2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

රූප රචනාකර චිත්‍රපට හැදූ කාලේ

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:31 198

අප ඉගෙන ගන්නා කුඩා අවදියේ රූපභාෂාව මේ තරම් අපේ ජීවිතවලට සමීප නැත. ඒ නිසාම පාසලේ අකුරුවලින් ඉගැන්වූ භාෂාවට වඩා රූප භාෂාවට කුඩා අපි මහත්සේ ඇළුම් කළෙමු. චිත්‍රපට යනු බයිස්කෝප් යැයි වැඩිය චිත්‍රපට බලා හුරුපුරුදු නැති අපගේ වැඩිහිටියන්ගේ මතය වූ බැවින් ඔවුහු කුඩා අපව චිත්‍රපට නරඹන්නට උනන්දු නොකළෝය. එකල බහුතරයක් වාණිජ සිංහල චිත්‍රපට දකුණු ඉන්දීය සිනමාවේ අනුකරණයක් විය. 1956 ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා රේඛාවෙන් පටන් ගත් සිංහල චිත්‍රපට කරණය හෙවත් අපේ සිනමාවක් ගොඩනැගීමේ ප්‍රයන්තය 60 ගණන්වල සාමා, සුදෝසුදු, කුරුළු බැද්ද, සාරවිට වැනි චිත්‍රපටවලින් ඉදිරියට ගෙන ආ නමුදු ඒවා ගැන පාසලේ දී කියාදීමක් ද සිදුනොවූයේ ගුරුවරුන් පවා ඒ ගැන වැඩි අවදියක් නොවූ අය නිසාය.

අද වැඩිහිටියන් අත තිබෙනා ස්මාර්ට් ජංගම දුරකථනයේ අයිතිකරැවන්ටත් වඩා එහි රූප භාෂාව ගැන දන්නේ ගෙදර බබාලාය. මෑතදී තලවතුගොඩ පැත්තේ රෙදි ගබඩාවක් ගිනි ගනිද්දී ගින්න නිවන අයටත් වඩා එය නරඹන අයටත් වඩා එතන උන්නේ ඇවිලෙන ගින්න ස්මාර්ට් දුරකතනවලින් රූගත කරන අයයි. ජනතාවගේ ජීවිතවලට රූප භාෂාව අද වෙන කවරදාකටත් වඩා සමීපය. ලෝකයේ කොතැන හෝ හටගත් පුවතක්, විහිලුවක්, සංදර්ශනයක් මතයක් එසැණින් සමාජ වෙබ් අඩවි හරහා රූප භාෂාව යොදාගනිමින් ලෝපුරා ව්‍යාප්ත වේ. ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ ළමා බාල අයයි. එහි අරුමයක් නැත. එය ඔවුන්ගේ යුගයේ තාක්ෂණයයි. එය ඉදිරිපිට ඇදෙන තාක්ෂණයයි.

ඉස්කෝලේ ඉගැන්වූ අකුරු භාෂාවේ ඒකාකාරී බවෙන් හෙම්බත්ව සිටි අපි පොඩි පොඩි සෙල්ලම් මගින් රූප භාෂාව හා රූප සජීවීකරණය අත්හදා බැලුවෙමු. (ලෝක සිනමාව වර්ධනය වූයේද ඒ ආකාරයෙන් බව පසුව දැනගනිමු. එය මානව පරිනාමයේ විවිධ අවස්ථා ගර්භාෂයේ සිට කළලයකින් වර්ධනය වන බිළින්ඳාගේ වර්ධනය හා සසඳා බලන්නාක් මෙනි.) පාසලේදීම තරමක් ලොකු අච්චු පොත්වලින් අපි රූප පණගැන්වීම අත්හදා බැලුවෙමු. (පසුව කාලයක (Animation) සජීවීකරණය ගැන පාඩමක් උගනද්දී දේශකයා අපට ඒ ගැන කියනු අසා සතුටට පත්වූයෙමු.) අච්චු පොතේ පිටුවල දාරය සමීපයේ යම් චලනය වන වස්තුවක ගමන ටිකෙන් ටික වර්ධනය වන අයුරු පිටුවෙන් පිටුව අපි සටහන් කළෙමු. උදාහරණයක් ලෙස මුල්ම පිටු දෙකේ ඇන්දේ දුන්නකින් ඊතලයක් විඳින්නට සැරසෙන කෝටු මිනිසෙකි. ඊතලය ඉදිරියට ඇදෙන ආකාරය පිටුවෙන් පිටුව එහි ගමන ඉන්පසු ඇන්දෙමු. අවසානයේ තවත් කෝටු මිනිසෙකුගේ ඇඟට ඊතලය ඇනී ඔහු ඇඳ වැටේ. මෙසේ ඇඳ අවසානයේ පිටු ටිකේ රූප ඇඳි අද්දර පෙනෙන පරිදි ඒවා එක දිගට පෙරළෙන්නට ඉඩහැරිය විට, දුන්නෙන් නික්මෙන ඊතලය ඉදිරියට ඇදී ගොස් තවත් කෝටු මිනිසකුගේ ඇඟේ වැදී ඔහු වැටෙන සැටි පණ ගැන්වී පෙනුණේය.

අපගේ වයසේ සිටි හැමදෙනාම පළමු චිත්‍රපටය සිනමාශාලාවක නැරඹූ පසු මහත්සේ ආහ්ලාදයට පත්වූ අයයි. චිත්‍රපටයේ අනුවේදනය, ත්‍රාසය හෝ සන්ත්‍රාසය රසවිඳගැනීම වෙනම කාරණයක් විය. එහෙත් ඉහට උඩින් තිරය කරා විහිදුණු ප්‍රොජෙක්ටරයෙන් නික්මුණු ආලෝක කදම්බයක් සුදුපාට තිරය මත පණගැන්වෙන රූප පෙළක් ආශ්‍රය කරගත් තාක්ෂණය අපේ කුතුහලය දල්වාලූයේය. ගෙදර ඇති නවීන දුරකතනයට නොබියව ඇඟිල්ලෙන් ඇන ඒ සමඟ කිසිදු බයක් සැකක් නැතිව අත්හදාබැලීම් කරන ළදරුවෙක් සේ ඒ කාලයේ අප ගෙදර ඇවිත් අපගේ මට්ටමෙන් ප්‍රොජෙක්ටර සෑදුවෙමු. පෙට්ටියක රාමුවක් කපා ඒ තුළට අතින් සැකිළි රූප ඇඳි වීදුරු (Slide) තහඩු අල්ලා ඊට පිටුපසින් දැල්වූ ටෝච් බල්බයක් එල්ල කළවිට එහි හෙවනැලි රූ ලොකුවට බිත්තියේ වැටෙනවා බලා අපේ පරම්පරාවේ ළමෝ සතුටු වූහ. චිත්‍රපට රීලයකින් ඉවත ලද පොසිටිව් (Positive) පටයක් අතට හසුවුණහොත් එය ඉවත දමන්නේ දහසක් අත්හදා බැලීම් ඒ සමඟ කළ පසුවයි. ටෝච් බල්බයේ ආලෝකයට එහි හෙවනැල්ලද ලොකුවට බිත්තියේ වැටෙද්දී අපි පසුබිම් සංගීතය කටින් වැයුවෙමු. “ටෑං ඩිෂු ඩිෂු, ටෑං ඩිෂු ඩිෂු, ටෑං” ඒ අපේ එක් චිත්‍රයක කටින් දුන් තේමා වාදනයකි. 

ලොකු පෙට්ටියක් කරෙන් ඔසවාගෙන යන ඒ තුළ ඇති චිත්‍රපට රූප ලෙන්සයකින් පෙන්වන සෙල්ලම්කාරයෙක් ද ඒ කාලයේ පාර්ක්වල, පාරවල්වල උන්නේය. පෙට්ටියේ සිදුරකට ඇස තැබූ විට චිත්‍රපට රූප ලෙන්සයක් තුළින් එම පෙට්ටියේ ඇතුළේ ලොකුවට පෙනුණේය. එක වරක් බලන්නට අයකළ මුදල ශත පහකි.

එහෙත් කුඩා අප බොහෝ දෙනෙකුට චිත්‍රපටශාලාවක චිත්‍රපට නරඹන්නට ලැබුණේ කලාතුරකිනි. එක්කෝ පාසලෙන් චිත්‍රපටය බලන්නට එක්කගෙන යා යුතුය. නැතහොත් වැඩිහිටියකු අපව එක්කරගෙන යායුතුය. (මෙහි ප්‍රතිඵලය වූයේ දැනුම් තේරුම් ලබන අවදිය වනවිට ඇරියස් අල්ලා හැකිතරම් මඟහැරුණු චිත්‍රපට නැරඹීමයි.)

අප අතර චිත්‍රකතා පොත් සහ පත්තර ජනප්‍රිය වූයේද රූප භාෂාවට අපේ තිබුණ ලැදියාව නිසාය. බිළිපූජා, ලන්දේසි හටන, රන්දූපත අප රසවිඳි චිත්‍රකතා පොත් කිහිපයකි. ගුරුතුමියට නොපෙනෙන්නට ඒවා පන්තියේ ළමුන් අතර ඩෙස්ක් යටින් අතිනත යැවුණේය. පත්තරවල පළවූ ඇතැම් චිත්‍රකතාවල සටන් ජවනිකාවල තිබුණේ ඒවාටම ආවේණික භාෂාවකි. සටනේ ශබ්දය නොඇසෙන නිසා ඊට විකල්පයක් ලෙස රචකයා දෙබස් යොදා තිබිණි. ගහගන්න අතරතුර ගහන ගහන පාරකට දෙබස් යොදා තිබිණි. “කාලා වරෙං”, “ඉඳා”, “ඌහ්”, “ආහ්” ඒවායින් සමහරකි.

පසුකලෙක පුවත්පත්වල පළවූ දයා රාජපක්ෂගේ “වානරයෝ”, “නිසංසලා” වැනි චිත්‍රකතා පත්තරවලින් කපා අපි ඒවා එකතුකොට පොතක අලවා තබාගත්තෙමු. දයා රාජපක්ෂගේ “හුලවාලි” “පොඩි මල්ලී” “වානරයෝ” වැනි චිත්‍රකතා පසුකලෙක චිත්‍රපටවලට නැගුණේ ඒවායේ පැවති රූප භාෂාවේ හා දෙබස්වල සාර්ථකත්වය නිසාමය.

කුඩා කාලයේ අපට ඇසුණු චිත්‍රපට වෙළෙඳ දැන්වීම්වල චිත්‍රපට තිරයට කීවේ “රිදී තිරය” කියාය. මේ නිසාම චිත්‍රපට තිරයේ රිදී ගානවා ඇතැයි කටකතාවක් කුඩා අප අතරේ පැතිර ගියේය. එහෙත් 1970 ගණන්වල පවා ඇතැම් ග්‍රාමීය සිනමාශාලාවල තිබුණේ හණ ගෝනි එකට අමුණා, ඒ මත සුදු හුණු උලා සාදාගත් තිරයන්ය. කොළඹ සැවෝයි, ලිබර්ටි, නිව්ඔලිම්පියා, රීගල් වැනි සිනමාහල්වල නව යොවුන් වියේදී චිත්‍රපට දැක තිබුණු. අප පිට පළාත්වල කූඩාරම් රෙදිවලින් තනා තිබූ (අකුරුස්ස නිල්වලා) නැතහොත් ටකරන්වලින් තනා තිබූ වැලිමඩ නැෂනල් වැනි චිත්‍රපටශාලා දුටුවිට පුදුමයට පත්වූයෙමු. හැමදේටම වඩා උසුලාගන්නට නොහැකි වූයේ ඒවායේ දුම්පානය කරමින් මුහුණටම එවන සිගරට් දුමයි.
චිත්‍රපටශාලාවල පෙන්වන චිත්‍රපටවලට අමතරව ඒ කාලයේ එළිමහන්වල රාත්‍රී කාලයේ පෙන්වන 16 mm ප්‍රචාරක චිත්‍රපටද තිබිණි. ගැමි ජනයාට චිත්‍රපට හඳුන්වා දෙන්නට මුල් කාලයේදී බොහෝ අසීරු වූ වග පැරැන්නෝ කීහ. මුලින්ම ගමේ එළිමහනක චිත්‍රපටය රාත්‍රියේ පෙන්වන්නට යන බව කී විට “ඉතින් කොහොමද ඕක කට්ට කරුවලේ පෙන්නන්නේ.” කියා ඇතමුන් ඇසුවේලු. සමහරුන් චිත්‍රපට බලන්නට පැමිණියේ එළිවෙනතුරු දැල්වී තිබෙනා හුළුඑළිද රැගෙන බව ඇතැම්හු කියති. මැලේරියා පිළිබඳව මේ ආකාරයේ ප්‍රචාරක චිත්‍රපටයක් පෙන්වූ විට ලැබුණු ප්‍රතිචාරය හාස්‍යජනකය. තිරය පුරා ඇනෝෆිලස් මදුරුවාගේ (Full Shot එකක්) දුටු ඇතැම් ගැමියෙක් මෙසේ කීවේලු. “අපට නං ප්‍රශ්නයක් නෑ මහත්තයෝ, ඔච්චර ලොකු මදුරුවෝ අපේ ගම් පළාතේ නෑ...”

රෑට ළඟපාතක එළිමහන් චිත්‍රපටයක් පෙන්වන බව ආරංචි වුවහොත් අප ඒවා අතහැරියේ නැත. “British Information Service” ඇතැම් ඒවා ආරම්භයේ තිරයේ එසේ දිස්විය. 1953 මහ රැජිනගේ ලංකා ගමන වාර්තා කළ චිත්‍රපටයක් ඉන් එකක තිබුණේය. “රන්වන් කරල්” කෙටි චිත්‍රපටය ද එවැනි නොමිලේ පෙන්වූ චිත්‍රපටයකි. මේ හැරුණුකොට රජයේ චිත්‍රපට අංශයෙන් රූගත කළ එවැනි චිත්‍රපට රාශියක් විය.

මේවායේ පෙන්වූ ක්‍රිකට් චිත්‍රපට මහත්සේ අපගේ සිත් ගත්තේය. (එකල රූපවාහිනී නොතිබිණි) “සැලියුට් ටූ සොර්බර්ස්” එසේ ජනප්‍රිය වූ ක්‍රිකට් චිත්‍රපටයකි. පසුකාලයක සියවැනි අළුබදුන් ක්‍රිකට් තරගය ද (එංගලන්ත, ඕස්ට්‍රේලියා) රූගතකොට ප්‍රදර්ශන කෙරිණි. එක් දිනක පැරණි ඔස්ට්‍රේලියාව සහ වෙස්ට්ඉන්ඩීස් අතර පැවැත් වූ කළු සුදු චිත්‍රපටයක් පෙන්වන අවස්ථාවේ ප්‍රොජක්ටර් ක්‍රියාකරු අතින් වැරදීමක් සිදුවී, රීලය ප්‍රතිධාවනය විය. පිටියෙන් ආ පන්දුව පිතිකරුගේ පිත්තට ආයේය. පිතිකරු පිත්ත පසුපසට ඇද්ද පසු එයින් නික්මුණු පන්දුව අනෙක් අන්තයේ සිටි වෙස්ලි හෝල් අතට ආයේය. වෙස්ලි හෝල් පන්දුව අතැතිව පස්සෙන් පස්සට දිව ගියේ පන්දු යවන ඉරියව්ව ද පසුපසට යවමිනි.

ආධාර දර්ශන උදෙසා පැරණි චිත්‍රපට පෙන්වන ආයතන දෙක තුනක් ද එකල තිබිණි. ඒ අය වෙත විමසීම් ලිපියක් යැවූ විට ඔවුහු තමන් ළඟ ප්‍රදර්ශනය පිණිස ඇති පැරණි චිත්‍රපට නාමාවලියක් එව්වෝය. “සුදු සඳේ කළු වළා, සුළලිත සෝබනී, සුවිනීත ලාලනී, පිරිමියෙක් නිසා” වැනි චිත්‍රපට එම ලැයිස්තුවල තිබුණේය.

කුඩා කාලයේ චිත්‍රපට නරඹන්නට වැඩි දිරියක් ගෙවල්වලින් අපට නුදුන් නිසාදෝ නව යොවුන් වියේ සිට තරුණ කාලය දක්වා, කුඩා අවදියේ දී මඟහැරුණු චිත්‍රපට රසවිඳගන්නට හැකිවූයේ ඒ වනවිටත් ඒවා සංරක්ෂණය වී තිබුණු නිසාය. රූපවාහිනී තිර මත සංරක්ෂණය කරගන්නට නොහැකි වූ පැරැණි සිංහල චිත්‍රපට අපට දැකගන්නට වාසනාව තිබුණේය. “සැනසුම කොතැනද”, “නිම්වලල්ල”, “සංදේශය”, “මිනිසා සහ කපුටා” (කෙටි චිත්‍රපටය) ඉන් සමහරකි. ප්‍රේමසිරි කේමදාස සංගීතවේදියාත් සංගීතය සැපයූ පළමු චිත්‍රපටය වන “සැනසුම කොතැනද” චිත්‍රපටයේ ගීත අඩංගු රූප පෙළ අද සොයාගන්නට අසීරුය. නිම්වලල්ල චිත්‍රපටයේදී තිබූ සී.ටී. ප්‍රනාන්දු ගයන “නිසයුරු මුතුවැල් ගලන වේලාවේ” ගීතය හා නෙවිල් ප්‍රනාන්දු ගැයූ “සිහින ලොවට බඹරිඳු ඇදේ” වැනි ගීතවල රූප අද දැකගන්නට නැත. ඒවා ඉදිරි පරම්පරාවලට සංරක්ෂණය වී නොමැත.

හොලිවුඩ් චිත්‍රපට නොගෙන්වූ කාලයක් හැත්තෑ ගණන්වල තිබුණේය. ඒ කාලයේ අපි බැලුවේ Crazy Boys මාලාවේ චිත්‍රපටය. රියෝ සිනමාහලට ඉඳහිට ඇරීනා වැනි චිත්‍රපට ආයේය. 1977න් පසුව නැවත හොලිවුඩ් චිත්‍රපට ප්‍රදර්ශනයට ආවිට කුඩා කාලයේ මඟහැරුණු ඉංග්‍රීසි, චිත්‍රපට නැරඹීමේ වරම අපට උදාවූයේය. “Ben Hur” Ten Commandments, ඩොක්ටර් සිවාගෝ, (Doctor Ziwago) අප දැකගත්තේ එවිටයි. කුඩා කාලයේ කටින් චිත්‍රපට වාදනය කළ අපි Doctor Ziwago චිත්‍රපටයේ තේමා වාදනය වූ Lara’s Song අසා සංගීත රසවින්ඳනයක් රූප භාෂාවට සියුම්ව සංගීතය ගලපන හැටිත් හඳුනාගත්තෙමු.

ඉස්සර අපේ ඇතැම් වැඩිහිටියන් ගුවන්විදුලි යන්ත්‍රය (රේඩියෝව) අවශ්‍ය සේවාවට දමා ගන්නේ/ අදාළ මීටරය අල්ලා ගත්තේ අප ලවාය.

“ඔන්න ඕක ස්වදේශීය සේවාවට දාලා දීපං පුතේ.”

දැන් අපේ ස්මාර්ට් ජංගම දුරකතනයේ ඇතැම් කටයුතු අප කරවා ගන්නේ දරුවන් ලවාය.

“මෙන්න මේකෙ වැඩිපුර තියෙන ඇප් අයින් කරලා දෙන්න පුතේ.”

මෙසේ වන්නේ අලුත් තාක්ෂණය අලුත් පරපුරට අයිති නිසා වියහැකියි.

රූප භාෂාවෙන් කතා කරන්නට, රූප පණගන්වන්නට අප ළමා කාලයේ දැරූ ප්‍රයන්තය ගැන අසන නූතන දරුවන් එකල අප කළේ මෝඩකම් යයි සිතනු ඇත. ඔවුනට කියන්නට ඇත්තේ මැක්සිම් ගෝර්කිගේ කාර්ලෝනි ගැලියාර්දි කෙටි කතාවේ මහල්ලා තරුණයාට කියූ පහත සඳහන් කියමනයි.

“දැන් ඉතින් අවුරුදු සීයක් ගත වුණාම උඹේ ජීවිතෙත් මෝඩ එකක් වාගේ පෙනේවී.”

♦ සමන් පුෂ්ප ලියනගේ