයකට බයිසිකලයකට හෝ ගමන් කිරීම පහසු නොවීය. එම නිසා ඩී. එස්. සේනානායක මහතා කැලෑව මැද ගමන් බිමන් ගියේ ඇතැම් විට අසුන් පිටය. නැතිනම් මී හරක් පිටය. එකල පැවති සුදු ආණ්ඩුවෙන් ඩී. එස්ගේ ජනපද ව්‍යාපාරයට කිසිම රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණේ නැත. මින්නේරිය ප්‍රදේශයේ නව ජනපද ඇතිකිරීම සඳහා ගොඩමඩ ඉඩම් තෝරා ගැනීමට දිනක් එම ප්‍රදේශයට ඩී. එස්. සේනානායක ගියේ සිය අතවැසියා ද සමඟය.
එදා එහි තිබුණු කුඩා තානායම පාලනය වූයේ සුදු ජාතික කළමනාකරුවකු අතිනි. කළු මිනිසුන්ට තානායමේ දොර ඇරුණේ නැත. දහවල් දවසේ ඉඩම් බලන්නට කැලෑවේ කරක් ගසා හැන්දෑවේ තානායමට පැමිණ තානායම් කාමරයක් ඉල්ලූ ඩී. එස්. සේනානායක මහතාට නවාතැන් දීම සුදු ජාතික කළමනාකරුවා තරයේ ප්‍රතික්ෂේප කළේය.
සුද්දන්ගේ රෙස්ට් හවුස්වල කල්ලන්ට කාමර දෙන්නේ නැත යන ප්‍රතිපත්තිය උඩ සුද්දා කටයුතු කළත් ඩී. එස්. ද පහසුවෙන් පසුබසින පුද්ගලයෙක් නොවේ. උඹේ කාමර උඹ තියාගනින් යැයි කී ඩී. එස්. තානායමෙන් එළියට බැස තමන් මෙවන් ගමන්වලදී සිය ලෑන්ඩ් රෝවරයේ ගෙන යන අඩුම කුඩුම අතර තිබූ තාවකාලික කූඩාරම තානායම් භූමියේ කොණක අටවා ගත්තේය. ඔහු එදින රාත්‍රිය ගත කිරීමට මේ කූඩාරම සකස් කරගත්ත ද ආහාර පිණිස තිබුණේ තමන් විසින් ගෙනියන ලද පාන්, චීස් හා ජෑම් පමණි. තානායමෙන් කෑම නොලැබෙන නිසා එදින රාත්‍රියේ ආහාරයට පාන් පෙත්තක් අනුභව කර නිදන්නට සැරසෙන විට ඩී. එස්. සේනානායක මහතා කෙරේ ඉතා කරුණාවෙන් කටයුතු කළ තානායමේ සිංහල ජාතික කෝකියා සුදු කළමනාකරැට හොරෙන් බත් පිඟානක් බෙදාගෙන විත් ඩී. එස්. සේනානායකයන්ට පිළිගන්වා මෙය ඔබතුමාගේ රාත්‍රී ආහාරයට ගන්නයැයි කී පුවත බොහෝ දෙනා නොදන්නා කරුණකි. සුද්දන්ගේ තාඩන පීඩන මධ්‍යයේ රජරට නුවර කලාවියේ වැව් බැඳි රාජ්‍යයේ නව ගොවි ජනපද ඉදි කරන්නට ඩී. එස් ලා කටයුතු කළේ එලෙසය.
කොළඹට නුදුරු වේයන්ගොඩ ජීවත් වෙලා පූඩළුඔයෙන් ගලහිටියාවට ගිහින් එතැනින් පොළොන්නරුවේ ජීවිතය ඉල්ලගෙන ගියාට පස්සේ ඒ කාලේ ගොවි ජනපද ව්‍යාපාර ඉදිකරපු යුගය ගැන ඔයවගේ ඉතිහාස කතන්දර බොහොමයක් අසන්න ලැබෙන්න ඇති නේද?
මුලදී ඇත්තටම ඔය ජනපදවල පදිංචි වෙන්න මිනිස්සු කැමති වෙලාම නෑ. ඒත් ඩී. එස්., සී. පී. ද සිල්වා, ඩඩ්ලි සේනානායක වගේ අවංක දේශපාලනඥයන් වෙච්ච මහත්තුරු ගැන තිබුණ විශ්වාසය නිසාම මිනිස්සු ගම්බිම් අත්හැරලා ඔය ජනපදවල පදිංචියට ආවා. ඒ කාලේ මගේ මතකයේ හැටියට දුන්නා කියන්නේ ගොඩින් අක්කර පහයි මඩින් අක්කර 3යි. මම අහලා තියෙන විදිහට අපූරුම දේ තමා ඔය එක එක පළාත්වලින් ආව මිනිස්සුනේ ඔය ගොවි ජනපදවල උරුමක්කාරයෝ වුණේ. ඉතින් දකුණෙන් ආව මිනිස්සුන්ගේ උඩරටින් ආව මිනිස්සුන්ගේ සම්ප්‍රදායන් හරි වෙනස්. කතාබහ කරන විලාසෙ හරි වෙනස්. ඉතින් මේ එක එක සම්ප්‍රදායන් එකතු වුණු මිශ්‍ර සංස්කෘතියක් හැදුණා. මඟුලක්, මරණයක්, කොටහලු මඟුලක් වුණාම ඒ වගේ අර මිශ්‍ර සංස්කෘතික ලක්ෂණ තිබුණා.. ඒ ඒ අය හදන කෑම බීමවල පවා ඒ ඒ ගම්බිම්වලින් ආපු අයගේ ඉවුම් පිහුම් රටාවල තිබුණ වෙනස නිසා එක එක රහ තිබුණා..
ඒ රහ ගැන ඒ ඉස්කෝලෙ මහත්තයා එසේ කියද්දී ශිල්ප හොඳින් උගෙන රට රාජ්‍යවල ගියත් උපන් දුප්පත් ගම, දුප්පත් ගමේ ගෙදර අමතක නොකළ සොඳුරු සිතැති දන්නා කියන කෙනෙක් වරක් කී දෙයක් මේ මොහොතේ මගේ මතකයට නැගේ. දවසක් කඩේට එළවළු, පොල් ගේන්න යද්දි දැක්කා නියම මඤ්ඤොක්කා ටිකක්. මඤ්ඤොක්කායි, බල කරෝලයි ගෙනත් උයන ඇන්ටිට කියලා මඤ්ඤොක්කා තම්බලා බල කරෝල හොදි හදලා කෑවා කෑමක් පට්ට රහයි. කාලා අත හෝදලා අතේ සුවඳ බලද්දි අතෙන් ආවේ මගේ ගමේ සුවඳ.
ඒ රහ මෙන්ම එන සතියට කියන්න ඇති මතක කන්දරාවේ රහ ද එමටය.
(ඒ රහ - රහ බලන්න ඉන්න සැදී පැහැදී... දවස් හතක් ගෙවී යනතුරු...)
සංජු